Friday, September 12, 2014

පොඩි එකාගේ කථා 03 - රුපියල් දහය..




(අසූ හයේ විතර කථාවක්)

ලාභයි.. ලාභායි, ලා..බායි...

ආ එන්න එන්න කිලෝඑක හතරයි, කිලෝඑක හතරයි’’

වම්බොටු... බණ්ඩක්කා.. වැටකොළු... කිලෝ එකම හතරයි.. කිලෝ එකම හතරයි

පොඩි එකා තම පියාගේ අතෙහි එල්ලී බොහෝ අමාරුවෙන්, සතිපොලේ බඩුගන්නට පැමිණි මිනිසුන් අතරින් ගමන් කරමින් ඉදිරියටම ඇදුණි.  පොලෙහි බඩු විකුණන වෙළෙන්දන්ගේ කෑ ගෑම පොඩි එකාට මහත් ආශ්වාදයක් විය. ඔහු එම වෙළෙන්දන් කෑ ගසන අයුරින් සිතින් මහ හයියෙන් කෑ ගසන්නට වූයේ මුවට අමුතුම සිනහවක් නගමින්ය. පොලෙහි එක් එක් කොටස්වල එලවලු, ලූණු, ගොඩගසා තිබූ ආකාරය නිරීක්ෂණය කරමින් ඒවා තරාදියේ දමා කිරන අයුරු දෙස බලමින් තම පියාගේ අත, අත නොහැරමින් පොඩි එකා පියා පසුපසම යන්නට විය.

සති පොලෙහි මැද හරියට වන්නට පැමිණි පොඩි එකාගේ පියා එලවළු එක් කූඩාරමක් අසල නතරවිය. මැදින් යකඩ පොල්ලක් සිටුවා ඝණ ඉටිකොලයක හරි මැද මෙම යකඩ බටයෙහි මුදුනට වන්නට සකසා, ඉටි කොලයෙහි හතර කොන ලනු පටවල් වලින් සිව් දෙසට ඇද මෙම කූඩාරම සාදා තිබිණි. ගෝවා, වැටකොළු, බෝන්චි, මෑකරල්, ලීක්ස්, වට්ටක්කා.. යනාදී එලවලු වටකර ගනිමින්, පොඩි එකාගේ සීයා එනම් පියාගේ පියා එම කූඩාරමෙහි විය.. තම සීයා එලවළු කිරමින්, ඒවා සිලි සිලි බෑග් වලට දමමින්, මුදල් රැගෙන ගණන්කර ඉතිරි මුදල් දෙමින් වෙලදාමේ යෙදෙන අයුරු පොඩි එකා ආසාවෙන් බලා සිටියේය..

වෙලදාම් කරන අතර තුර කූඩාරම අසලට පැමිණ ඇති තම පුතාත්, මනුපුරාත් දෙස බැලූ සීයා කිසිදු වෙනසක් නොපෙන්වා තම සුපුරුදු රාජකාරියෙහිම නිරත විය. මිනිත්තු කිහිපයක් එසේ ගෙවුනු පසු සීයා, එලවළු වලින් සිලි සිලි බෑගයක් පුරවා පියා අතට දුන්නේය.. කිසිඳු වදනක් නොදොඩා පොඩි එකාගේ පියා, පොඩි එකාද රැගෙන ආපසු එන්නට පිටත් විය. තම පියාත්, සීයාත් එකිනෙකා හා දොඩමළු වූ දවසක් ඇද්දැයි පොඩි එකාට මතකයක් නැත.. එපමණක් නොව තම පියා, තමා හා අන්තිමට කථාබස්කල දිනයද පොඩි එකාට මතක නැත.. අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව තමන්ට හොඳින් ගුටි පූජාවක් ලැබුණු අවස්ථාවක් විය යුතු යැයි පොඩි එකා සිතා ගත්තේය..

පොඩි එකා...!!!!

සීයාගේ කූඩාරම පසුකර බඹ ගණනක් පැමිණියද, පොලෙහි වූ අන් වෙළදුන්ගේ හඬ යටපත් කරමින් තම සීයාගේ හඬ ඇසුනු පොඩි එකා එක් වරම නැවතිණ. කවදාවත් සීයාගේ දෑස් දෙස කෙළින් බලා නැති පොඩි එකා සීයා දෙස බැලූවේ වෙව්ලන සිතිනි. පොඩි එකා හිමින් හෙමින් නැවතත් සීයාගේ කූඩාරම දෙසට ඇදුණි. සල්ලි දමන්නට සාදා තිබූ ලී පෙට්ටිය ඇරි සීයා, ඉන් රුපියල් දහයේ කොලයක් ගෙන පොඩි එකා අත තැබීය. ඇස්, සිත් අදහාගත නොහැකි වූ පොඩිඑකා එම රුපියල් දහය තම අතට ගුලිකර ගෙන ඉමහත් සතුටින් යලිත් පියා හා එක්විය. 

කලින් යන විට ඇසුනු වෙළෙන්දන්ගේ හඬ දැන් පොඩි එකාට ඇසෙන්නේ නැත. ඇසුනද එය කලින් වතාවේ මෙන් ආශ්වාදයක් නොව මහත් කංකරච්චලයක් විය. දැං පොඩි එකාගේ සිත පිරී ඇත්තේ සීයා දුන් රුපියල් දහයෙන්ය. මෙතරම් විශාල මුදලක් පොඩි  එකා අතට එකවර පත්වූ පලමු අවස්ථාව මෙය විය. පසුගිය අළුත් අවුරුදේ වැඩිහිටියන්ගෙන් ලැබුණු තෑගි මුදල් සියල්ල එකතු කලවිට මීට වඩා වැඩි මුදලක් තිබුණා යන්තං මතකය. ඒත් එකපාරම මෙච්චර ගානක්...! ! 

පා පැදියේ පසුසු එලවළු බෑගය ගෙට ගැසූ පොඩි එකාගේ පියා පා පැදියට ගොඩ විය. දැං තාත්තා දකුණු කකුලෙන් පැටල් එක ආපස්සට කරකවලා ඒ කකුලෙන්ම තද කරගන්නවා, මට තියෙන්නේ හැඬල් එක අල්ලං වම් පැත්තේ පැටල් එකට කකුල තියලා පොඩි ගැම්මක් අරං පොල්ල උඩින් වාඩිවෙන්න විතරයි.” පොඩි එකා මීලඟ පියවර ගැන සිතමින්ම රුපියල් දහය කලිසං සාක්කුව තුලට ඔබා ගත්තේ මහත් භක්තියෙනි. ඊලඟ මොහොතේ පොඩි එකා සිතූ සියල්ල එලෙසින්ම ක්‍රියාත්මක විය. තාර ගැලවුනු පාර දිගේ වලවල් මග හරිමින් තම පියා පා පැදිය පදිද්දී, පොඩි එකා රුපියල් දහය ගැන කල්පනා ලොවක තනි විය.

මං මේ රුපියල් දහයෙන් කඩයක් දාන්න ඕන. මේකෙන් ටොපි ටිකකුයි රටකජු පැකට් වැලකුයි ගන්න පුළුවන් තව කඩි බිත්තර පැකට් දහයක් විතරත් ගන්න පුළුවන්.. ඒවා විකුණල හම්බෙන සල්ලි වලින් ආයෙත් බඩු ගන්න පුළුවන්.... බම්බුව ඒක හරියන වැඩක් නෙවෙයි අපේ කන්ද මුදුන්ට කවුද රටකජු ගන්න එන්නේ.. ගියපාර කඩේ දාපු වෙලාවෙත් අක්ක තමයි බාගෙට බාගයක් බඩු ගත්තේ සල්ලි දෙන්නං කියල.. කෝ ඒ සල්ලි හම්බුනෙත් නෑ.  මේ පාර ඒ මෝඩකම කරන්නෑ.. බලන්න ඕන වෙන දෙයක්.. මොකද කරන්නේ....... නෑෑ.... මේකෙන් මොනවහරි කනවා, ඔව් අර චොකලට් එකක් අරන් කනවා කාටවත් දෙන්නෑ...... හෙට ඉස්කෝලෙ ගිහිල්ලා කැන්ටිමෙන් බඩ පිරෙන්න කනවා...  නෑ නෑ... අම්මට කියල සෙල්ලං කාර් එකක් ගෙන්න ගන්නවා... ෂිහ් අවුරුදු කාලෙක මේක හම්බුනානං කැට ගහන්න හරි තිබුණා... ආ හංදියේ කඩේ තෑගි ටොපි වගයක් තිබුණා ගන්න ඕන ටිකක් ඒතේ තෑගිවලට තිබ්බ ප්ලාස්ට්ක් බොලේ හරි ඇදෙයිනේ......................

මේ නොයෙක් නොයෙක් සිතුවිලි සමග සටන් කරමින් පැමිණියද නිවස පිහිටි කන්ද පාමුලට පැමිණෙන තෙක්ම පොඩි එකාට හරි හමන් තීරණයකට එලැබීමට නොහැකි විය. නමුත් මම දැන් රුපියල් දහයක අයිතිකාරයෙක් යන ධනවත් සිතුවිල්ල පොඩි එකාගේ සිත පීත්‍රියෙන් පුරවා තිබිණි. පා පැදියෙන් බැස නිවසට ගොඩවන පොඩි එකාට ගමේ කොල්ලන් කීප දෙනක් මගදී හමුඋවත් ඔවුන් හා වැඩි කථාවට නොගියේය. පුහ්.. මුං කවුද මං දැං සල්ලිකාරයෙක්, ඒ හින්දා මුං එක්ක වැඩි බජනෙට යන්න ඕන්නෑ ආඩම්බරයෙන් උතුරා ගිය පොඩි එකාට සිතුණි. 

පඩි පෙළ දිගේ ඉහලට නගින පොඩි එකාට අළුතින් ඉදිකරන පහල ගෙදර පෙනුණි පාර පැත්තට වන්නට බැඳ ඇති මුදුන් බිත්තිය නිසා ඔවුන්ගේ පරණ ගෙදර දැං පාරට පෙන්නේ නැත. අලුතින් ඉදිකරන පහල ගෙදර ගැන සියුම් ඉරිසියාවක් පොඩි එකාගේ සිතෙහි මෝදු විය. වෙනදා නං ගෙදර යන පොඩි එකා පහල ගෙදරට නොවැරදීම ගොඩ වදියි. නෑ.. මං එහේ යන්න ඕන නෑ. දැං මටත් සල්ලි තියනවා රුපියල් දහයක්මයයි සිතමින් පොඩි එකා පහල ගෙදර මගහැර කන්ද ගොඩවන්නට විය.

අවුරුද්දක් පමන වයසැති බවුන්ඩේසම හරහා, කටු මැටි ගැසූ, ටකරං සෙවිලි කල තම නිවසට පැමිණි පොඩිඑකා මහත් ආඩම්බරයෙන් අම්මා හෝ අක්කා ඇද්දයි සොයන්නට විය. අම්මා කුස්සියේ මොකක්දෝ වැඩකය.

අම්මේ..

ආ.. පොලේ ගිහිං ආවද ?

අම්මේ.....

මොකද ඒ පාර තත්තා බැන්නද ?

නෑ....

එහෙනං..

සාක්කුවට අත දමා රුපියල් දහය එලියට ගත් පොඩිඑකා එය අම්මා අත තැබීය.

අම්මේ... මේ සල්ලි අරං අපේ ගේ හදන්න..” 

නිහඬව මොහොතක් බලා සිටී අම්මා හෙමිහිට පොඩි එකා තුරුල් කරගත්තාය. තවත් මොහොතකින් පොඩි එකාට ඇසුනේ අම්මාගේ ඉකි බිඳුම් හඬ පමණී......