Sunday, November 1, 2020

ටිකිරා අයියාගේ සමපොෂ සංග්‍රහය.

 ටිකිරා අයියාගේ සමපොෂ සංග්‍රහය.      

2014-10-26 වෙනිදා මම මගේ බ්ලොග් පඩංගුවේ පොඩි කතන්දරයක් ලියනවා. ඒත් ඒක එදා ඉවරකරගන්න උනේ නෑ දෙවනි කොටස ලඟදිම දාන්නං කියලා තමයි කිව්වෙ. ඉතිං මං මේක අවස්ථාවක් කරගන්නවා . ඒ කතන්දර ඉතුරු ටිකත් කියලා දාන්න.

මේ සිද්දිය උනේ දෙදාස් හත අවුරුද්දේ වගේ මේ අවුරුද්ද වෙනකොට අපි කැම්පස් එකේ හතර වසරට ඇවිල්ලා හිටියේ. මේකට මූලික වෙච්ච හාදයෝ දෙනන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මේ උඩින් නම සඳහන් ටිකිරා අයියා. ටිකිරා  අයියා කියන්නේ අපේ හොස්ටල් එක ගාව පොඩි කෑම/තේ කඩයක් දාගෙන දැහැමින් සෙමින් වෙළදාමක් කරගෙන ඉන්න අහිංසක මනුස්සයෙක්. මේ මනුස්සයගේ කඩේ ගාව ඉඳන් හොස්ටල් එකට මීටර් හැටක් හැත්තෑවක් ඇති. හැබැයි ඒ අතර තුර ඉඩං කෑල්ලේ තියෙන්නේ සොහොන් පිට්ටනියක්.

මගේ කතන්දරේ ප්‍රධානම චරිතය තමයි මගේ අති පජාත මිත්‍රයෙක් වෙච්ච ජේපී (නුවර, බොක්කාවල, පට්ට ඩොටේ උංගෙ ගෙදර ඉඳන් ඇවිත් මාව සමූල ගාතනේ කරලා, අතපැන් වත්කරලා ඕ නෑ නෑ මතක වස්ත්‍ර පූජකරලා අනිචිචාවත සංකාරා උප්පාද වයදම්මිනා කියලා, මගේ හත්දොහේ දානෙත් දීල හොඳවයින් බනකුත් කියලා යනබව දන්න හින්දා මනුස්සයගේ සැබෑ නම කියන්නේ නෑ.. අහන්නත් එපා, නෑ .. කිව්වොත් නෑම තමයි.) .

ඉතිං ඔන්න දෙදාහස් හතේ දවසක, ඉරත් බැහැගෙන යන හවසක. හොස්ටල් එන මාවතේ අතරමග. ජේපී යි මායි මූණට මූණ මුලිච්චි වෙනවා. මං උගේ මූණ දිහා බැලුවා ඌ මගේ මූණ දිහා බැලුවා. දෙන්නට දෙන්නා තේරුං ගත්තා දෙන්නගෙම හිතේ තියෙන්නේ එකම එක අදහස කියලා. ඒවට කියන්නෙ සංසාරගත බැඳීම් සහ අනොන්‍ය අවබෝධය කියලා. කතාබහක් නැතුවම දෙන්නම පර්ස් අරගෙන බැලුවා අතේ මිටේ කීයක් තියද කියලා, චැහ් ඔක්කොම  එකතු කරත් බාගයක් ගන්නවත් මදි. මොකද කරන්නේ දෙන්නම බොක්කුවක් උඩ වාඩිවෙලා බුලත් විටේ තිබ්බ පුවක් කෑල්ලක් දෙකඩ කඩාගෙන හපන ගමන් කල්පනා කරා.

අපි අලියෙක් බලමු..

ඒ ජේපී ගෙ වචන. අනේ ඉතිං අලියෙක් බලන්න ච්චර වියදමක් යන්නේ නැති හින්දා අලි පැටව් තුන්දෙනනෙක්ම ලඟ පාත තිබ්බ බේත් බඩු කඩෙන් අරගත්තා. හෝව් හෝව් හොව් මං ඔහෙලා අනාත කරනෝනේ අලි බලනවා කියන්නේ අරකට, අරකට කියන්නෙ යොදයෝ අර ගුලි කන එකට. ඒකාලේ  අලි පැට්ටෙක් ඒ කිව්වේ ගුලියක් රුපියල් දහයක් හරි පහලොවක් හරි විස්සක් නං උනේ නෑ. ඉතිං ඕකට ඕන අඩුම කුඩුම විදියට තව චොකලට් එකකුත් මිලදී අරගෙන ආයේ හොස්ටල් එක ගාව තිබ්බ ගල් වට මේසේ වාඩි උනා.

දැං ඉතිං අලි පැටව් එකාමාර ගානේ දෙන්න එක්ක බෙදාගෙන ඒවා උඩු තල්ලෙ අලෝගෙන ඒවා හිමින් හිමින් දියවෙනකං බලාගෙන ඉන්නවා. විනාඩි විස්සක් විතර යද්දි වැඩේ සේප් දැං වතුර එකකුත් බීලා කටත් හෝදගෙන මුකුත් නොවිච්ච ගානට ඉන්නවා (ඉන්න ට්‍රයි කරනවා ඉතිං) ටික වෙලාවක් ඔහොම හිටියට කාටවත් මුකුත් වෙනසක් නෑ. ඉතිං අපි ටිකිරා අයියගේ කඩෙන් වැඩිසීනි ප්ලෙන්ටියකුත් ගහලා ආයේ හොස්ටල් ආවා. ටික වෙලාවකින් ආයේ වෙනසක් නැති හින්දා අර චොකලට් එක කන්න යෝජනාවක් ආවා. අනේ ඉතිං හරියට වෙලාව බැලුවනං විනාඩි විස්සක් විතර ට්‍රයි කරලා චොකලට් කොලේ ගලෝගෙන ඒකත් බෙදාහදාගෙන කෑවා. දැංනං බොලේ යංතං වැඩේ සෙට්, අපි උන්නු තැනින් බලු කුක්කෙක් ගියත් ඌත් එක්කත් හොඳට හිනා වෙන ලයින් එක. එදා එතනින් බල්ලෝ, පූසෝ හරක් පවා නැවතිලා අපි එක්ක හොඳට හිනාවෙලා ගියා. උන්ට කොහෙම වෙතත් අපි දෙන්නට හරි සතුටුයි.

ටිකක් රෑ වීගෙන එද්දි බඩ පනුවෝ පිකටින් කරන්න ගත්තා දියව් දියව් කන්න දියව් කියලා ඒක ඉවසගන්න බැරි කුසගින්නක් දෙන්නත් එක්කම ආයේ ටිකිරා අයියා හොයානෙ ගියා. එතන මෙසේ දෙන්නත් එක්ක වාඩිවෙලා මූණට මූණ බලාගෙන ඉන්නවා ටිකිරයියගේ මූණ බලනවා හිනාවෙනවා. උපන්දා ඉඳන් මහපොලව එක්ක ඔට්ටුවෙච්ච, කැම්පස් එක පටන්ගත්ත දා ඉන්දන් ඒකේ ඉන්න අයියලත් එක්ක ඉහගහගෙන උන්නු ටිකිරා අයියට පටස් ගාලා වැඩේ මීටර් උනා.

ඉතිං ටිකිරයියා මුලින්ම පොල් කේක් කෑලි ටිකක් ගෙනැල්ලා මේසේ උඩින් තිබ්බා අපි ඒක කන ගමන් සමපොෂ පැකට් එකක් හදලා දෙන්න කියලා කිව්වා. ඉතිං ටිකිරාඅයියගේ වයිෆ් අක්කා දඩිබිඩිගාලා පොල් ගාලා සමපෝෂ පැකට් එකක් හදලා දුන්නා ඒක ටිකක් කකා ඉන්නකොට අනේ මේ අහිංසක ජේපී ට කොල් එකක් ආවා. ඌ පොන් එකත් කනේ ගහගෙන එලියට එන අතරේ මම තව සමපෝෂ එකක් දාන්න කිව්වා. ඒක ඉවරවෙනකොට තව එකක්. ඒකත් කාලා පජලට ගෙනියන්න කියලා තවත් සමපෝෂ පැකට් එකක් හදලා කඩේ තිබ්බ පාං බාගෙකුත් කාලා අර සමපෝෂ පාර්සලෙත් අරං හොස්ටල් එන්න ආවා. ඒත් ඉතිං මගට එනකොට මට ආයේ බඩගිනියි පාර අයිනේ ගලක් උඩ තියාන ඒ පාර්සලෙත් දිගෑරගෙන කාලා රූම් එකට ආවා.

අනේ චුට්ටක් අඳේ දිගාඋනා විතරයි මුලු ලෝකේම මගේ ඇගට කඩා පාත්වෙන්න ගත්තා. මහා රාස්සයෙක් ඇඟට කඩා පාත්වෙන්න වගේ සීලින් ෆෑන් එක කැරකෙනවා. බිත්ති ඔරලෝසුවේ ටික් ටික් සද්දෙ බිත්ති වලට ගහන කුළුගෙඩි පාරවල් වගේ ඇහෙන්න ගත්තා, ඒ එක්කම සොහොන් පිට්ටනියෙ ඉඳන් ඒකේ වලදාපු මිනී වලෙන් නැගිටලා කාමරේ බිත්තිය දිගේ මගේ දිහාවට එන්න පටන් ගත්ත. ඒ එක්කම ඇදේ ඉඳන් බිම බැලුවම එතන මහා අගාධයක් චුට්ටක් එහෙමෙහෙ උනොත් ඒකට මං වැටෙයි කියලා හිත කියන්න ගත්ත. ඕනි දෙයක් වෙච්චාවේ කියලා ඇඳමුල්ලෙ ගුලිම ගුලි වෙලා කොට්ටෙන් ඇඟම වහගෙන නිදා ගත්තා.

උදේ පාන්දර කවුදෝ යටි ගිරියෙන් කෑ ගහන සද්දෙට ඇහැරුනේ. දුවලා ගියා ඉතිං ඒ පැත්තට. ඒ වෙලාවේ සේට් එකක් එකතු වෙලා ටොයිලට් එකේ දොර ගලවන්න හදනවා. කාගෙද කකුලක් දොරට යටින් එලියට ඇවිල්ලා දොර ගලෝලා  බැලින්නං අනේ = මගේ අතිජාත අහිංසක මිතුරා ජේපී ටොයිලට් එකක් ඇතුලේ කක්කි දාන්න වාඩිවෙච්ච ගමන්ම වැටිලා සනීපෙට නිදි. කට්ටිය කලබල වෙලා මනුස්සයා උස්සල ගන්න හදනකොට ඕං ඇහැරපි මේකා. වතුර පාරක් එහෙම අල්ලලා මූව හෝදලා එහෙම ගත්තට පස්සේ මූ අම්මාමෝ නැතිව බයින්න පටන්ගත්තේ නැතෑ උගේ සැප නින්ද කැඩුවා කියලා. හැක් හැක්  

(පස්සේ ටිකිරයියගේ බිල ගෙවන්න ගියාම තමයි තේරුං ගත්තේ ණය වෙලා හරි බාගයක් ගැහුවනං සේප් නේද කියලා)

 


-විදානේ-