Tuesday, September 8, 2015

ගං වතුර...

හමනා දැඩි සුළගත්, විටින් විට ඇසෙන අකුණු ගසනා හඬත් නිමාලි නින්දෙන් අහරවන්නට සමත් විය. හවස් ජාමයේ සිට කළුකර තිබූ අහස මහ වැස්සක් වස්සන්නට සැරසෙන බව නිමාලිට දැණුනි. පොරවාගෙන සිටී චීත්ත රෙද්ද අහකට කල නිමාලි ඇඳ මත වාඩිවී මේසය මත දල්වා තිබූ චිමිණි ලාම්පුවේ දැල්ල මදක් වැඩි කර ඒ අසල තිබූ එලාම් ඔරලෝසුව ගෙන වෙලාව බැළුවාය. 

"එකොලහට විස්සයි, අදනං එලිවෙනකං වහී වගේ" ඈ තමාටම කියාගත්තාය.

වහලයෙහි සෙවිලිකර ඇති ටකරං මතට ටක ටක හඬින් වැහිබිඳු වැටෙන්නට විය. ලෑලි ගසා ඇති බිත්තියේ ලෑලි අතරින් එන සීතල සුලඟ ඇඟෙහි හිරිගඩු පිපෙන තරම් විය. ඒ සීතල දැනිලාදෝ නිමාලිගේ අටමස් කුස තුල සිටින සිගිත්තා පා පහරවල් කීපයක් එල්ල කරන්නට විය. ආදරණීය සතුටකින් තම කුස හිමිහිට පිරිමදිමින් නිමාලි ඇඳෙහි අනෙක් පස නිදනා තම සැමියා දෙස බැලීය. ඔහු තවමත් සුව නින්දේය. මහවැස්සත්, ඒහා සමග හමනා සුළගින් එන ගුප්ත සීතලත් නිසාදෝ ඇය සැමියාගේ තුරුල්ලටම වන්නට විය.

දහ නව හැවිරිදි වියේ සිටිනා නිමාලි පවුලේ මද්දුමී විය. ඇගේ පියා අල්ලපු ගමේ පාසලේ ගුරුවරයෙකි. ඇගේ මව කලින් ගුරුවරියකව සිටියත් දරුවන් තිදෙනාගේ රාජකාරී වලට මුල්තැන දීම සඳහා එයිත් ඉවත් වී ඇත. පියාගේ වැටුපත් වත්ත පිටියෙන් ලැබෙන ආදායමත් අග හිගයකින් තොරව ඔවුනට ජීවත් වීම සඳහා තරම් විය. මල්ලී අම්මාගේ හුරතලා වන විට තත්තාගේ හුරතලිය බවට පත් වූයේ නිමාලිය. 

නිමාලි සාමාන්‍ය පෙළ ලියනා විට ඇගේ සොයුරිය උසස් පෙළ ලියා විශ්වවිද්‍යාලට තේරුනේ සිය පවුලමට ආඩම්බරයක් වෙමිණි. අක්කා වගේ මාත් කොහොම හරි කැම්පස් යනවා එවෙලහි ඈ අදිටන් කර ගත්තාය. ඒ අදිටනින් යුතුව උසස් පෙළ පන්තියට ඇතුළු වන නිමාලිගේ ජීවිතය මේ ලෙස වෙනස් වේයැයි ඇයද සිහිනෙකින් වත් නොසිතුවාය.

හතර අතින් ගොරව ගොරවා වහින වැස්ස දැන් පැයකටත් වැඩිය, අඩු වැඩි වීමකින් තොරව ඒකාකාරීව ටකරන් මතට වැටෙන වැහි බිඳු මහා ඝෝෂාවක් විය. සුළගෙහිද අඩුවක් නැත. ගඟ ගලයිද? නෑ එහෙම වෙනකක් නෑ. ඇය සිත සැහැල්ලු කරගන්නට මෙන් සිතා ගත්තාය.

තම පාසලේම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් සම්පත් තමන් කෙරෙහි විශේෂ ඇඟෑලුම් කමක් දක්වන බව ඇය නොදැන සිටියාම නොවේ. එහෙත් ඇය එය ගනනකට නොගෙන තමන්ගේ පාඩුවේ ඉගනුම් වැඩ කටයුතු වලම නිරත විය. නමුත් දිගින් දිගටම තම ඒකායන අරමුණහිම සිහි එලවාගෙන සිටින්නට තරම් නිමාලිගේ සිත සවිමත් නොවීය. ඇයටද නොදැනීම ඇගේ සිතිවිලි වල සම්පත් ගේ රුව සක්මන් කරන්නට විය. ඇගේ පාඩම් පොත් පිටුවල තිබූ සටහන් යටපත් කරගෙන සම්පත් ගේ දඟකාර රුව මැවෙන්නට විය. ඉනික්බිති පාසලද පන්තියද යටපත් කරමින් නිමාලි - සම්පත් ආදර අන්දරය ගලාගියේ නිමාලිගේ විශ්වවිද්‍යාල සිහිනය පොඩි පට්ටම් කරමිනි.

කුඩා රිකිල්ලකින් ඇරඹි ආදර පැලය යාන්තමින් අතු ඉති රිකිලි දමා වැඩෙද්දීම නිමාලිගේ පියා ගේ දෑතට හසුවිය. ඉනික්බිති තම නිවසින් අප්‍රමාන දොස් පරොස් ඈ වෙත එල්ල වන්නට විය. නිමාලිගේ නිවසින් සම්පත්ට අකමැති වීමට හේතු සාධක ඕනෑවටත් වඩා තිබිණි. සම්පත්ගේ පියා සොරකම් කිහිපයකටම හිරේ විලංගුවේ වැටුනු අයෙකි. සතියකට වරක් දෙකක් අනිවාර්යයෙන්ම කා සමග හෝ දබරයක් ඇති කර ගැනීම ඔහුගේ සිරිත විය. ගුරු පාර කෙලවරට වන්නට තිබූ සම්පත්ගේ කුඩා නිවසෙහි නව දෙනෙකු ජීවත් වෙති. සම්පත් ගේ වැඩිමහලු සොයුරන් දෙදෙනා කිසිඳු රැකිකියාවක් හෝ ඉගනුමක් නොමැතිව හංදියේ කඩපිල්වල රස්තියාදුවේ නිරතවෙයි. සම්පත් ගේ වැඩිමහල් සොයුරිය ගැන ගම්මුන් කියන නීරස කයි කතන්දර වල සත්‍යයක් නැත්තේම නොවේ.

"අපි පැනල යමු."

දෙවරක් හිතන්නට දෙයක් තරම් නොවීය. ඇය ඇසූයේ කවදාද යන්න පමණී. ඉනික්බිති ටවුමේ රෙජිස්ටාර් ඉදිරියේ විවාහය සහතික කල නව යුවල, තුන් රෝද රියකින් රියකින්  ඉගිලිනුනේ තමන්ට කියා ලෝකයක් තනාගන්නටය. විවාහවී සම්පත්ගේ නිවසෙහි නතර වීම කෙතරම් දුෂ්කරදැයි ඇයට වැටහුනේ එහි ආ මුල්ම දිනයේය. ඔහුගේ මව කථාබහ කරන සාමාන්‍ය විලාශය පවා නිමාලිට බිය උපදවන්නට තරම් විය. නව දෙනෙකු ජීවත් වූ නිවසෙහි දසවැන්නා වූ නිමාලි එදින රෑ ජීවිතයෙහි පලමු වරට පන් පැදුරක ගුලි වී නිදන්නට විය.

සම්පත්ගේ නිවසට මෙපිටින් බස් පාරට කිට්ටු වන්නට ඟඟත් පාරත් අතරට වන්නට වූ කුඩා බිම් තීරුවකි. ගම්මු මෙය හැඳින්වූයේ රිසිවේසන් පටිය කියාය. දින දෙක තුනක් ඇතුලත මේ බිම් තීරුවෙන් කොටසක් එලි පෙහෙලි වී ලෑලි බිත්ති බැඳි කුඩා නිවසක් ඉදිවිය. බොහෝ සෙයින් සාමයට ලැදි ගමේ ග්‍රාම නිළධාරී මහතා මෙසේ රිසිවේමෙහි ඉදිකරීම් නොකරන ලෙස නිල වශයෙන් දන්වා ඉක්මනින්ම මාරු විය. සතියක් යන්නට මත්තෙන් නිමාලිත් සම්පතුත් ඔවුන්ගේ මාලිගාවක තනිවන්න විය. මේ අතර සම්පත් හංදියේ ගරාජයේ සුළු රැකියාවක් සොයා ගත්තේ ඔවුන් ගේ බොහෝ ගැටළු වලට තිත තබමිනි.


මේ අතර නිමාලිගේ අම්මාත් තාත්තාත් නිමාලිව සොයා කිහිප විටක්ම ඇගේ අතු පැල වෙත පැමිණ අයැද සිටියේ මේ සියල්ල අතහැර නැවත නිවසට එන ලෙසයි. නමුත් තමන්ගේ සුරවිමනෙහි සුර සැප විඳින නිමාලි ,මව් පියන්ගේ අයැදිලි පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් මායිම් නොකලාය. බහින්බස් වීම දුර දිග ගිය එක් දිනක ඇගේ කෙස්වැටියෙන් අැද කම්මුල හරහා පහරක් එල්ල කල ඇගේ පියා ඉකි ගසමින් නික්ම ගියේ "මගේ මද්දුමී මලා" යැයි පවසමිනි. පියාගෙන් ලද අතුල් පහරේ වේදනාවට වඩා ඔහුගේ ඉකිගැසුමෙ වේදනාව නිමාලිගේ සිතෙහි බොහෝ දිනක් රැදී පැවතුනි. එතැන් පටන් නිමාලිගේ මවුපියන්ගෙන් ඇයට කිසිඳු කරදරයක් නොවීය.

 "යකෝ සම්පතෝ දෝර ඇරපිය..තොපිි මේකට වෙලා මැරෙන්නද හදන්නේ.. "

කාගේදෝ කෑ ගැසීමක් ඇසී නිමාලිට එකවරම ඇස්ඇරින. සම්පත්ද ඒ හඬින් අවදි වී තූෂ්නිම් භූත වී ඇත.. කෑ කොස්සන් ගෑම එන්න එන්නම වැඩිවන විට නිමාලි ඇඳෙන් බිමට අඩිය තිබ්බාය. දෙපතුලට දැනුනු තද ශිතලත් සමග ක්ෂණයකින් ඇයට සියල්ල අවබෝධ විය. උපදින්නට සිටින බිළිදාට රැගත් මෙවලම් සහිත බෑගය රැගත් නිමාලි සම්පත්ද ඇදගෙන රිසිවේසමේ ලෑලි නිවසින් පාරට පිනූයේය..

මහ වරුසාවෙහි කෙලවර කිසිවෙකුටත් නිගමනය කල නොහැකි විය. කෙමෙන් කෙමන් අඳුර දුරලා හිරු උදාවන්නට විය. නමුත් ඒ හිරු කිරන වසාලමින් ඝණ අඳුර දිගින් දිගටම රජයන්නට විය. පාර අයිනේ වූ ගල් පොත්තක් මත වාඩි වූ නිමාලි තමන්ගේ හත් මස් හැවිරිදි වූ නිවස දෙස බලන්නට වූවාය. දැන් එය අඩි එක හමාරක් දෙකක් පමනට ජලයෙන් වැසී ගොස්ය, ජලයේ පාවෙන ලී කැබලිති ගෙයට ඔච්චම් කරන්නට මෙන් එහි ලෑලි පතුරු මත වැදෙමින් වැසි ජලයේ පාවී ගියාය, ලී කැබලිති පතුරු මත හිඳි කුහුඹුන් සෙමින් සෙමින් නිවසෙහි ලී බිත්ති මත ඉහලට නගින්නට විය.

වේලාව උදෑසන හත පමන වන්නට ඇත, දැන් ජල පහරෙහි සැරකම අන් කවරදාකටවත් වඩා වැඩි විය, ඇගේ නිවසත් සමග සසඳා බලන කල එය හයකටත් වඩා වැඩි මිස අඩු නොවීය. මහ ජල කඳත් සමග ගසාගෙන ආ විශාල ලී කොටයක් නිමාලිගේ නිවසේ එක් පැත්තක වැදී එක් වටයක් කැරකී ගං දියෙහි පහලටම ගසාගෙන යන්නට විය. ඒ වැදුනු සැර පහරික් අබලන් වූ නිවස කෙමෙන් කෙමන් එක් පසකට ඇල වන්නට විය. තවත් ටික වේලාවක් ගත වන විට නිවසෙහි වහලය, ජල රකුසා සමග කළ සටනින් පැරදී ගං දිය සමග පහලට ඇදෙන්නට විය. 

වේලාව ගෙවෙන්නේ විදුලි වේගයෙනි, මහා ජල රකුසාත් සමග සටන් කරන්නට නිමාලිලාගේ නිවසෙහි අත්තිවාරමට වාරු නොවීය. කෙමෙන් කෙමන් ගැලවී යන තම නිවෙසෙහි ලී පතුරු දෙස නිමාලි කිසිඳු හැගීමකින් තොරව බලාසිටින්නට විය. දැන් සියල්ල හමාරයි ඇයට සිතුණි,
"නෑ එහෙම වෙන් නෑ ... පාර පැත්තෙ කණුව තාම ඉතිරි වෙලා තියනවා" හිත අස්වසාගන්නට මෙන් ඇයට නැවතත් සිතුණි, පෙරට වඩා වඩාත් උවමනාවෙන් අැය ඉතිරිව ඇති අවසන් කණුව දෙස නෙත් යොමු කරන්නට විය. ගං වතුරෙහි පාවී ආ කුහුඹුන්, කෘමීන්, සෙමින් සෙමින් කණුව මතට ගොඩවවනවා ඇයට දකින්නට ලබිණි.

දැං ඉතිං සියල්ල හමාරයි, අැයට සිතුණි, ඇය බලන්නං වාලේ ඔහේ පාරදිගා බලාගෙන සිටියාය. අන්තිම මාස දෙකතුනේ සම්පත්ගේ අම්මා දෑවැදි ගැන අසමින් කිහිපවිටක්ම ඇයට නොක්කාඩු කිව් අයුරු ඇයට මතක් විය. ඒත් එක්කම සම්පත්ගේ වැඩිමහල් සොහොයුරා මනාලියක කැන්දාගෙන විත් තවමත් මහගෙදර නතරවී සිටින බවද ඇයට පසක් විය. "අනික මං කොහොමද කිරිසප්පයකුත් එක්ක එතැන ඉන්නේ??" කිසිත් කරකියාගත නොහැකි ඇය නිසොල්මනේ පාර දෙස බලා ඉන්නට විය.

වැස්ස ටිකින් ටික තුරන් වන්නට විය, නමුත් ගං වතුරෙහි සැඩ පරුෂ කම අඩු නොවීය, නිමාලි කුමක්දෝ බලාපොරොත්තුවෙන් පාර දෙසම බලා හිඳින්නට විය. කවරදාවකවත් නොදැනුනු තනිකමක් ඇයට දැනෙන්නට විය, කොහෙන්දෝ බත් පතක් සොයාගෙන ආ සම්පත් එය නිමාලිට කවන්නට උත්සාහ දැරීය, නමුත් එය පසකට දැමූ නිමාලි මාවතෙහි ඈත වංගුව දෙසටම නෙත් යොමා සිටියාය. ඇය සිතුවා නිවරදිය, ලොවෙහි කොතැතනක කොතරම් ඈතින් දුටුවත් ඇයට එය හඳුනාගත හැකිය, ඇයට ඔහු හඳුනා ගත හැකිය, තමා කුඩා කාලයේ සිට ගම පුරා කරක් ගැසූ ඒ පා පැදිය දුටු ක්ෂණයෙන් ඇයට හඳුනාගත හැකිවිය.  තමා කරමත හොවාගෙන ගේ වටේ දුව ගිය, පුංචි සීරීමකදී පවා ඇයව ඔසවාගෙන බෙත් සාප්පුව වෙත දුවගෙන ගිය, ඇගේ තාත්තා කෙසේ නම් ඇයට හඳුනාගත නොහැකි වේද?

කුසේ උන් පුංචි පැටියා ආයෙත් දඟකරන්නට විය, ඒ පුංචි පා පහරවල් වලින් නිමාලිගේ කුසට සියුම් ආදරණීය වේදනාවක් දැනේනට විය,

"ඔහොම ඉන්නකො පැටියෝ, ඔයාගේ සීයා ලඟ...ම එනවා" සියුම් ව කුස පිරිමදිමින් බොහොමත්ව ආදරයෙන් ඇය පැවසීය,

වෙනදා තාත්තා හෝ අමමා දකින විට ආයාසයෙන් වහන් වෙන නිමාලිට අද එසේ උවමනා නොවීය, සියල්ල  අවසන් උනු තැන ඇගේ යටිසිත නිතැතින්ම ඒ සෙනෙහස සෙවූවාය. තාත්තාගේ පාපැදිය ලං ලංවත්ම ඇය හුන් තැනින් නැගිට්ටාය,  මේ කිසිත් දෙස නෙත යෙමු නොකල නිමාලිගේ තාත්තා නිමාලිව පසුකර පා පැදිය කඩමණ්ඩිය වෙත පදවන්නට විය. නිමාලි නැවතත් ගං දිය දෙස බැලීය, ලෑලි නිවසෙහි අවසනට ඉතිරිවූ කණුවත් ගං දිය විසින් යටකර හමාරය. එහි උන් කුහුඹුන් හා කෘමීන් කොයියම්ම මොහොතක හෝ තමන්ට ගැලවීමක් ලැබෙතැයි සිතා ගං දිය පහරට අවැසි පරිදි පහලට ගසාගෙන යන්නට විය..