Sunday, December 13, 2015

ඔබගේ අළුත් හැඳුනුම්පත් අංකය???

ශ්‍රී ලංකාවේ පුරවැසිබව තියෙන වයස අවුරුදු දහසයට වැඩිනම් අනිවාර්යයෙන්ම ජාතික හැදුනුම් පතක් තියෙන්න ඕන. අපි යන එන හැමතැනකම මේ ජාතික හැඳුනුම් පත රැගෙන යාම අනිවාර්යයි. පහුගිය කාලේ නං ජාතික හැදුනුම් පත නැතිව පාරට බහින්නත බැරි තත්වයක් තමයි උද්ගත වෙලා තිබුනේ.

හරි මං කතාකරන්න යන්නේ ජාතික හැදුනුම් පතේ තිබෙන අංකය පිළිබඳවයි. ජාතික හැඳුනුම් පතක් මුලින්ම නිකුත් කරන්නට පටන් ගත්තේ 1972 වර්ශයේ සිටයි. දැනට නිකුත් කරන ජාතික හැදුනුම් පත‍ෙහි  අංක නවයකින් සහ "v" හෝ "x" අකුර සඳහන් අංකයක් දැක ගන්න පුළුවන්. මේ අංක නවය සෑදෙන ආකාරය පිළිබදව බොහෝ දෙනා දැනුවත් මේ පිළිබඳ නොදැනුවත් අයත් ඉන්න පුළුවන්.

උදාහරණයක් ලෙස 310423579 v කියන හැඳුනුම් පත් අංකය සලකා බලමු. (මෙම අංකයෙහි  හිමිකරු මාහට කමා කරත්වා)

310423579 v

මෙම අංකය පැහැදිලි කරදීමේ පහසුව තකා මවිසින් කොටස් පහකට වෙන්කර පාට පහකින් දක්වා තිබෙනවා.

මුල්ම අංක දෙක (31)


මවිසින් රතු පැහැයෙන් දක්වා තිබෙන මුල්ම අංක දෙකෙන් දැක්වෙන්නේ එම පුද්ගලයා උපන් වර්ශයේ අග ඉලක්කම් දෙකයි. එනම් මෙම අංකය හිමි පුද්ගලයා ඉපදී තිබෙන්නේ 1931වර්ශයේයි.

දෙවැනි අංක තුන (042)


මෙම අංක තුනෙන් දැක්වෙන්නේ මෙම පුද්ගලයා ඉපැදුනේ වර්ශයේ කීවැනි දිනයද යන්නයි. එනම් ජනවාරි පලවැනිදා සිට දින ගනන සඳහන් වෙනවා. ඉතහ උදාහරණයෙහි සඳහන් වන්නේ 042 යි එනම් එම අවුරුද්දේ හතලිස් දෙවන දිනයේයි. එනම් පෙබරවාරි 11 වැනිදායි

* පිරිමි පුද්ගලයකුගේ නම් මෙම අංක තුන 1 සිට 365 හෝ අධික අවුරුද්දකනම් 366 දක්වා වනවා.

* ගැහැණු අයුකුගේ මෙම අංකය ට 500 ක අගයක් එකතු කරනවා. එනම් 501 සිට 865 හෝ 866 දක්වා වනවා.

එමගින් අපිට නිගමනය කල හැකි වන්නේ ඉහත හැඳුනුම් පත හිමි අය පිරිමි පුද්ගලයකු බවත් ඔහු 1931-02-11 වැනි දින උපත ලබා ඇති බවත්ය. මෙදිනම උපන් කාන්තාවකගේ දෙවැනි අංක තුන වන්නේ 542යි.

තුන්වැනි අංක තුන. (357)


මෙම අංක තුනෙන් දැක්වෙන්නේ පුද්ගලියන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට මෙම දිනයේ උපත ලද අයගෙන් ලැබුනු කීවෙනි අයදුම්පත ද යන්නයි. ඉහත උදාහරණයට අනුව 1931-02-11 වැනි දින උපත ලද අගෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට 357 වැනි අයදුම් පත්‍රය මොහු විසින් යොමුකර තිබෙනවා. මෙම අංකය 1-999 දක්වා වූ අගයක් ගන්නවා.

හතරවැනි අංකය. (9)

මෙම අංකය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලැබෙන ගොනු අංකයක්. මෙය 0 සිට 9 දක්වා වෙනවා.

පස්වැන්න අක්ෂරය "v"
මා දැනුවත් වූ ආකාරයට උපතින්ම ශ්‍රී ලංකියන් වූවන් හට "v" අක්ෂරයද, පුරවැසිබව ලබාගත් අයහට "x" අක්ෂරයද හිමිවනවා. (මේ තොරතුර නිවැරදිමදයි කීමට නොදනිමි - වැරදිනම් දන්නා අයකු විසින් නිවැරදි කරන්නේනම් මැනවි)

මේ අනුව බලනකල ඉහත හැදුනම් පත් අංකය හිමි පුද්ගලයා උපතින්ම ශ්‍රී ලාංකිකයකු බව පැහැදිලි වනවා.

වර්ථමාන හැදුනුම් පත් අංකයෙහි පවතින දුර්වලතා

01. වසරෙහි අග ඉලක්කම් දෙක පමණක් සඳහන් වීම.

හැදුනුම්පතහි වසරෙහි අග ඉලක්කම් දෙක පමණක් සඳහන් වීම නිසාවෙන් ගැටළු කිහිපයක් උද්ගත වෙන්න පුළුවන් ඉන් එකක් නම් සමහර හැදුනුම් පතහි මුලින් බිංදු කිහිපයක් එකතු වීමට ඇති හැකියාව.

උදාහරණයක් ලෙස 2000-01-01 වැනිදා උපන් පිරිමි අයකුගේ හැඳුනුම්පත් අංකය පටන් ගන්නේ..
"2000" අග ඉලක්කම් දෙක වන "00" ත් ජනවාරි පලමු වැනිදා වන එනම් වර්ශයේ පලමු දිනය ඉලක්කම් තුනකින් ලියූ විට ලැබෙන "001" (උඩ උදාහරණයෙහි රතු හා නිල් ඉලක්කම්) 
එවිට මෙම පුද්ගලයාගේ පලමු ඉලක්කම් පහ ලෙස "00001" සඳහන් වෙයි මෙය භාවිතයේදී යම්කිසි නොගැලපෙන බවකින් යුක්ත වනවා.

02. හැඳුනුම් පත් අංක දෙකක් සමාන වීමේ ඇති හැකියාව.

අප පලමු උදාහරණයේදී ගත් හැඳුනුම් පත් අංකය ගැන 
310423579 v මෙමගින් දැක්වෙන්නේ 1931-02-11 වැනි දින උපන්, පු.ලි.දෙ. වෙත 357 වැනියාට අයදුම් පත්‍රය යොමු කල උපතින් ම ශ්‍රී ලාංකික, පිරිමි අයෙකුයි. 

නමුත් 2031-02-11 වැනි දින උපත ලබන, පු.ලි.දෙ. වෙත 357 වැනියාට අයදුම් පත්‍රය යොමු කරන උපතින්ම ශ්‍රී ලාංකික පිරිමි අයකුගේ හැඳුනුම් පත් අංකය ද 310423579 v වීමේ හැකියාවක් පවතිනවා. 

එය ඉහත උදාහණයෙහි සඳහන් අංකයමයි. පුද්ගලයන් දෙදෙනෙකුගේ හැදුනුම් පත් අංක කිසිලෙසකින්වත් සමාන විය යුතු නැහැ. එසේ උවහොත් ඇතිවන ගැටළු ඉතා විශාලයි. (පු.ලි.දේ. හි නොසැලකිල්ල නිසා දැනටත් එකම අංකය සහිත හැදුනුම් පත් නිකුත්වී ඇති අවස්ථා අසන්නට ලැබෙනවා)

03. එක දිනකදි ඉපදෙන ලමුන් ගණන 1000 කට වැඩි උනොත් ???

ඉහත උදාහරණයෙහි කලු පැහැයෙන් දැක්වෙන අංකය (357) න් දැක්වෙන්නේ එම දිනයෙහි උපන් අයගෙන් පු.ලි.දෙ. වෙත ලැබුනු 357වැනි අයදුම් පත යන්නයි, එක් දිනකදී උපන් අයගෙන් අයදුම් පත් 999 කට වඩා ලැබුණු විට දැඩි අපහසු තාවයකට පත්වන්නට සිදුවනවා. 

අපි සිතමු 1931-02-11 වැනි දින උපන් අයගෙන් 1001 වැනියාට පු.ලි.දෙ. වෙත අයදුම් පත් එවන අයකුට ?? හැදුනුම්පතහෙි හය,හත,අට වැනි අංක සඳහා යෙදිය යුතු අංකය පිළිබඳ අදහසක් මෙම ක්‍රමය තුල නොමති වීම දැඩි දුර්වල තාවයක්.

ඉදිරියට කුමක් සිදුවේද?????

දැනට හැදුනම් පත් අංක ලබාදෙන ක්‍රමයෙහි පවතින ඉහත ගැටළුකාරී තත්වයන් නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගිනි නව හැඳුනුම්පත් අංක කිරීමේ ක්‍රමයක් යෝජනා කර තිබෙනවා.

කුමක්ද මේ ක්‍රමය?? 
අපි පලමු උදාහණයම නැවත සලකා බලමු. 1931-02-11 වැනි දින උපන්, උපතින්ම ශ්‍රී ලංකික පිරිමි පුද්ගලයා ..
මොහුගේ පැරණි ක්‍රමයට අනුව හැඳුනුම්පත් අංකය
310423579 v
1. උපන් වර්ශයෙහි අග ඉලක්කම් දෙක වෙනුවට නව ක්‍රමය යටතේ සම්පූර්ණ වර්ශයම දක්වන්නට කටයුතු යෙදා තිබෙනවා. ඒ අනුව මෙහි පලමු රතු පැහැ 31 වෙනුවට 1931 ආදේශ වනවා.

2. දෙවැනියට නිල් පැහැයෙන් දක්වා තිබෙන ඉලක්කම් තුන (වර්ශයේ කුමන දිනයද යන්න) නව ක්‍රමය යටතේදීද එලෙසම පවත්වාගැනීමට කටයුතු කරනවා. ඒ අනුම මෙම උදාහරණයෙහි නිල් පැහැ දෙවන අංක තුන 042 නොවෙනස්ව පවතිනවා.

3. තුන්වැනියට කලු පැහැයෙන් දැක්වෙන පුද්ගයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබෙන අයදුම් පත්‍ අංකය ඉලක්කම් තුනක් වෙනුවට නව ක්‍රමය යටතේ ඉලක්කම් හතරකින් යොදන්නට කටයුතු කරනවා එනම් මෙම උදාහරණයෙහි 357 වෙනුවට 0357 යොදාගන්නවා මෙමගින් එක් දිනකදී උපත ලබන 9999 දෙනෙකු සඳහා අංක යෙදීමේ හැකියාව ඇතිවනවා.

4.නව ක්‍රමය යටතේදී ද අවසානයට ඇති ගොනු අංකය එලෙසම පවත්වාගන්නවා. එනම් උදාහරණයෙහි කොල පැහැ නවය. එලෙසම පවතිනවා.

5. පැරණි ක්‍රමය යටතේ යොදා තිබෙන ඉංශ්‍රීසි අක්ෂරය නව ක්‍රමය යටතේදී ඉවත් කරනු ලබනවා. ඒ අනුව නව ක්‍රමය යටත් හැදුනුම් පත් අංකයක් අංක 12කින් පමණක් යුක්ත වනවා. 

නව ක්‍රමය යටත් ඉහත උදාහරණයෙහි සඳහන් පුද්ගලයාගේ හැඳුනුම් පත් අංකය පහත දැක්වෙනවා..

193104203579
මෙම නව ක්‍රමවේදය 2016 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා!!!
දැං මොකද කරන්නේ ???

බය වෙන්න දෙයක් නෑ දැනට ඔබ භාවිතා කරන හැඳුනුම්පත සහ හැඳුනුම්පත් අංකය ද අවලංගු වන්නේ නහැ. එය තවදුරටත් වලංගුව පවතිනවා. අළුතින් හැදුනුම්පත් ලබාගන්නා සහ හැඳුනුම්පත් අළුත් කරගන්නා විට නව ක්‍රමය යටතේ අංක ලබාදීම සිදුකරනවා. 

අළුත් ක්‍රමය යටතේ ඇතිවන බලපෑම්..

බොහොමයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ හැඳුනුම්පත් අංකය පාදක කරගෙනයි. උදාහරණයක් ලෙස බැංකු ගණුදෙනු වලදී අන්‍යතාව ඔප්පු කිරීම සඳහා හැඳුනුම් පත් අංකය ඉතා වැදගත් වනවා. (අයි ඩී අංකෙ ගැහුවම සේරම ටික පට පට ගාලා එනවා)
නව ක්‍රමය යටතේ හැදුනුං අංක ලබාදුන් විට ආයතනවල දැනට පවතින සිස්ටම් එක නව සහ පැරණි අංක දෙක සඳහාම වලංගු වල පරිදි සකස්කල යුතුවනවා..

මොනව උනත් ටික දවසක් යද්දි මේ ක්‍රමයට හැඩගැගෙන්න පුළුවන් වෙයි...

-----
ප/ලි - අපගේ කාර්යාලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් නිකුත් කල චක්‍ර ලෙඛයක පිටපත් ලැබී තිබුණා. එහි තිබූ කරුණු අනුම මෙම ලිපිය සකස් කරන ලදී..
(ඇහැක් හැටියට මිනිස්සුන්ට කියන්න කියලා ඒකේ ලියලා තිබ්බා)

ප/ප/ලි 
අද දින කුරුටු ගෑ ගී පවුරේ උදවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් යාය, කොළඹ ගමයා, මධුමාදවී නොහොත් විසිරටරයා, සබරේ ඇනෝ (මිත්‍ර වර්ණ), ලටපට ලියන ප්‍රසන්න අයියා,  සහ මාගේ දායක්වයෙන් ර/ඉඹුල්පේ සාරිපුත්‍ර විද්‍යාලයේ දරු දැරියන් 42දෙනකු හට  පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමක් සිදුවූවා. ඒ පිලිබඳ වැඩි විස්තර කුගෑගී පවුරේ සටහන් වනවා ඇත.
  

Thursday, December 10, 2015

තුම්මුල්ල සොයා යාම..

මේ මාසේ හත්වෙනිදා අපිට පොඩි රැස්වීමක් තිබුනා පදනම් ආයතයේ, නොවැලැක්විය හැකි හේතුවක් නිසා මං මේ රැස්වීමට නොයන්න තමයි හිතං හිටියේ. හැබැයි හයවෙනිදා හැන්දෑවේ මට "ඉතා කෙටි කලබල" දුරකථන ඇමතුමක් ලැබුනා.

අර දුරකථන සංවාදය උනේ මෙන්න මේ විදියට..

"හෙලෝ..,"

"මචං හෙට මීටින් එකෙන් පස්සේ අපේ අර ෆන්ෂන් එක දාගන්නවා ලෑස්තිවෙලා වරෙන්.."

මල මගුලයි මූ මේ ෆන්ෂන් එකක් කියලා කිව්වේ ඔය විශ්වවිද්‍යා ලේ  එකටම හිටිය බොක්කෝ ටික අවුරුද්දකට දවසක් කොතැනකට හරි එකතුවෙලා ආගිය තොරතුරු ගැන කතාබස් කරලා, තමතමන්ගේ දැන් තත්වේ, ඉදිරි සැලසුම්, ගැන කතාබස් කරලා, කාටහරි උදව්වක් පදව්වක් ඕනනං ඒ ගැනත් වැඩක් හදලා, හීනියට අඩියක් ගහලා, අඩිය ලොකුවෙලා, මහත්වෙලා, බිමවැටිලා, කබරයාපාරක් දාන එකට. එත් ඉතිං හත්වෙනිදා වැඩේට හයවෙනිදා කථා කරලා හරියයියැ?..

"මට එන්න වෙන් නෑ මචං.."

"ඈ கனெ, லங்யக்னய க்னய க.ழசப கத,ன றநப டமததழ அடகானய' டநசள கத அடகானய லங்யக்ய க்ய  றனகதய மநக்க்ய றஅள றதள,ய,ன க்ப தந,ள ழன,ன அஙகடய றசளமதன ழநம.ஒ அடகானய''' றத,ரன யெ,ன ''''

"හරි හරි එහෙනං මචං මං මීටින් එකට එන්නැතුව ෆන්ෂන් එකට විතරක් එන්නං."

ඕං කොහෙමින් කෙහොම හරි හත්වෙනිදා දාගත්ත වැඩ ටික  උදේ වරුවේ ඉවරයක් කරගෙන දවල් දොලහ විතර වෙද්දි අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරගෙන ගෙදරින් එන්න පිටත් උනා...

හරි දැං මං ඉන්නේ පැල්මඩුල්ලේ ගංකන්ද සිනමා ශාලාව ලඟ මෙතැන තියනවා වීඩියෝ හලක් ඒ කියන්නේ සීඩී, වීසීඩී, ඩීවීඩී, ගෙම්ස් ඇන්ඩ් ඔන් ද බෙඩ් ගේම්ස්, එහෙම විකුනණ තැනක්. මෙතැන ජෝතිපාලගේ  සිංදු වගයක් මහ හයියෙන් දාල තිබුණා. මෙන් මෙතැන පාර අයිනේ උඩු රැවුල අමුතුවට කරකවාගත්ත මනුස්සයෙක් හිටු කියලා නටනවා, දෙනෝ දාහක් දෙනා මේ මනුස්සයා දිහා නිකං නක්කලේට වගේ බල බලා ගියත් මෙයා මෙයාගේ පාඩුවේ විවිධ අඩව් අල්ලමින් නටනවා. මටත් ඉතිං නිකං ඉන්න බැරි හින්දා මේ මනුස්සයා ගාවට ටිකක් කිට්ටු කරලා බැලුවා. හොල් එකේ බාර් එක ඒ ලගම හින්දා මට හිතුනේ මේ මනුස්සයා කරටි කැඩෙන්න ගහල කියලා හැබැයි ටක්කෙටම කියන්න පුළුවං ඒ වෙලාවේ එයා බීලා හිටියේ නෑ. ලඟ හිටපු මනුස්සයෙක් කිව්වේ මෙයාගේ බිරිඳයි ලමයිනුයි ෂොපින් ගිය අතරේ මෙයා මේ විදියට අාතල් එකක් ගන්වා කියලා..

ඒ එක්කම වාදනය උනු සිංදුව නතර උනා මෑන්ගේ ඩාන්ස් එකත් නතර උනා

"කොයි යන්නේ බඳ නලවාලා....,"

ජොතිපාල හයියෙන් කෑ ගහලා සිංදුව කියන තාලෙට සන්ෆලවර්ලා දඩ බඩ ගාලා තඩිබාන්න පටන් ගත්තා, අර මනුස්සයා  ආයෙත් අඩව්වක් අල්ලලා නැටුම පටන් ගත්තා. මාත් එතැනින් හිමිහිට ආව, ඒ එන ගමන් මට මෙහෙම කල්පනා උනා.

"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"

හිමිහිට එතැනින් දිරාමාර් වෙලා බදුල්ල - කොළඹ බස් එකකට නැග්ගේ අර කියපු ෆන්ෂන් එකට යන්න. ෂැහ් මාර අප්සට් එක කියන්න විලිලැජ්ජාවයි, බස් එකෙන් බහින්න ඕන තැන දන් නෑ. ගත්තා කොළඹටම ටිකට් එකක් (අනිවා ගත්තා හොඳේ..)

"man aluth pare enne, kohatada enan One?"
 
ෆන්ෂන් එක සංවිදානය කරන එකාට හිමිහිට මැසේජ් එකක් දැම්මා.

"tummullen bahapan"

හැරෙන තැපෑලෙන් පිලිතුරත් ආවා.

හරි දැං ඔන්න හෝමාගම හරියට එනකොට හවස තුනට විතර ඇති  හිමින් හිමින් කලුකරගෙන තිබිච්ච අහස මහ හයියෙන් කඳුළු සලන්න පටන්ගත්තා. ඒ කඳුළු වලට පාර පෙන්නේ නැතිවෙන කොට මහ හයියෙන් අකුණක් ගහලා බස්එකට ඉස්සරහට යන්න පාර පෙන්නනවා..

"නුගේගොඩ", "කිරුලපන" මහ වැස්සේ උනත් පාර අයිනේ බෝඩ් බල බල යනවා. රයිට් කාගෙන්වත් අහන්න ඕන නෑ තුම්මුල්ල බෝඩ් එකක් දැක්ක ගමන් බහිනවා. ඔන්න ඔහොම හැව්ලොක් ටවුමත් පහු උනා ඊලගට "Clombo - 6" දැං දිගටම යනවා........

 "කෝ යකෝ තුම්මුල්ල??????"
 
දැන්නං වඩේ ජොන් බාස්ට ගියා කියලා මගේ මේ මොලේට අවබෝධ උනා ඉතිං කරන්න තිබ්බ හොදම දේ කොරන්න තීරනේ කොරා.

"අයියේ මාව තුම්මුල්ලෙන් බස්සන්න.."

මුකුත් නොදන්නව වගේ මං ඩැයිවර් අයියාට කිව්වා..

"අයියෝ පහුවෙච්ච හෝල්ට් එකනේ, ඉස්සහ කැම්පස් එක ගාවින් දාල යන්නං"

ඔන්න මහ වැස්සේ කොළඹ කැම්පස් එක ගාව බස් හෝල්ට් එක ලඟටම බස්එක අල්ලපු ගමන් මං එක පිම්මට බස් හෝල්ට් එකට පැනගත්තා.

ආයෙත් අරුංට මැසෙජ් එකක් දාල බැලුවම රැස්වීම තවම ඉවර නෑලු. මං බස් හෝල්ට් එකේ වාඩි වෙලා මහ වැස්ස දිහා බලාගෙන ඉන්න තීරනේ කරා.

චුට්ටක් වෙලා යද්දි බස් එකක් මෙතැන නතර කරා අවුරුදු දාහතරක පාලොක විතර කොලු පැටව් පස්  දෙනෙක් බස් එකෙන් බැහැලා බස් හෝල්ට් එකට ආවා. එතැන හිටපු එක කොලුවෙකුට හිටගෙන ඉන්නත් ටිකක් අමාරු වගේ, තව ටිකක් විමසිල්ලෙන් මුං දිහා බලං හිටියම මට දැනුනේ මුං මත්වෙන්න මොනවහරි අරං තියනවා කියලා. එකෙක්ට ටිකක් පදම වැඩිවෙලා වගේ. අනිං උං මූට බැන බැන කෙලිං හිටපං කියලා කියනවා, මූ දෙකට තුනට නැමිලා කියනවා මං කෙලින් තමයි ඉන්නේ යකෝ කියලා. විනාඩි දහයක් විතර මෙතැන හිටපු මුංටික ත්‍රීවිල් එකක් නවත්තලා අරූවත් වත්තං කගෙන මහ හයියෙන් හිනාවෙවී ඒකට ගොඩවෙලා යන්න ගියා.

හරි වැරැද්ද මොකක් උනත් මට හිතුනේ..

"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"

මහ වැස්සට පාර දෙපැත්තෙම වතුර පිරිලා වේගෙන් යන වාහන වලින් විසිවෙන වතුරෙන් බස් හෝල්ට් එකේ ඉන්න අය නෑවිලා යනවා. පාරේ යන එන අය නෑවිලා යනවා. සමහරු වාහන කාරයන්ට කුරුහරුපෙනුත් බනිනනවා. හැබැයි උංට ඒවා ඇහෙන්නේ නෑ උං උංගේ ගමන යනවා.

(අන්තර් ජාලයෙන් )

පාරේ එහා පැත්තේ පේමන්ට් එක දිගේ එක කුඩයක් යටින් පෙම් යුවලක් එනවා. කොල්ලා අල්ලගෙන ආපු කුඩේ එක සැරේටම අයින් කරනවා, එතකොට කෙල්ල තෙමෙනව, කෙල්ලත් උඩ පැනලා කුඩේ අලලල පැත්තකට අදිනවා එතකොට කොල්ලා තෙමෙනවා, පාරේ යන එන මිනිස්සු ගැන වගේ වගක් නෑ. එක සැරේට වේගෙන් ආපු වාහනයක් මෙතැනින් ගියේ මුං දෙන්නවයි එතන හිටපු අනික් උන්වයි නාවගෙන. අනිත් මිනිස්සු ඔරවගෙන වාහනේ දිහා බලං හිටියත් මුං දෙන්නා දෙකට නැමිලා බඩ අල්ලං හිනාවෙවී වාහනේ දිහා බලාගෙන හිටියා. අන්තිමේදී කුඩේ අකුල ගත්ත මුං දෙන්නා පොඩි එවුන් වගේ වැස්සේ තෙමි තෙමි, වතුර තල තල ඉස්සරහට යන්න ගියා.

එතැන්දිත් මට හිතුනේ..

"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"

මේ එක්කම මට මතක් උනේ මෙන්න මේක. මට හිතුනේ ජීවිතේ විඳවන අයට නෙවෙයි ජීවිතේ විඳින අයට ගොඩක් අගේ වෙයි කියලා...



ජ ය වේ වා !!!!

  



 පලි/
ඩොංගලය කාර්යාලයේ අතපසු වී පැමිණීම නිසා පසු ගිය දින කිහිපයේ ඔබගේ බ්ලොග් අඩවි වලට පිවිසීමට අපහසු විය. ඒ ගැන මාගේ දුක මෙයින් ප්‍රකාශ කර සිටිමි..




Thursday, November 19, 2015

ඕන්න එනවා....




හිඟන්නගෙන් 
හිගාකන.....
පිං කැටෙන් 
පොකට් ගහන...
අල, බතල කරන...
වරකා, වැල කරන....
පුප්පන්නන්
පුප්පන...
ගොරවන්නන්
ගොරවන..
ආවඩන්නන්
ආයු බෝ කියන...
පැණි වරකා ගහට
හෙන ගහන....
 මෙලෝ වැඩකට නැති

අයවැය !!!! 

------


පිදුම - මධුමාදවී නොහොත් විසිටරයාට....

Wednesday, October 28, 2015

පැරනි ලියද්ද..



ඔහේ මොකෝ,
පෙරේද රෑ.,
හීනෙන් ඇවිත් මට පෙනුනේ ...
එවෙලේ ඉදන්,
මගේ හිතත්,
තොන්තුවෙන් මේ වෙනකං..
කන්නත් බෑ,
බත් කොරහේ,
ඔහෙගෙ මූණ මට පේනවා..
කලු වයිරගේ,
වල්ගේ වගේ,
ඔහෙගෙ කොන්ඩේ මතක් වෙනවා..
බුලත් පයියේ,
ඔහේ ඉඳන්,
කිති කවනවා වගේ දැනෙනවා..
දීග ගියපු,
මගේ පොඩිඋන්,
ලමයි එක්ක හෙට එනෝලු..
අනේ එතනෝ,
අයේ එහෙම,
එන්න එපා මගේ හිතට..
වස ලැජ්ජයි,
මයේ සුමනා,
ඇඹුල අරන් එනවා දැං...



Tuesday, September 8, 2015

ගං වතුර...

හමනා දැඩි සුළගත්, විටින් විට ඇසෙන අකුණු ගසනා හඬත් නිමාලි නින්දෙන් අහරවන්නට සමත් විය. හවස් ජාමයේ සිට කළුකර තිබූ අහස මහ වැස්සක් වස්සන්නට සැරසෙන බව නිමාලිට දැණුනි. පොරවාගෙන සිටී චීත්ත රෙද්ද අහකට කල නිමාලි ඇඳ මත වාඩිවී මේසය මත දල්වා තිබූ චිමිණි ලාම්පුවේ දැල්ල මදක් වැඩි කර ඒ අසල තිබූ එලාම් ඔරලෝසුව ගෙන වෙලාව බැළුවාය. 

"එකොලහට විස්සයි, අදනං එලිවෙනකං වහී වගේ" ඈ තමාටම කියාගත්තාය.

වහලයෙහි සෙවිලිකර ඇති ටකරං මතට ටක ටක හඬින් වැහිබිඳු වැටෙන්නට විය. ලෑලි ගසා ඇති බිත්තියේ ලෑලි අතරින් එන සීතල සුලඟ ඇඟෙහි හිරිගඩු පිපෙන තරම් විය. ඒ සීතල දැනිලාදෝ නිමාලිගේ අටමස් කුස තුල සිටින සිගිත්තා පා පහරවල් කීපයක් එල්ල කරන්නට විය. ආදරණීය සතුටකින් තම කුස හිමිහිට පිරිමදිමින් නිමාලි ඇඳෙහි අනෙක් පස නිදනා තම සැමියා දෙස බැලීය. ඔහු තවමත් සුව නින්දේය. මහවැස්සත්, ඒහා සමග හමනා සුළගින් එන ගුප්ත සීතලත් නිසාදෝ ඇය සැමියාගේ තුරුල්ලටම වන්නට විය.

දහ නව හැවිරිදි වියේ සිටිනා නිමාලි පවුලේ මද්දුමී විය. ඇගේ පියා අල්ලපු ගමේ පාසලේ ගුරුවරයෙකි. ඇගේ මව කලින් ගුරුවරියකව සිටියත් දරුවන් තිදෙනාගේ රාජකාරී වලට මුල්තැන දීම සඳහා එයිත් ඉවත් වී ඇත. පියාගේ වැටුපත් වත්ත පිටියෙන් ලැබෙන ආදායමත් අග හිගයකින් තොරව ඔවුනට ජීවත් වීම සඳහා තරම් විය. මල්ලී අම්මාගේ හුරතලා වන විට තත්තාගේ හුරතලිය බවට පත් වූයේ නිමාලිය. 

නිමාලි සාමාන්‍ය පෙළ ලියනා විට ඇගේ සොයුරිය උසස් පෙළ ලියා විශ්වවිද්‍යාලට තේරුනේ සිය පවුලමට ආඩම්බරයක් වෙමිණි. අක්කා වගේ මාත් කොහොම හරි කැම්පස් යනවා එවෙලහි ඈ අදිටන් කර ගත්තාය. ඒ අදිටනින් යුතුව උසස් පෙළ පන්තියට ඇතුළු වන නිමාලිගේ ජීවිතය මේ ලෙස වෙනස් වේයැයි ඇයද සිහිනෙකින් වත් නොසිතුවාය.

හතර අතින් ගොරව ගොරවා වහින වැස්ස දැන් පැයකටත් වැඩිය, අඩු වැඩි වීමකින් තොරව ඒකාකාරීව ටකරන් මතට වැටෙන වැහි බිඳු මහා ඝෝෂාවක් විය. සුළගෙහිද අඩුවක් නැත. ගඟ ගලයිද? නෑ එහෙම වෙනකක් නෑ. ඇය සිත සැහැල්ලු කරගන්නට මෙන් සිතා ගත්තාය.

තම පාසලේම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් සම්පත් තමන් කෙරෙහි විශේෂ ඇඟෑලුම් කමක් දක්වන බව ඇය නොදැන සිටියාම නොවේ. එහෙත් ඇය එය ගනනකට නොගෙන තමන්ගේ පාඩුවේ ඉගනුම් වැඩ කටයුතු වලම නිරත විය. නමුත් දිගින් දිගටම තම ඒකායන අරමුණහිම සිහි එලවාගෙන සිටින්නට තරම් නිමාලිගේ සිත සවිමත් නොවීය. ඇයටද නොදැනීම ඇගේ සිතිවිලි වල සම්පත් ගේ රුව සක්මන් කරන්නට විය. ඇගේ පාඩම් පොත් පිටුවල තිබූ සටහන් යටපත් කරගෙන සම්පත් ගේ දඟකාර රුව මැවෙන්නට විය. ඉනික්බිති පාසලද පන්තියද යටපත් කරමින් නිමාලි - සම්පත් ආදර අන්දරය ගලාගියේ නිමාලිගේ විශ්වවිද්‍යාල සිහිනය පොඩි පට්ටම් කරමිනි.

කුඩා රිකිල්ලකින් ඇරඹි ආදර පැලය යාන්තමින් අතු ඉති රිකිලි දමා වැඩෙද්දීම නිමාලිගේ පියා ගේ දෑතට හසුවිය. ඉනික්බිති තම නිවසින් අප්‍රමාන දොස් පරොස් ඈ වෙත එල්ල වන්නට විය. නිමාලිගේ නිවසින් සම්පත්ට අකමැති වීමට හේතු සාධක ඕනෑවටත් වඩා තිබිණි. සම්පත්ගේ පියා සොරකම් කිහිපයකටම හිරේ විලංගුවේ වැටුනු අයෙකි. සතියකට වරක් දෙකක් අනිවාර්යයෙන්ම කා සමග හෝ දබරයක් ඇති කර ගැනීම ඔහුගේ සිරිත විය. ගුරු පාර කෙලවරට වන්නට තිබූ සම්පත්ගේ කුඩා නිවසෙහි නව දෙනෙකු ජීවත් වෙති. සම්පත් ගේ වැඩිමහලු සොයුරන් දෙදෙනා කිසිඳු රැකිකියාවක් හෝ ඉගනුමක් නොමැතිව හංදියේ කඩපිල්වල රස්තියාදුවේ නිරතවෙයි. සම්පත් ගේ වැඩිමහල් සොයුරිය ගැන ගම්මුන් කියන නීරස කයි කතන්දර වල සත්‍යයක් නැත්තේම නොවේ.

"අපි පැනල යමු."

දෙවරක් හිතන්නට දෙයක් තරම් නොවීය. ඇය ඇසූයේ කවදාද යන්න පමණී. ඉනික්බිති ටවුමේ රෙජිස්ටාර් ඉදිරියේ විවාහය සහතික කල නව යුවල, තුන් රෝද රියකින් රියකින්  ඉගිලිනුනේ තමන්ට කියා ලෝකයක් තනාගන්නටය. විවාහවී සම්පත්ගේ නිවසෙහි නතර වීම කෙතරම් දුෂ්කරදැයි ඇයට වැටහුනේ එහි ආ මුල්ම දිනයේය. ඔහුගේ මව කථාබහ කරන සාමාන්‍ය විලාශය පවා නිමාලිට බිය උපදවන්නට තරම් විය. නව දෙනෙකු ජීවත් වූ නිවසෙහි දසවැන්නා වූ නිමාලි එදින රෑ ජීවිතයෙහි පලමු වරට පන් පැදුරක ගුලි වී නිදන්නට විය.

සම්පත්ගේ නිවසට මෙපිටින් බස් පාරට කිට්ටු වන්නට ඟඟත් පාරත් අතරට වන්නට වූ කුඩා බිම් තීරුවකි. ගම්මු මෙය හැඳින්වූයේ රිසිවේසන් පටිය කියාය. දින දෙක තුනක් ඇතුලත මේ බිම් තීරුවෙන් කොටසක් එලි පෙහෙලි වී ලෑලි බිත්ති බැඳි කුඩා නිවසක් ඉදිවිය. බොහෝ සෙයින් සාමයට ලැදි ගමේ ග්‍රාම නිළධාරී මහතා මෙසේ රිසිවේමෙහි ඉදිකරීම් නොකරන ලෙස නිල වශයෙන් දන්වා ඉක්මනින්ම මාරු විය. සතියක් යන්නට මත්තෙන් නිමාලිත් සම්පතුත් ඔවුන්ගේ මාලිගාවක තනිවන්න විය. මේ අතර සම්පත් හංදියේ ගරාජයේ සුළු රැකියාවක් සොයා ගත්තේ ඔවුන් ගේ බොහෝ ගැටළු වලට තිත තබමිනි.


මේ අතර නිමාලිගේ අම්මාත් තාත්තාත් නිමාලිව සොයා කිහිප විටක්ම ඇගේ අතු පැල වෙත පැමිණ අයැද සිටියේ මේ සියල්ල අතහැර නැවත නිවසට එන ලෙසයි. නමුත් තමන්ගේ සුරවිමනෙහි සුර සැප විඳින නිමාලි ,මව් පියන්ගේ අයැදිලි පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් මායිම් නොකලාය. බහින්බස් වීම දුර දිග ගිය එක් දිනක ඇගේ කෙස්වැටියෙන් අැද කම්මුල හරහා පහරක් එල්ල කල ඇගේ පියා ඉකි ගසමින් නික්ම ගියේ "මගේ මද්දුමී මලා" යැයි පවසමිනි. පියාගෙන් ලද අතුල් පහරේ වේදනාවට වඩා ඔහුගේ ඉකිගැසුමෙ වේදනාව නිමාලිගේ සිතෙහි බොහෝ දිනක් රැදී පැවතුනි. එතැන් පටන් නිමාලිගේ මවුපියන්ගෙන් ඇයට කිසිඳු කරදරයක් නොවීය.

 "යකෝ සම්පතෝ දෝර ඇරපිය..තොපිි මේකට වෙලා මැරෙන්නද හදන්නේ.. "

කාගේදෝ කෑ ගැසීමක් ඇසී නිමාලිට එකවරම ඇස්ඇරින. සම්පත්ද ඒ හඬින් අවදි වී තූෂ්නිම් භූත වී ඇත.. කෑ කොස්සන් ගෑම එන්න එන්නම වැඩිවන විට නිමාලි ඇඳෙන් බිමට අඩිය තිබ්බාය. දෙපතුලට දැනුනු තද ශිතලත් සමග ක්ෂණයකින් ඇයට සියල්ල අවබෝධ විය. උපදින්නට සිටින බිළිදාට රැගත් මෙවලම් සහිත බෑගය රැගත් නිමාලි සම්පත්ද ඇදගෙන රිසිවේසමේ ලෑලි නිවසින් පාරට පිනූයේය..

මහ වරුසාවෙහි කෙලවර කිසිවෙකුටත් නිගමනය කල නොහැකි විය. කෙමෙන් කෙමන් අඳුර දුරලා හිරු උදාවන්නට විය. නමුත් ඒ හිරු කිරන වසාලමින් ඝණ අඳුර දිගින් දිගටම රජයන්නට විය. පාර අයිනේ වූ ගල් පොත්තක් මත වාඩි වූ නිමාලි තමන්ගේ හත් මස් හැවිරිදි වූ නිවස දෙස බලන්නට වූවාය. දැන් එය අඩි එක හමාරක් දෙකක් පමනට ජලයෙන් වැසී ගොස්ය, ජලයේ පාවෙන ලී කැබලිති ගෙයට ඔච්චම් කරන්නට මෙන් එහි ලෑලි පතුරු මත වැදෙමින් වැසි ජලයේ පාවී ගියාය, ලී කැබලිති පතුරු මත හිඳි කුහුඹුන් සෙමින් සෙමින් නිවසෙහි ලී බිත්ති මත ඉහලට නගින්නට විය.

වේලාව උදෑසන හත පමන වන්නට ඇත, දැන් ජල පහරෙහි සැරකම අන් කවරදාකටවත් වඩා වැඩි විය, ඇගේ නිවසත් සමග සසඳා බලන කල එය හයකටත් වඩා වැඩි මිස අඩු නොවීය. මහ ජල කඳත් සමග ගසාගෙන ආ විශාල ලී කොටයක් නිමාලිගේ නිවසේ එක් පැත්තක වැදී එක් වටයක් කැරකී ගං දියෙහි පහලටම ගසාගෙන යන්නට විය. ඒ වැදුනු සැර පහරික් අබලන් වූ නිවස කෙමෙන් කෙමන් එක් පසකට ඇල වන්නට විය. තවත් ටික වේලාවක් ගත වන විට නිවසෙහි වහලය, ජල රකුසා සමග කළ සටනින් පැරදී ගං දිය සමග පහලට ඇදෙන්නට විය. 

වේලාව ගෙවෙන්නේ විදුලි වේගයෙනි, මහා ජල රකුසාත් සමග සටන් කරන්නට නිමාලිලාගේ නිවසෙහි අත්තිවාරමට වාරු නොවීය. කෙමෙන් කෙමන් ගැලවී යන තම නිවෙසෙහි ලී පතුරු දෙස නිමාලි කිසිඳු හැගීමකින් තොරව බලාසිටින්නට විය. දැන් සියල්ල හමාරයි ඇයට සිතුණි,
"නෑ එහෙම වෙන් නෑ ... පාර පැත්තෙ කණුව තාම ඉතිරි වෙලා තියනවා" හිත අස්වසාගන්නට මෙන් ඇයට නැවතත් සිතුණි, පෙරට වඩා වඩාත් උවමනාවෙන් අැය ඉතිරිව ඇති අවසන් කණුව දෙස නෙත් යොමු කරන්නට විය. ගං වතුරෙහි පාවී ආ කුහුඹුන්, කෘමීන්, සෙමින් සෙමින් කණුව මතට ගොඩවවනවා ඇයට දකින්නට ලබිණි.

දැං ඉතිං සියල්ල හමාරයි, අැයට සිතුණි, ඇය බලන්නං වාලේ ඔහේ පාරදිගා බලාගෙන සිටියාය. අන්තිම මාස දෙකතුනේ සම්පත්ගේ අම්මා දෑවැදි ගැන අසමින් කිහිපවිටක්ම ඇයට නොක්කාඩු කිව් අයුරු ඇයට මතක් විය. ඒත් එක්කම සම්පත්ගේ වැඩිමහල් සොහොයුරා මනාලියක කැන්දාගෙන විත් තවමත් මහගෙදර නතරවී සිටින බවද ඇයට පසක් විය. "අනික මං කොහොමද කිරිසප්පයකුත් එක්ක එතැන ඉන්නේ??" කිසිත් කරකියාගත නොහැකි ඇය නිසොල්මනේ පාර දෙස බලා ඉන්නට විය.

වැස්ස ටිකින් ටික තුරන් වන්නට විය, නමුත් ගං වතුරෙහි සැඩ පරුෂ කම අඩු නොවීය, නිමාලි කුමක්දෝ බලාපොරොත්තුවෙන් පාර දෙසම බලා හිඳින්නට විය. කවරදාවකවත් නොදැනුනු තනිකමක් ඇයට දැනෙන්නට විය, කොහෙන්දෝ බත් පතක් සොයාගෙන ආ සම්පත් එය නිමාලිට කවන්නට උත්සාහ දැරීය, නමුත් එය පසකට දැමූ නිමාලි මාවතෙහි ඈත වංගුව දෙසටම නෙත් යොමා සිටියාය. ඇය සිතුවා නිවරදිය, ලොවෙහි කොතැතනක කොතරම් ඈතින් දුටුවත් ඇයට එය හඳුනාගත හැකිය, ඇයට ඔහු හඳුනා ගත හැකිය, තමා කුඩා කාලයේ සිට ගම පුරා කරක් ගැසූ ඒ පා පැදිය දුටු ක්ෂණයෙන් ඇයට හඳුනාගත හැකිවිය.  තමා කරමත හොවාගෙන ගේ වටේ දුව ගිය, පුංචි සීරීමකදී පවා ඇයව ඔසවාගෙන බෙත් සාප්පුව වෙත දුවගෙන ගිය, ඇගේ තාත්තා කෙසේ නම් ඇයට හඳුනාගත නොහැකි වේද?

කුසේ උන් පුංචි පැටියා ආයෙත් දඟකරන්නට විය, ඒ පුංචි පා පහරවල් වලින් නිමාලිගේ කුසට සියුම් ආදරණීය වේදනාවක් දැනේනට විය,

"ඔහොම ඉන්නකො පැටියෝ, ඔයාගේ සීයා ලඟ...ම එනවා" සියුම් ව කුස පිරිමදිමින් බොහොමත්ව ආදරයෙන් ඇය පැවසීය,

වෙනදා තාත්තා හෝ අමමා දකින විට ආයාසයෙන් වහන් වෙන නිමාලිට අද එසේ උවමනා නොවීය, සියල්ල  අවසන් උනු තැන ඇගේ යටිසිත නිතැතින්ම ඒ සෙනෙහස සෙවූවාය. තාත්තාගේ පාපැදිය ලං ලංවත්ම ඇය හුන් තැනින් නැගිට්ටාය,  මේ කිසිත් දෙස නෙත යෙමු නොකල නිමාලිගේ තාත්තා නිමාලිව පසුකර පා පැදිය කඩමණ්ඩිය වෙත පදවන්නට විය. නිමාලි නැවතත් ගං දිය දෙස බැලීය, ලෑලි නිවසෙහි අවසනට ඉතිරිවූ කණුවත් ගං දිය විසින් යටකර හමාරය. එහි උන් කුහුඹුන් හා කෘමීන් කොයියම්ම මොහොතක හෝ තමන්ට ගැලවීමක් ලැබෙතැයි සිතා ගං දිය පහරට අවැසි පරිදි පහලට ගසාගෙන යන්නට විය..

Tuesday, February 17, 2015

තවත් එක දවසක් (නෙවෙයි)..!!

"හෙලොව් මචං... "

"ඉතිං ඉතිං..."

"මං ලංකාවට ආව බං.."

"මරුනේ..කවදද ආවේ"

"ගිය සුමානේ #ත්තෝ.. .. මේ ලබන ඉරිදා අපේ පැත්තට වරෙන්.. පොඩ්ඩක් සෙට්වෙන්නත් එක්ක"

"අනිවා ඩෙපා..එක පයින්ම....කවුද තව එන්නේ..?"

"තව @ක්කු ට්කකට කිව්වා උනුත් එයි.."

"එලකිරිනේ...."
-----------------------------------------------------------------------

අදාල ඉරිදා උදේ...

"හෙලෝ මචෝ.. අර #ත්තගේ පොන් එක වැඩ නෑනේ.."

"දැං තෝ එතැන්ටත් ඇවිත් ඉවරද.. මං තාම නැගිට්ටෙවත් නෑ (මල පෙරේතයා කුකුලත් අතේ අරං).. අනේ ඒ #කාට #කාගන්න කියලා උඔ වරෙන් "

"මේ අර වාගෙලා දෙන්නා දවල් වෙන්න බයික් එකේ එනෝලු.. ඊයේ රෑ කරටි කැඩෙන්න ගහලා දැංලු නිදාගත්තේ... මේ මට ගෙදෙට්ට එන්න පාර කියපංකෝ...."

 "ඉස්සරහ හංදියෙන් වමට දාලා හතැම්ම එක හමාරක් වරෙන් එතැන තමයි පොට් එක.."
------------------------------------------------------------------------
 මිනිත්තු දෙක තුනක් යන්නට මත්තෙන් මා අදාල තැනහිය. ඒ වන විට වේලාව පෙරවරු නවයයි තිහ පමන වන්නට ඇත. සාදයට සහභාගී වනවාය කියූ අනෙක් හාදයන්ගෙන් කිසිවකුත් ඒ වන විට පැමිණ සිටියේ නැත.

"මචෝ කා එකට නැගපං අර නාකි මැන්ටලේ ඇවිල්ලා ටවුන් එකේලු එක්කන් එන්න යන්න ඕන.."

(ඉතුරු ටික මෙතැනින්) 

අතුරු කථා 01


හරි සේරම සෙන්ටමෙන්ටල් වෙලා එන්න ඔන්න මෙන්න තියෙද්දි හීනෙන් වගේ ඇහෙනවා මේ වගේ දෙබසක්..

"උපුල් මේ ගල් බාගේ දාගනින් උඹ බිව්වෙත් නෑනේ..."

(පොඩ්ඩක් දාගත්තට පස්සේ වාහන එක්ක හක්කලං කොරන්න හොඳ නැති හින්දා වාහනේ කරකවන්න එක්කරගෙන ගිය යෝදයා තමයි උපුල් කියන්නේ)

"අනේ එපා මහත්තයා මං ඕවා කටේ තියන්නෑ."

"කෙප්ප කෙලින් නැතුව මේ ගල් බාගේ දා ගනින්..."

"අනේ මන්දා මහත්තයා, මං අඳුනන යාළුවෙක් නං ඉන්නවා මිනිහට ගිහිං දෙන්නං එහෙනං"

"හරි හරි මනුස්සයෝ ඕක දා ගනින්.."

"මේ.... මහත්තයා..."

"මොකද බං.."

"අර බාගෙට ඉවරවෙලා තියන කොකාකෝලා බොතලෙත් මං දාගන්නද???????"

අතුරු කථා 02

රයිට් අර නාකි මනුස්සයත් ආපහු ටවුන් එකට දාගෙන, බොඩි සහ ජංගි මහන කොම්පැනියේ මැනීජර කාරයයි උගේ පවුලේ උදවියයි දාගෙන දැං ඉදිරියටම එනවා.

"මචෝ ඉස්සරහ හංදියෙන් අපිව දාං පලයං.." 

"ගෙදරට තව කොච්චර දුරද?"

"කිලෝ මීටර් දෙකක් විතර ඇති බං"

"යමං යමං උඹලව ගෙදරට දාගෙනම යන්නං.."

"අනේ මන්දා බං උඹට කරදර කරන්නත් බෑ.."

"විකාරද බං යමං"

"හරි හරි එහෙනං..යනකං මේ ඇපල් කෑල්ලත් එක්ක බුලත් විටක් කාපං එතකොට මාර ආතල් බං.."    

(ඇපල් සමග බුලත් කමින්)

"ඈ බං ඔතනින් කොහාටද?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"ඔතනින් ?.."

"වමට දාපං.."

"මෙතනින්.."

"ඉස්සරහ තුංමං හදියෙන් හරවං එමු මෙතැන ගේ තියෙන්නේ"

උපුල්, වාහනය වම් පැත්තට හරවා එකවරම රිවස් කරයි...

දඩ බඩාං ඩෝං දඩස් !!!!!!!!! 
"හුහ්.. අම්... හැමිනුනා නේද &ත්තෝ..."

"නෑ සර්, තාප්පෙට හැමිනුනා.."

ඉන්සුවරන්ස් කාරයන්ට අමතලා, උං ඇවිත් පස්න කරල, (මගේ කටත් ඉඹලා) පොටෝ එහෙමත් අල්ලලා, අතගාල, මිරිකලා, ඉස්සරහට පස්සට තල්ලු කරලා යනකොට පැයක් විතර ගිහං.. මේ වෙනකොට අර ජංගි පැක්ටරියේ මැනීජරයා (ඌ නෙවෙයි උගේ ගෙදර උදවිය) උණු උණුවෙ බතකුත් උයලා පරිප්පුවකුයි පොල් සම්බෝලෙකුයි දාලා.. දවල්ටත් කෑවද නැද්ද කියලා හරි හමන් මතකයක් නැති හින්දා සහ කාර් එක තාප්පෙ හැමිනිච්ච වේදනාව තොලොන්චි වෙලා යන්නත් එක්කල, දෙයියනේ කියලා බත් පිගානකට ඇරල දැම්මා.. (තැංකුව් ඈ)

හැබැයි ඊට පස්සේ තමයි මං ජීවිතේටම විඳපු නවනිංගිරා වැඩේ උනේ...!!! මේ යකා රුපියල් දහයේ ටියුලිප් කවරයක් පුරෝලා මොනවදෝ ගෙනත් දුන්නා "මෙන්න මේ ටිකත් අරං පලයං" කියලා..

මොනව උනත් ඕනම දෙයක් ටිකක් වැඩිපුර හොයල බලන ගතියක් මට තියන හින්දා හීන් සැරේ බෑග් එකට ඔලුව දාල බැලුවා...

හත්වලාමයි ඒක දැක්කම නං මට අසූ හාර දාහටම කේන්ති ගියා.. මේ බෑග් එක පුරෝලා තිබ්බේ.. ගෑනු අදින ජංගි වලිනුයි බැසියර් වලිනුයි...

"ඈ යකෝ තෝ හිතුවද  මං කාවන්තිස්ස කියලා ?????."

"මේ &ත්තෝ... ජංගි මහන මං තොට වෙන මොනවා දෙන්නද? ඔන්න ඕකත් අරගෙන පල මෙතැනින් යන්න..."

 අතුරු කථා 03

කොහොමින් කොහොම හරි ගෙදරට ඇවිල්ලා.. සඳුදා හවස් වෙනකං පොඩි නින්දකුත් දාලා. හැන්දෑ වෙලා උපුලයට කථා කලා.. දහ පාලොස් පාරක් රිං කරාට ඉස්සුවේ නෑ.. ආයේ රෑ වෙලා ගත්තා දෙතුන් පාරක් රිං වෙනකොට යන්තං ඇති මූ ඉස්සුවා..

"හෙලෝ..."     හුටා ගෑනු කටහඬක්, උපුල්ගේ වයිෆ්..

"ආ.. මේ .. උපුල් ගෙදර නැද්ද?? .."

"අනේ බලන්නකෝ මහත්තයෝ මේ මිනිහා.. කසිප්පු බෝතලයක් ගෙනැල්ලා උදේ ඉදන් බීලා අන්න දැං වැටිලා ඉන්නවා.."

මලා!! මං දුවල ගිහිං කාරෙකේ ඩිකිය ඇරල බැලුවා.. හත්වලාමයි මේ යකා, පත්තරයා මට බොහොම ආදරෙන් ඔතල දීපූ පලතුරු බෝතලෙත් කුදලං ගිහිං.. 

$^# &**( $%& *&5@ $&%^^ $%  435#$%# #%$  ..... 

-----------------------------------------------
මොනව උනත් පට්ට ආතල් ඈ......!!!!!!

ජ ය වේ වා !!! 
  
------------------------------------------------------------------------------------------------------------------------
ප/ලි..
ගිය සතියේ පලකල සමපොෂ කථාවේ ඉතිරි කොටස ලබන සතියේ නොවැරදීම පලකරන බැව් කරුණාවෙන් සලකන්න...