Wednesday, July 23, 2014

මෙන්න කදිම අවස්ථාවක්.....

මිනිහෙක් මෙලොවට ජනිත වෙනකොටම දෙමව්පියෝ, නෑදෑයෝ, අහල පහල උදවිය, එකතුවෙලා මෑන්ට හොඳ නමක් දානවා.. නිකං කාලේ හැටියට නැගලයන නමක්.. හැබැයි මේ නම දාන එකත් ලේසි පාසු කාරියක් නෙවෙයි.. මුලින්ම උපන් වෙලාවට අනුව හිරු, සඳු, තරු පවතින තුරු.. බලලා.. දොලොස් මහා රාශියන් ගෙන් මොකාද ගිලගෙන ඉන්නෙ කියල බලල. ඕං අකුරු අටක් දහයක් පටලෝල. ඝණ එහෙම පිහිටෝල.. අර්ථාන්විත නමක් තියනවා.. අපි නිකං උදාහරණෙකට ගනිමු චාමර කියල.. ආයේ ඉතිං දෙකක් නෑ, මද පවන වගේ පාවෙලා යන සුපිරිම නම... දැං නං ඉතිං අහුබුදු, බුදු වන්න කියලා ඒ කරදරේත් නෑ...

තව දෙයක් ඔය ගෙදර දොරේ ඇති කරන සුරතල් සතුන්ට එක එක ආකරයේ නං විතරක් නෙවෙයි වාසගම් එහෙමත් තියනවා.. මෙව්වට ඔය ඝණ පිහිටවිලි එහෙම බලන් නෑ.. මූණ බැලුවා ලස්සනයි කියල හිතෙන නමක් දැම්මා.. ඔය ගෑන් ළමයි බොහෝම ආදරෙන් හදා ගන්න පූස් දන්ඩන්ට කිටී, මිකී, රයිනී, බ්ලැකී,... යනදී වශයෙන් නං දානකොට බල්ලන්ට එහෙම ලැසී, රොබින්, ටොමී, වයිටා, ස්නොවි, පැටී, පත්තරයා .. වගේ නං ගං බාවිතා කරනවා.. හැබැයි විදානේගේ නං ගෙදරට බැහැවැටිලා හිටපු බල්ලටයි, බැල්ලිටයි දාපු නං තමයි "විල්බට්" සහ "කල්පනී" කියන්නේ..

පොඩි පොඩි සංයෝග මූලද්‍රව්‍ය හෙම හොයාගත්තම එක එක විද්‍යාත්මක ගොයියලා ඒව්වට පිළිගත්ත නමක් හදල දෙනවා.. ඒකට කියන්නේ IUPAC (International Union of Pure and Applied Chemistry) නාමකරණය කියලා. මේ නාමකරණය ගැන උ/පෙ කරන කාලේ දත කට පූට්ටු කොරන් පාඩං කරත් අද වෙනකොට මතක තියෙන්නේ C2H5-OH වලට Ethanol කියනව විතරයි. (මේ නාමකරනය ගැන දන්න කට්ටිය නොදන්න කට්ටියට පැහැදිලි කොරොත් වටී)..

ගමක තියෙන විශේෂත්වයක් ගැන හිතලා ඒ ගමට නමක් දානවා.. ඔය කොළ පිරිනු අඹ ගහක් තිබුණු ප්‍රෙද්ශයකට "කොළඹ" කියල නම හැදුනා.. ගම් පහක් එකතු වෙලා ප්‍රෙද්ශකට "ගම්පහ" කියල හැදුනා.. ඒ විතරැක්යැ පස් දුන් කෝරලේට නම දුන්න හැටි  අපේ විපක්ෂ නායක තුමා අපූරුවට විග්‍රහ කොරල තිබුනේ..



හරි දැං ඔය කියන විදියට ගොඩක් දේවල් වලට නමක් තියනකොට මොනවහරි පොඩි පොඩි තියරි ටිකක් දාල බලනවා..

හැබැයි... බ්ලොග් එකකට නමක් තියන කොටත් එහෙමද?
 
මට එහෙම හිතුනේ පහුගිය සති දෙක තුනේ අපේ ගෙදර ඇතිවෙච්ච කසු කුසු කීපයක් හින්දා..

මොනවද අර පුතා අර නමක් දාලා තියෙන්නේ මළදානේ කියලා, ඒක මොන මුස්පේන්තු නමක් ද දවස තිස්සෙම ඕක දාගත්ත ගමන්මයි, ගෙදරටත් හොඳනෑ... ඔය ලියන එකක් බලන්න පුළුවන් නමක් දාගෙන ලියන්න කියන්න..

ඔය මගේ නැන්දම්මා මගේ බිරින්දැත් එක්ක කියපු කථාවක්..

පුතා මොනවද මේ කරන වැඩ, ඔයා දැං පොඩි එකෙක් නෙවෙයිනේ.. මොකක්ද අර මළදානයක් ද මොකක්ද කියලා ඉන්ටනෙට් එකේ මගුලක් කරන්නේ.. ඕක වෙනස් කරගන්න, ඔය වචනේ කියවන කියවන වාරයක් ගානේ කියවන අයටත් හොඳනෑ. ඔයාටත් හොදනෑ..

ඒ අපේ අම්මා, නැන්දම්මයි බිරින්දැයි කියපු දේවල් අහල මේක කියවලා දීපු සැටිපිකට් එක..

ඔයාට පිස්සුද අනේ.. මොකක්ද මේ දාල තියන නම.. දාන්න වෙන නමක් තිබුනෙම නැද්ද?.. අඩුම ගානේ තැනකට ගිහිං කියන්න පුළුවන් නමක්ද? අපේ ඔෆිස් එකේ අය දැගත්තොත් මොනව නොහිතයිද ඔයාගැන.. ඕකේ නම වෙනස් කරගන්වකෝ.. ඕක මහ මූසල නමක්...

ඔය තමයි බිරින්දෑගෙන් නිතර නිතර ලැබෙන වෝර්නිං..

දැං ඉතිං මේ උන්දෑ දවස ගානේ ගිහිං එහෙ මෙහ පෙරලල බලනවා මේක වෙනස් කරන්න තැනක් තියෙයි ද කියලා.. පුහ් මං කියාදෙයි ඒවා...

මේ මගේ ඉවසීමනං දැං රතු කට්ටත් පැනලයි තියෙන්නේ.. මේ මළදානේවෙනස් කරගන්නවද.. නැත්නං මේ මගුල උස්සල පොලොවේ ගහන්නද?

ඒ තමයි කියල කියල බැරිම තැන බිරින්දෑ අවිත් බොහෝම ආදරෙන් මං අමතපු විදිය..

දැං මට තියන පස්නේ මළදානේකියන්නේ එච්චරම නරක භයානක, මූසල නමක්ද කියන එකයි.... මේ නම වෙනස් කරන්න මගේ හිතේ වාටියකවත් අදහසක් නම් නෑ ඕං.... ඒත් මාත් ඉතිං බිරිඳට ගෞරව කරනවනේ (අර පත්තරයා වගේ).  ඇත්තටම මේ නම වෙනස් කලොත්.. දාන්න වෙන නමක් තියෙද? මං මේ කෘතහස්ථ බ්ලොග් රචක/රචිකා, පාඨක/පාඨිකා සැමගෙන් මේ අහන්නේ... 

කොටින්ම කිව්වොත් නැද්ද වෙන හොඳ නමක්..... 



Wednesday, July 16, 2014

සුනේත්‍රාගේ කථාව....

"හෙලෝ.."
"හෙලෝ.. මේ.... සරත් ඉන්නවද?"
"සරත්? .. මේ වැරදි නම්බරයක්.. ඔහේ කවුද? කාටෙයි ඔහෙට කථාකරන්න ඕනේ?.."
"මිස්, මම පියල් කියල කෙනෙක් කථාකරන්නේ, මට කථාකරන්න ඕන පොලේ සෙල්ලං බඩු විකුණන සරත් අයියට"
"මේ .. ඔහේට වැරදිලා  මේහේ ඇති සරතෙක් නෑ.. හැබෑට කවුද ඔහේට මගේ නම්බරේ දුන්නේ?"
"සරත් අයිය තමයි මේ නම්බර් එක දුන්නේ, ගිය මාසේ මගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා සතියකින් දෙනවා කියලා මාසයක් ගියා සල්ලි හම්බුන්නැති හින්ද තමයි දුන්න නම්බරේට කථා කළේ. අනේ මිස් තරහ නැතුව සරත් අයියට ෆෝන් එක දෙනවද?"
"මේ ඔහේ කොහේ හරිය යන හොරෙකුට අහුවෙලා. මේක වැරදි නම්බරයක්. මෙහේ ඇති සරතෙක් නෑ.. අපහු මේකට කොල්කරන්න එපා හරිය"
මේ මොන කරදයක්දැයි සිතමින් සුනේත්‍රා දුරකථනය විසන්ධි කළාය.
සුනේත්‍රා තිස් තුන් හැවිරිදි වැන්දඔුවකි. සර්පයකු දෂ්ඨ කිරීම නිසා ඇගේ සැමියා ඇයවත් ඇගේ දරු තිදෙනාත් අතැර මෙලොව හැර ගියේ මීට තුන් වසකට පමණ පෙරය. සුනේත්‍රාට දොලොස් වියැති දස වියැති සහ හත් වියැති පුතුන්ම තිදෙනෙකි වැඩිමහල් දරුවා මීට වසර පහකට පමණ පෙර පැවිදිවිය. ඒ අල්ලපු ගමේ පංසලේය. අනෙක් පුතුන් දෙදෙනා ගමේ පාසලේම අකුරු කරයි.
සුනේත්‍රාගේ ආදායම් මාර්ගය වූයේ තේ දළුය. තම සැමියාට අයත්ව තිබූ අක්කර දෙකක පමණ වපසැරිය ඇති තේ වත්තෙහි ආදායම වැඩි වියහියදම් නැති සුනේත්‍රාට සහ දරුවන්ට ජීවත් වීමට හොඳටම ප්‍රමාණවත් විය. තම සැමියාගේ මහගෙදර අසලින් ඉදිකර තිබූ ඔවුන්ගේ නිවහනහි මේවනවිට හතරෙන් තුනක පමණ වැඩ කොටසක් නිමකර තිබිණි.
සුනේත්‍රා කුඩාකල පටන්ම ආගම දහමට බොහෝ ලැදිය. සැන්දෑව් බුදුන් වඳින විට ඇය තුන් සූත්‍රයම ශබ්ධ නගා කියන්නීය. ඇයට කුමක් හෝ සිත් තැවුලක් ආවිට පංසලට ගොස් නිවී සැනහිල්ලේ ආගමික වතාවත් සිදුකර සිත සංසිඳුවා ගැනීම ඇගේ සිරිත විය.
තම දෙමව්පියනුත්, සැමියාගේ දෙමව්පියනුත් සොයුර සොයුරියනුත් හැර තම දුරකථන අංකය වෙනත් අයකුට දුන්නාදැයි සුනේත්‍රා කල්පනා කළාය. මීට සති තුනකට පමණ කලියෙන් සුමානෙට රුපියල් සීය ගානේ ගෙවන්න සී.එෆ්.එල්. බල්බ් විකුණන්නට ආ මිනිසා සිහිවිය. තමන් ඔහුගෙන් බල්බ් තුනක් ලබාගත් බවත් එවිට තම දුරකථන අංකය පොතෙහි ලියා ගත් බවත් ඇයට සිහිවිය. මේ කථා කළේ ඔහු වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. නමුත් දුරකථනයෙන් කථාකල පුද්ගලයායේ තිබූ සංවරශීලී කථාබහ මේ බලුප්කාරයාගේ කථා බහතුල නොමැතිබව ද ඇයට සිහිවිය. මොනව උනත් ආයේ කථාකලොත් හරියටම මේ කථාකරන්නේ කවුදැයි විමසා දැනගන්ට ඇය ඉටා ගත්තාය.
දින දෙකක් පමන ගෙවින. ආගන්තුග අංකයෙන් නැවත ඇමතුමක් නොආවේය. එදින දහවල් බලුප් කාරයා පැමිණ වාරික මුදල් එකතු කරන් ගිය අතර ඔහුගේද වෙනදාට වඩා වෙනසක් දක්නට නොවීය. මේ කරණා හේතු කරගෙන මුලින් ලැබුණු අමතුම ඇත්තටම වැරදීමක් වෙන්න ඇතැයි ඇය සිතුවාය. මෙසේ නිසොල්මනේ තවත් දවසක් පමණ ගතවුනි.
පසුදින සවස නැවතත් ආගන්තුගයාගේ ඇමතුම ලැබිණි.
"හෙලෝ"
"මම මේ පියල් කථාකරන්නේ, සමාවෙන්න මිස් කරදරයක් උනානම්, මම මේ දවස් ටිකේම හෙව්වා සරත් ගේ නම්බර් එක මේකම තමයි මිස්, මට වැරදීමක් වෙලා නෑ තරහ නැතුව සරත්ට ෆොන් එක දෙනවද?"

"මේ මං ඔහේට කිව්වා නේද මේක වැරදි නොම්බරයක් කියලා, ඔහේ ආයේ ඇයි මට කථා කරන්නේ. "

"මිස් මට කථා කරන්න ඕන සරත්ට"

"මේ.. ඇත්තටම ඔහේ කොහේද යන හොරෙකුට අහුවෙලා, ඒ මිනිහා ඔහේගෙන් සල්ලිත් අරගෙන බොරු නොම්බරේකුත් දීලා. මේක මගේ නම්බර් එක. මෙහේ සරත් කියල කෙනෙක් නෑ.. ...................."

ඇය කරුණු පැහැදිලි කරන්නට විය. ඇය කථාකර අවසන් වනතෙක් සාවධානව අසා සිටී පියල්
"එහෙනං මිස් මං ආයෙත් හොයල බලන්ම්" යයි කියා දුරකථනය විසන්ධී කලේය.

තමාගේ පැහැදිලි කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලැබුණු බව ඇයට දැනිනි. ආයෙත් මේ මිනිසා තමාට කථා නොකරනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් ඒ එදින රාත්‍රිය වනතෙක් පමණී. රාත්‍රි අටට පමණ නැවතත් ඔහුගෙන් ඇමතුමකි.

"මෙච්චර කියලත් මේ මිනිහා අහන්නැතිහැටි. බනින්න ඕන ආයේ කථා නොකරන්නම" යැයි සිතාගත් ඇය දුරකථනය එසවුවාය.

"හෙලෝ.."

"ආ මිස්, මම පියල් කථාකරන්නේ.. මට අද හවස සරත්ව හම්බඋනා, මිනිහගේ නම්බර් එක මගේ ෆෝන් එකට දානකොට අංකයක් මාරු වෙලා ඒකයි වැරදිලා මිස්ට කෝල් කළේ.. අනේ සමාවෙන්න ඕන මිස්ට කරදර කළාට"


" දැං එතකොට අර සල්ලි හම්බුනැයි?"

" ඇත්තටම මිස්ට කියන්න මාර වැඩේනේ උනේ .. ......................... ............................... ................. .................................. ඉතිං මිස් ඌ මට අන්තිමට සල්ලිටික ඔක්කොම දුන්නා"

සිදුවීම පිළිබද විනාඩි දහයක පමණ විස්තර කිරීම අවශ්‍ය තැන්වලදී තබනු ලැබූ හූ මිටි තැබීම් හැර වෙනත් බාධාකිරීමකින් තොරව සුනේත්‍රා සවන් දුන්නාය. කෙසේ වෙතත් දුරකථන ඇමතුම අවසානයේ සුනේත්‍රාගේ සිතෙහි පියල් පිළිබද යම් මිත්‍රශ්‍රීලී හැගීමක් ඇතිව තිබිණ.

පසුදින රාත්‍රියෙහිද පියල්ගේ මිත්‍රශ්‍රීලි ඇමතුම ලැබිණ. පෙර දිනට වඩා දීර්ඝ වේලාවක් ඔවුන් දොඩමළු වූ අතර සුනේත්‍රාගේ ජීවිතයේ බොහෝ තැන් ඔහු හා පවසන්ට තරම් ඔවුන්ගේ මිතුදම දියුණු වී තිබිණ.

පියල් දැන් සෑම දිනකම පාහේ ඇයට ඇමතුම් ලබාදෙයි. ඇයද ඔහුගේ ඇමතුම එනතෙක් මග බලා හිදින්නීය. නමුත් මේ වන විට මුලින් දින වල තිබූ හිතවත් කමට එහා ගිය ආදරණීය හැගීමක් ඇයටද හොරෙන් ඇගේ හිතේ දළුලා තිබිණි. ඇගේ මුළු ජීවිත කථාවම දැන් කිසිදිනක නොදුටු ඔහු ඉදිරියේ දිගහැර තිබිණ.

"සුනේත්‍රා "

"මොකෝ "

"මං එන්නද?"

"කොහේද?"

"ඔයාගේ තුරුල්ලට"

"පිස්සුද"

"ඔව් හොදටම පිස්සු වැටිලා"

"ඉක්මනට ඕක හොදකර ගන්න වෙයි"

"හොඳකර ගන්න තමයි හදන්නේ"

ඉනික්බිති දෙදෙනාගේම ඇසුනේ සිහින් කෙඳිරිලි හඬවල් පමණී. කෙසේ නමුත් විනාඩි කිහිපයක දුරකථන ඇමතුම අවසානයේ වසර ගනණාවකින් පිරිමි පහසක් නොලැබූ ඇගේ සිරුර ඔහුගේ වදන් වලින් මුසපත් වී තිබිණ. දෙපා වෙව්ලා පනනැති වී යන්නාක් මෙන් ඇයට දැනුණි. ඔහුගෙන් ලැබුණු දීර්ඝ හාදුවකින් පසු දුරකථනය විසන්ධි කල ඇය තෘප්තිමත් සිතුවෙල්ලෙන් නිදන්නට විය..

නමුත් පසු දින ඇයට දැඩි කලකිරීමක් දැනණි. තමා තමාට පණමෙන් ආදරය කල මියගිය සැමියාට ද්‍රෝහි වූවා නොවේ දැයි  සිතුණි. අනේ දෙයියනේ කවදාවත් දැකපු නැති මිනිහෙක් එක්ක කියපු දෙවල් ඇයට ඇය ගැනම ලැජ්ජා සිතුණි. ඇය තම මියගිය සැමියාගේ ඡායා රූපය දෙස මදක් බලා සිටියාය. අනේ මං කවදාවත් ඔයාට ද්‍රෝහිවෙන් නෑ ඇත්තමයි ඇය අදිටන් කර ගත්තාය.

හැන්දෑවට කොල් කරාම කියනව ආයෙත් මං එක්ක කථා කරන්න එපැයි කියලා. එච්චරයි අනික මං ඒ මනුස්සයව දැකලත් නෑ අඳුනන්නෙත් නෑ කෝල්කරන්න එපැයි කිව්වම හරිනේ. ඇත්තටම මේ අර බලුප් කාරයද දන්නෑ අයියෝ ඒ මිනිහනං ලැජ්ජාවේ බෑ, මෙකී නොකී දහසකුත් සිතුවිලි අතර ඇය හිත හදාගන්නට උත්සාහ කළාය.

එදින රාත්‍රියේද සුපුරුදු ඇමතුම ලැබිණි මුල් දෙවතාවේම ඇමතුම නොගෙන සිටියත් තුන්වන වතාවේ ඇය ඇමතුම ලබාගත්තාය.

"මේ හලෝ ඔහේ ආයේ මට කථාකරන්න එපා හරිය"

"ඇයි රත්තරං මේ ?"

"ඇයි කියන්නේ, මං දන්නෑ ඔහේ කවුද කියලවත්. අනික පව් වැඩ කරන්න මම කැමති නෑ, ඔහේ දන්නෝනේ මම ලමයි තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් කියලා, මට ඇත්ත කියනව ඔහේ අර බලුප් කාරයා නේද?"

"අනේ නෑ රත්තරං මම ඔය කියන බලුප්කාරයා දන්නෙවත් නෑ. හරි අපි දවසක හම්බෙමුකෝ එතකොට ඔයාට බලාගන්න පුළුවන් මං කවුද කියලා. ඔයා හිතන විදියට පවු කියන්නේ .... ........... ......... ... .. ... .. ...................................."

ඔහුගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම අවසානයේ ඇගේ සිත නැවතත් අශාවේ හස්තයන් විසින් ඩැහැගෙන තිබිණ.  නොබෝ වේලාවකින් ඇයගේ සිහින් කෙඳිරිලි හඬ ඇසෙන්නට විය. කෙසේ නමුත් ඇමතුම අවසානයේ  හැද සිටි ඇදුම් සොයන්නටද ඇයට වෙහෙසෙන්නට සිදුවූවාය.

ඔහු කථාකල පරිදි ඔවන් මුණගැහෙන්නට යාමට ඇය අදිමදි කළාය නමුත් ඔහුගේ වදන් හමුවේ ඇයගේ අදිමදි කිරීම සැනින් අවලංගු විය. දින තුනකට පමන පසු ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නට තීරණය කලේය. නමුත් ඇයට මොකක්දෝ ලොකු චකිතයක් දැනුණි. නෑ මට දැනගන්න ඕන මේ මනුස්සය කව්ද කියලා, නොගියොත් කොහොමද මේ කථාකරන්නේ කවුද කියල දැනගන්නේ. අනික මං ගිහිං කථාකරල එනව විතරයිනේ. ඇය යාමට ගත් තීරණය සාධාරණය කරන්නට හේතු සොයන්නට වූවාය. නමුත් ඇය එදින තම මියගිය සැමියාගේ ඡායාරූපය මගැර ගියාය.

උදෙන්ම දරුවන් දෙදෙනා මහගෙදරට යැවූ සුනේත්‍රා නගරය බලා ඇදෙන බසයකට ගොඩවිය බසයේ ගමන් කල පැය එක හමාරක කාලය තුල ඇගේ සිතුවිලි විසින් ඇයට වද දෙන්නටවිය. අපරාදේ මං මේ ගමන ආවේ, නෑවිත් හිටියනං හරි මේ මිනිහා මොකාද කියලවත් දන්නෑ. අනික දරුවො තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් ? අයියෝ මං මේ මොනවද කරන්නේ බස්එකෙන් බැහැලා අපහු ගෙදර යනවා, නෑ නෑ ආපු එකේ මං මිනිහව හම්බුවෙලාම යනවා.

බසයෙන් බැසගත් ඇය ඔහුට දුරකථන ඇමතුමක් ගත්තාය. කියූ මග විස්තර වලට අනුව විනාඩි කිහිපයක් යන්නට පෙර ඔහුව සොයාගත හැකිවිය. එතැන සිටියේ ඇය සිතූ බලුප් කාරයා නොවේ. ප්‍රසන්න පෙනුුමක් ඇති වයස තිහක් පමණ වන බොහෝ පිළිවලට හැද පැළඳගත් තරුණයෙක් එහි විය.

"ඉතිං...?"

අසන්නට බොහෝ දේ තිබුණත් අය ප්‍රශ්ණාර්ථ හැඟීමකින් කිසිත් නොකියා ඔහු දෙස බලා සිටියාය. නිහඬ බව බිඳිමින් ඔහු නැවතත් කථාකරන්වට විය.

"මොකද බයවෙලා වගේ මම තමයි පියල්?  මේ මෙතැන කථාකරන්න බෑ අපි කොහාට හරි යං"

"කොහෙද යන්න‍ෙ"

"එන්නකෝ..."

ත්‍රී රෝද රථයකට කථාකල ඔහු ඇයගේ අතින් ඇදගෙනම එයට ගොඩවිය. කුමක්දෝ තැනකට යමු යැයි ඔහු රියදුරුට කීවද ඇයට ඒ කොතැනදැයි නොවැහැටුනි. අනේ මේ කවුද මං මේ කොහේද එක්කං යන්නේ ඇගේ පපුව වේගෙන් ගැහෙන්නට විය.

"ඔයා බය වෙලාද? බය වෙන්න එපා මං ලඟ ඉන්නවනේ "

විනාඩි තුනක පම ගමනකින් පසු නගරයෙන් මදක් එපිටින් වූ නවාතැන් පොලක ත්‍රී රොද රිය නතර විය. ඉන් බැසගත් ඔහු ඇයවත් අතින් අල්ලාගෙනම කාමරයකට වැදුණි.

ඇයට ඔහු හා දොඩමළුවන්නට අවැසි උවත් ඔහුට එයිට එහා ගිය රාජකාරියක් විය. මස් කුට්ටියක් හමුවූ සුනඛයෙකු සේ ඔහු ඇයව රසවිඳින්නට විය. ඇයට භීතිය ද ඔහුට ප්‍රීත්‍රිය ද රැඳුනු වෙහෙසකර පැය බාගයකින් පසු ජයග්‍රාහී ලීලාවෙන් ඔහු හතිඅරින්නට විය. නිරුවතින්ම නාන කාමරය වෙත දිව ගිය ඈ මුව තුල රැදි සියල්ලෙන් කොටසක් හෝ කුසතුලට යා නොදී සෝදා හරින්ට උත්සාහ කළාය..

තවත් මිනිත්තු විස්සක් පමණ වනවිට ඔවුන් නැවතත් නගරයෙහි විය.

"අර තියෙන්නේ ඔයාලගේ ගමට යන බස් එක, කීයට යයිද දන්නෑ."

"දන්නෑ.. මං යනවා"

බසයට ගොඩවූ ඈ කවුළුවෙන් ඔහු දෙස බැළුවාය. මද සිනහවක් පෑ ඔහු ආපසු හැරී යන්නට ගියේය. ඇයට මහත් වේදනාවක් දැණින. තමන් ආවේ කොතෙක් දේ ඔහු හා කථා කරන්නද, නමුත් අන්තිමට සිදුවූදේ මතක් කරන්නටවත් ඇයට අප්‍රිය විය. මේ කොහේද යන මිනිහෙක් හින්ද මං මගේ ජීවිතේ විනාශ කරගත්තා. අනේ දෙයියනේ මං මගේ රත්තරං මනුස්සයට, දරු තුන්දෙනාට අම්මල තාත්තලට ද්‍රෝහි උනා. මේ මොන අපරාධයක්ද මං කරගත්තේ.. ඇයට නොදැනුවත්වම දෑසින් කඳුලින් තෙත් විය. බස් රථයේ ඉදිරිපස අසුනට හිස තියාගත් ඇය. කිසිවෙකුටත් නෑසෙන්නට හඬන්නට විය.

බසයෙන් බැසගත් ඇය නිවසට ආවේ කෙසේදැයි ඇයට නිනව්වක් නැත. වෙනදා පසුකර එන සපුරුදු දසුන් අද තිබුණාදැයි මතක නැත. නිවසට පැමිණි ඇය මුලින්ම තම ජංගම දුරකථනයේ වූ සිම්පත ලිපට දමා පුළුස්සා දැමීය ඉනික්බිති දොර වසා දැමූ ඇය තම මියගිය සැමියාගේ ඡායාරූපය පපුවට තුරුළුකරගෙන මහ හයියෙන් ඉකිගසා වැලපෙන්නට විය.

පසුදා උදයෙම ඇය පංසලට ගියාය. තමාට දුකක් කරදරයක් වූ හැම වේලාවකම සිතට සහනය ගෙනදුනේ මේ පංසලේ බෝ මළුවයි. තමන් උගෙන ඇති සියළු ගාථාවන් කියමින් වන්දනා මාන කර තමාගේ හිතට සහනයක් දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. පැය කිහිපයක් පංසලේ ගතකල ඇය තම සිතෙහි වූ වේදනාව බොහෝදුරට සමනය කරගෙන නැවතත් නිවසට පැමිණියාය. සැන්දෑ ජාමයෙහි නිවසෙහි බුදුන් වැඳි ඇයට මහත් සැනසිල්ලක් දැනින. ඔය වගේ මෝඩකං නං ආයේ කවදාවත් කරන්නෑ, ඇය දැඩිව සිතාගත්තාය,

තම සිතුවිලිත් සමග මහත් සටනක් කල ඇය ජයග්‍රාහී ලීලාවෙන් තම පුතුන් දෙදෙනාද තුරුලට ගෙන නිදන්නට විය.

පසු දිනට පහන් විය දරු දෙදෙනා පාසල් යැවූ ඇය තේ දළු නෙලීමට පිටත් වන්නට සූදානම් විය. සැනෙකින් මෝටර් බයිසිකලයක් මිදුලෙහි නතර කරනවා ඇසුණි. නිවසෙහි ඉදරිපසට දිවගිය ඇයට දැකගන්නට හැකිවූයේ වාරික මුදල් එකතු කිරීමට බලුප් කාරයා පැමිණ ඇති බවයි.

"තව වාරික කීයෙයි මම ගෙවන්න ඕන"

මුදල් දෙන ගමන්ම ඇය ඇසීය.

"අද ගෙව්වට පස්සේ තව වාරික දෙකයි"

මුදල් ගෙවූ රිසිට් පත ඇය අත තබන ගමන්ම ඔහු පවසුවේය. රිසිට් පතද රැගෙන ඇය ආපසු හැරුණා පමණී..

"මේ... ඒක නෙවෙයි, ඔයා පෙරේදා ටවුන් එකේ හිටියා නේද....? "

Tuesday, July 1, 2014

සීලන්.....

උදේ පාන්දර ඇගට දැනුනුු කෙඩෙත්තු ගතිය නිසා මා උදෑසන දේශන වලට සහභාගී නොවී නේවාසිකාගාරයෙහිම නතර වීමි. පැනඩෝල් පෙති දෙකක් ගිල දැමූ මා "ටිකක් නිදාගත්තම මේක ඇරිල යයි" යයි මටම කියාගනිමින් ඇඳට වැටී නිදන්නට වීමි.

නමුත් දහවල් වන විට මාගේ ඇගපත වේදනාව උග්‍ර වී වෙව්ලන්නට විය. කට තිත්ත ගතියකින් යුක්ත විය. උණ ගතිය එන්න එන්නම වැඩිවිය.

"අඩෝ ඉස්සා මොක්කද මේ"

"මට ටිකක් උණ වගේ බං"

"ඕ... ඔන්දටම ෆීවර්, ඔන්දටම ෆීවර්. ඔහොම හිටියොත් උඹ මැරෙයි බන්. යං යං බේත් ටිකක් ගේන්න යං"

"නෑ බං පැනඩෝල් දෙකක් බිව්වම අඩු වෙලා යයි"

"පැනඩෝල්... පුන්ඩෙ පැනඩෝල්... යමං උත්තෝ බේත් ටිකක් ගන්න"

"බෑ බං.."

"යමං යමං.. ආ.. ආ.. ලෑස්ති වෙයං.. ආ.. මේක ඇඳගනින්.."

මාගේ ලොකර් එක ඇර කලිසමක් එලියට ගත් සීලන් බලෙන්ම වාගේ එය ඇන්දවිය. අපත් සමග එකම දිනයක විශ්වවිද්‍යාලයට පැමිනි මොහු බැජ් එකේ කා අතරත් හොද හිත දිනාගෙන සිටී අයෙකි. ඔහුගේ ගම කිලිනොච්චිය වූ අතර ඔහු ප්‍රකාෂ කර තිබු අයුරින් ඔහුට බාල සොහොයුරියන් දෙදෙනෙකු විය.

විශ්වවිද්‍යාලය අසල පුද්ගලික බෙහෙත් ශාලාවකට මා රැගෙන ආ ඔහු සතියකට සරිලන බෙහෙත් ද මාව‍ෙත රැගෙන දුනි. පෙරලා නේවාසිකාගාරය වෙත පැමිනි පසු "මච්චං පොඩ්ඩක් හිටපාං.." කියා පිටත්ව ගියේය..

විශ්වවිද්‍යාලට පැමිණෙන විට එකඳු සිංහල වචනයක් වත් නොදැන සිටී මොහු දැං වචනයයෙන් වචනය අමුණමින් ලෙස සිංහල බස හසුරුවයි.. ඔහුගේ සිංහල හැසිරවීම සැමටම ප්‍රිය සිනහ උපදවන්නක්ම විය. නිතර පිරිසිදුව පිලිවෙලට සිටින ඔහු අනෙකුත් දමිල මිතුරන් හා සසඳන විට සැබැවින්ම ලෙංගතු සහෘදයකු විය.

හංදියේ කඩයට ගොස් චයිනීස් පාර්සලයක් ගෙන ආ ඔහු මරණ තර්ජන කරමින් එම බත් (රයිස්) පාර්සලයම මා හට ගිල්ලවිය. අනතුරුව බෙහෙත් ටික තෝරා දුන් ඔහු මවිසින් බෙහතේ පෙති සියල්ල බොන තෙක් බලා සිටී ඔහු පිටට තට්ටුවක් දමා "දැං සනීප වෙයි මච්චාං" කියා පිටත් විය.

එකල පැවති යුදමය වාතාවරණය නිසා මොහු නිවස බලා ගියේ බොහෝ කලාතුරකිනි. එසේ නිවසට ගොස් පැමිණෙන ඔහුසතුව මුළු නේවාසිකාගාරයටම බෙදා දීමට තරම් රස කැවිලි විය. ඔහු මත්පැන් පානය කරන දිනයන් වල අපද අනිවාර්යයෙන්ම පානය කල යුතුය. නැත්නම් අල්ලා බලෙන්ම කටට වත් කරයි. නොබොන අයට නොපොවයි ඒ ඔහුගේ හැටිය. කිසිවෙකුත් ඔහු හා උරණ වූයේ නැත. සැවොම ඔහුට ලෙන්ගතු විය.

මෙසේ වසර දෙකක් පමණ ගත විය. 

ක්‍රම ක්‍රමයෙන් සීලන් තුල තිබූ සැහැල්ලු බව අතුරුදන් විය. නිතර නිතර දේශන මගරින ඔහු නේවාසිකාගාරයට වී කල්පනා කරමින්ම කල් ගෙවන්නට විය. අප කොතෙක් ඔහුගෙන් ඒ ගැන විමසීම් කලද නිසි පිළිතුරක් ඔහුගෙන් නොලැබිණ.

"මච්චං මං ලබන මාසේ කැනඩා යනවා අපේ අංකල් කෙනෙක් එහේ ඉන්නවා, එයා මට ජොබ් එකකුත් සෙට් කරා, ටික දවසකින් නංගිල දෙන්නත් එහෙට ගන්නවා"

දිනක් හදිසියේම ඔහු අප හා පැවසිය. අප කොතෙක් ඇවටිලි කලද ඔහුව නතර කර ගැනීමට නොහැකි විය. ඔහු නික්මයාමට පෙර දින රාතියේ නේවාසිකාගාරයේ සැමට මතින් සහ බතින් සංග්‍රහ කල ඔහු "යන්නං මචං..." කියා සියළු දෙනා වැළදගත්තේ කඳුළු පිරි දෙනෙතෙනි. 

සොඳුරු සහෘදයකුගේ සංවේදී නික්මන එය විය. එහෙත් කාලය කෙමෙන් ගතවෙත්ම ඔහු කෙරේ වූ මතකය අප අතරින් ද ගිලිහෙන්නට විය..

---------------------------------------------------------------------------------

මේ දෙදහස් නවය වසරයි හරියටම කියූවොත් මැයි මස අවසන් සතියයි, මේ වකවානුව වනවිට මුළු රටම යුද ජයග්‍රණයේ ප්‍රීත්‍රිය භුක්ති විඳින සමයයි. මේ වනවිට මා රාජ්‍ය නොවන සංවිධානයක මිනින්දෝරුවරයකු ලෙස සේවය කරන ලදී.

හදිසියේම අප ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මාහට කැදවීමක් ලැබුණි. පසුදින ප්‍රධාන කාර්යාලයට වාර්ථාකල මාහට දැන්වූයේ එදින පටන් මා වව්නියාව "මැණික්ෆාම්" කඳවුරු වල හදිසි මැනුම් කටයුතු සදහා අනුයුක්ත කර ඇති බවයි. එදිනම වව්නියාව ශාඛා කාර්යාලට වාර්තාකල මා හට පසුදින සිට "මැණික්ෆාම්" කඳවුරු වල සේවයට යන්නට සිදුවිය.

දැඩි ආරක්ෂක මුරකාවල් හෙබි කඳවුරු භූමිය තුලට කිසිඳු ජංගම දුරකථනයක් කැමරාවක් වැනි උපකරණයක් ගෙනයාම සපුරා තහනම් විය. උදේ පාන්දරම අප සතු මැනුම් උපකරන හැර අන් සියලු විද්‍යුත් උපකරණ, සන්නිවේදන උපකරණ සියල්ල ප්‍රධාන ආරක්ෂක කාර්යාලයට භාර දිය යුතු විය. කඳවුර තුලට යාහැකි වූයේ අප ආයතන මගින් ආරක්ෂක අංශවෙත තොරතුරු සහතිකකර ලබාදී තිබූ  අප කිහිප දෙනෙකුට පමණී. තවද කඳවුර තුල සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් හැර අන් කිසිවකු සමග කථාබස් කිරීමද තහනම් කර තිබුණි.

කඳවුරු තුල වූ අධික රස්නයත් අධික දුහුවිල්ලත් උහුලාගැනීමට නොහැකි තරම් විය එකවරම හමායන සුළග මගින් අවුස්සන දුහුවිල්ලෙන් බේරීමට කිසිම ජගතෙකුට නොහැකි විය. මෙ කඳවුරු තුල මීටර් සියයක් දිගින් හා මීටර් හැටක් පමන පලින් යුතුව සකස් කරන ලද බිම් කට්ටි විය මේවා වටේටම වාහන දෙකකට පහසුවෙන් මාරුවියහැකි මාර්ගයන් විය මෙසේ බිම්කට්ටි රාෂියක් එක් කඳවුරු භූමියක විය.

එක් කඳවුරුබිම් කට්ටියක් තුල පේලි කිහිපයකට සෑදූ කූඩාරම් රාශියක් විය එක් පසක වැසිකිලි පේළියකි, තවත් පසක ජල කරාම පේළියකි තවත් තැනක ආහාර පිසින ස්ථායයි. දවසෙහි කිසිම වේලාවක ඉහත ස්ථාන වලට පවතින මිනිස් පොලිමෙහි අඩුවක් නොවීය. බිම් කට්ටි කිහිපයකට එකක් වන්නට වෛද්‍ය මධ්‍යස්ථායක් විය.

කඳවුරතුල ආහාර පිසීමද ඉතා සරල ආකාරයට සිදුවිය. සහල් සෝදා එයට කපා ගත් එලවලු වර්ග කීපයක් එක් කර අවශ්‍ය පමණට ලුණු ද එක්කර විශාල භාජයනයකට දමා තම්බා ගනී. ඉන්පසු පොලිමේ එන පිලිවලට පිගන්වලට මේ ආහාරය බෙදා දෙයි. තුන් වේලම මෙසේය.

ගස් ගල් පෙරලා සමතලාකර ඇති මේ බිමතුල මැනුම් කටයුතු සිදුකිරීම අපහසු නොවීය. අපහසු වූයේ අප විසින් මැනුම් කටයුතු සඳහා කුඩා සිමින්ති කූඤ්ඤ වලලනු ලැබූ ස්ථානයන් වල පසුදින එන විට කිසිවකු විසින් හෝ මලපහ කර තිබීමයි.  

සුපුරුදු ලෙස දින කිහිපයක් රාජකාරියෙහි නිරතවිය. හදිසියේම කිසිවෙකුත් අප දෙස විමසිල්ලෙන් බලා සිටිනවා දුටිමි. මිනිසුන් නිතර නිතර මැනුම් උපකරණ දෙස බලා සිටීම අරුමයක් නොවූ බැවින් මා ඔහු පිළිබඳ තැකීමක් නොකරම රාජකාරියෙහිම නිරතවිය. 

පසු දිනද ඔහුගේ තියුණු බැල්ම අප වෙතම එල්ලවී තිබෙනු දක්නට ලැබණි. අවුරුදු හැටක පමන පෙනුමැති මොහුගේ මුහුණෙහි සියල්ල විනාශවීගිය හැගීමක් විය. එදිනද ඔහු පිළිබඳ අවධානය ඉවතට විසිකල මා මාගේ කාර්යයහි නිරතවිය. ඉන් පසු ඔහු සැමදිනකම අප යන යන තැන අපහට කරදරයක් අපහසුවක් නොවන ලෙස අප දෙසම බලා සිටින්නට විය.

දින කිහිපයක් ගිය තැන ඔහු යන්තමින් අප හා සිනාසුනි, සතියක පමණ කාලයක් අප පසු පස එමින් සිටී මේ මිනිසාගේ සිනහව මගහරයාමට මා හට සිත් නොදුනි. ඉන් ඔහු වඩාත් ධෛර්යමත් වන්නට ඇත. සවස් වනවිට අප අසලටමවිත් බලා සිටින්නට විය. ඒ වනවිට වෙනදා නැති දිනපොතක් වැනි යමක් ඔහු අත විය.

"සර්... සර්වියර් එකේද?"

පැහැදිලි නිරවුල් සිංහලෙන් ඔහු විමසුවේය.

"ඔව්"

"සර්ල කොහේද?"

"අපි කොළඹ"

"ඒ කාලේ අපිත් කොළඹ තමයි හිටියේ, අසූ තුනේ අපේ කඩේ ගිනිගත්තට පස්සේ අපි කිලිනොච්චියට ආවා, සර් මට ලමයි තුන්දනෙකේ හිටියා තුන් දෙනාටම හොදට ඉගනගන්න පුළුවන්, දූලා දෙන්නා කසාද බන්දලා කැනඩාවට යැව්වා,  ලොකු පුතා සර්වියර් වලට ඉගන ගත්තා......"

මගේ හූ මිටි තැබීමක් වත් බලාපොරොත්තු නොවූ ඔහු නොනවත්වාම කියවාගෙන යයි. ඒ අතර තම අතෙහි වූ දිනපොත දිගැර යමක් සොයයි..

"මේ ඉන්නේ සර් මගේ ලොකු පුතා." 

ඔහු ඡායාරූපයක් ගෙන මා හට පෙන්වයි, නොසැලකිල්ලෙන් ඒ දෙස බැලූ මා නෙත් පිහිදා නැවතත් එය පරීක්ෂාකරන්නට වීමි. මාහට වරදින්නට විදියක් නැත මින් වසර හතකට පමන පෙර අප සමග ඉගැනුම ලැබූ ඔහුමය.

"මේ ඉන්නේ සීලන් නේද?...." මා ඔහුගෙන් එසේ විමසූවේ මෙය සත්‍යදැයි තවත් තහවුරු කරගන්නා අටියෙනි.

"සර් මගේ පුතාව දන්නවද?"

"ඔව් අපිත් එක්ක කැම්පස් එකේ හිටියේ උපාධිය ගත්තේ නැතුව කැනඩා ගියේ..."

"සීලන් කැනඩා ගියේ නෑ සර්. එයාගේ නංගිලා දෙන්නා බලෙන් සංවිධානෙට බඳෝගන්න ගියා. එතකොට සීලනන් නංගිලා දෙන්නව රට යවල කැමැත්තෙන්ම සංවිධානෙට බැඳුනා,  කැම්පස් එකේ අයට බොරු කියල තිබුනේ රට යනවා කියල,.. සර්... ගිය මාසේ වෙනකං සීලන්.. මාස දෙකකට සැරයක් විතර එයාගේ අම්මයි මායි  බලන්න ආවා. කොච්චර යුද්දේ දරණු උනත් එක මග ඇරියේ නෑ. හැබැයි අන්තිමට ආපු වතාවේ එයා කිව්වා ආයෙත් යන්නෙ නෑ කියල.. ඔව් සර් එයා අපි එක්කමයි හිටියේ.. වෙඩි වැදිලා නැගිටගන්නවත් බැරුව. හරියට බේතක්වත් නැතුව. වතුර ඩිංගක්වත් බොන්නෙ නැතුව. පන ඇද ඇද,  සතියක් විතර....

ඔහු තව මොනවාදෝ කීවත් ඒ කිසිවක් මට ඇසුනේ නැත දුටුවේ තම පුතුගේ වියෝව දරාගත නොහැකිව ඉකිගසන පියකුගේ රුව පමණී.....

----------------------------------------------------------------------------
ප/ලි..

නම් ගම් මනඃකල්පිතය..

ප/ප/ලි.
වැඩ කටයුතු බොහෝමයක් වූ බැවින් පසුගිය මස තුල ඔබ සැමගේ වටිනා පෝස්ටු රාශියක් කියැවීමට නොහැකි විය. ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. දැන් තත්වය බොහෝදුරට සමනය වී ඇත. එබැවින් සුපුරුදු ලෙස නැවතත් කල් ගෙවිය හැක.. (ජය වේවා!!!)