Tuesday, August 19, 2014

සිරිපාල සහ පොල් පැලය..

කළුවර වැටෙන්නට කලියෙන් තමාට මේ කාර්යය නිමකරීමට හැකිවේයැයි සිරිපාල සිතුවේය. ඔහු දෑත ඉක්මන් කරමින් වටා පිටාවේ ඇති  පස් උදැල්ලෙන් අදිමින් පොල් පැලය වටා පුරවන්නට විය.

වසරෙන් වැඩි කාලයක් නියගය රජයන පහල ඌවේ කර්කෂ මහ පොලව සමග සිරිපාල ඕට්ටු වනුයේ පනස් වසක පමන සිටය. තම පියාගේන් උරුමව ලැබුණු මේ අක්කර හතරක පමන වූ මහ පොලව මෙතුවක් කල් සිරිපාලගේ පවුල ජීවත් කරවන්නට සමත්විය. වයස අවුරුදු විසිදෙකක දියණියක්ද වයස අවුරුදු දහ නමයක හා දහසයක පුතුන් දෙදෙනෙකු ගේ ද පියකු වූ සිරිපාල. ගමේ ගොඩේ එතරම් කතාබහ නොවන චරිතයක් විය. සති පොල තිබෙන දිනයේ එලවලු ගොණියක් කරගසාගෙන පොළට යාමත් මාසෙකට දවස් දෙක තුනක් ගුණේ ගේ කසිප්පු වාඩියට බඩගෑමත් ඇරෙන්නට සිරිපාල තම නිවසින්, ඉඩමින් එලියට ගියේ කලාතුරකිණි,

සිරිපාලගේ ඉඩමේ දෙපසකින්ම ඇත්තේ කැළයයි. කටුපිල ගස් වලින් හෙබි එම කැලෙයෙහි විශාල ගසකට ඇත්තේ අතරින් පතර වැවී ඇති කොහොඹ ගස් පමණී. මෙම කැලයත් සිරීපාලගේ ඉඩමෙහි එක් මායිමකුත් අතරින් අඩි පාරක් ඇත. සිරිපාලගේ ගමත් අල්ලපු ගමත් අතර කෙටිම මග කැලය තුලින් ඇති මේ අඩි පාරය. නිතර තනි අලියා ගැවසෙන බැවින් හිත හයිය පිරිමියකු උවද මේ අඩි පාරෙහි ගමන් කරන්නේ කලාතුරකිනි.

මෙම ඉඩමෙහි තවත් මායිමකට වන්නට ඇත්තේ ගුරු පාරය. ගුරු පාර අයිනට වන්නට සිරිපාල තම නිවස ඉදිකර තිබිණ. එම නිවස පිහිටි බිම් කොටස ඇරෙන්නට ඉඩමෙහි අනෙකුත් සියළු ඉඩකඩ විවිධ වර්ගයේ බෝගයන් ගෙන් වසා තබන්නට සිරිපාල සමත් වී ඇත.

--  --  --
ගමේ ගොඩේ ජීවත් වූවන් අතර පියරත්න චන්ඩියෙකු විය. මිනී මැරුමකට වැරදි කරුවී වසර ගනනාවක් සිරගෙයි ගතකල පියරත්න සිරෙන් නිදහස් වී ගමට පැමිණියේ මීට වසර එකහමාරකට පමන පොරොතුවය.  ගමේ ගොඩේ හොරෙන් හොරෙන් වැවෙන වවන කංසා එකතුකර නගරයට පැටවීමත් සතියකට වරක් වත් දඩයමේ යාම මොහුගේ ජීවනෝපාය විය.  සැබැවින්ම පියරත්න ගමෙහි ගනං කාරයකු විය. ඔහුට පිටින් ගමෙහි එක කංසා හේනක්වත් නොවැවින.

හිරේ විලංගුවේ වැටීමත් සමග ගමේන් ගිය පියරත්නගේ බිරිය සහ දරු දෙදෙනා නැවත කිසිදිනෙක ගමට නොආවේය. ගමට ආ පසු ඔවුන් කොහිදැයි සොයන්නට පියරත්නට ද උවමනාවක් නොවිණි. මේ වසර එක හමාර ඇතුලත ගමෙහි ගැටිස්සියන් කිහිප දෙනෙක්ම පියරත්න අතින් සල්ලං වී ඇති බව ගමටම නොරහසකි. පියරත්නට ගැහැණියක සමග ඉන්නට සිතුනහොත් හොදින් හෝ නරකින් තම සිතැඟි ඉටුකරන්නා බව ගමෙහි සියල්ලෝම දනිති. සියල්ලන්ටම වඩා සිරිපාල දනිති.

--  --  --
කරමින් සිටී කාර්යය මදකට නතර කල සිරිපාල හවස ගෙනා කසිප්පු බාගයෙන් උගුරක් කටට හලා ගෙන නැවතත් පොල් පැලය සිටුවීමෙහි නිරත විය. මේ අතර සිරිපාලට අතීතය මෙනෙහි වන්නට විය. වසර අටකට පමන පෙර ඒ දිනය අද මෙන් සිරිපාලට මතකය. එවකට දා හතර හැවිරිදි වියේ පසුවූ සිරිපාලගේ  දියණිය ලොකු ලමයකු වී සමසක් ගතවන්නට ඇත.

නියගය නිමවා වැසි වසින්නට පටන් ගෙන දින කිහිපයක් ගතඋනා පමණී. සිරිපාලත්, බිරිඳත් ලහි ලහියේ වගා කටයුතු සඳහා අවැසි බිම සකස් කරන්නට විය. එවකට පොඩි උන්ව සිටී සිරිපාලගේ කොල්ලන් දෙදෙනා කොල්ලන් සමග සෙල්ලමේ ගොසින්ය. නිවසෙහි ඉතිරිව ඇත්තේ සිරිපාලගේ වැඩිමහල් දියණිය පමණී.

යක්ෂයාගේ හෝරාවට ආශිර්වාද කරමින් වැහිබරව තිබූ අහසින් එකවරම මහ වැස්සක් වැටෙන්නට විය. හේනේ බිම් සකසමින් සිටී දෙදෙනාට නිවසට යාමට තරම් කාලයක් නොතිබිණ. හේනෙහි ඉදිකර තිබූ අතුපැල වෙත දිව ගිය ඔවුන් වැස්ස තුරල් වනතුරු බලා සිටියේය. අහස ගිගුම් දෙමින්, අකුණු එලි දල්මින් පෑ බාගයක් පමන මහ වැසි ඇද හැලුණි.

නිවසට පැමිණි ඔවුන් හට දක්නට ලැබුනේ නිරුවතින් සිහිසුන්ව බිම වැටී සිටී ඔවුන්ගේ දියණියයි. ඒ වන විට යක්ෂයා අහිංසක දියණිය බිලිගෙන තිබුණි. ඇගේ කෑ ගැසීම මහ වර්ෂාවෙහි ගිගුම් නද පරයා යන්නට අසමත්ව තිබිණි.

මහ පොලව නූහුලන මේ අපරාධය ගැන ඔවුන් පොලිස් පොතෙහි සටහන් තැබීය. නමුත් පොලීසියේ දී ඔවුනට විශේෂයනේ දියණියට ලැබුනේ සාධාරණය වෙනුවට ඔවුන් අසන ගැටළු වලට විලියෙන් සැඟවෙන්නටය. ඉන්ම ඔවුන්ගේ පැමිණිල්ල අහකට විසිවුනි. විත්තිකරු වූ පියරත්න චෝදනා වලින් නිදහස් විය.

ගම පුරා සිද්ධිය ආරංච් වී තිබූ බැවින් පාසැලේ දී ඇයට අසන්නට ලැබුනේ පතොක් කටු වැනි වදන් ය. ඒවාට මුහුණ දෙන්නට තරං ඒ පුංචි සිත සවිමත්ව නොතිබිණි. එහෙයින් ඇගේ පාසැල් ගමනද එතැනින්ම හමාර වියල. අවසානයේ බදුල්ලේ සිටින සිරිපාලගේ අයියලාගේ නිවස ඇයට නවාතැන විය. දැන් ඇය ඇඟලුම් කම්හලක රැකියාවට යයි.

දියණියට සිදුවූ මේ අකටයුත්තෙන් පසු සිරිසේන ජීවත් වූයේ සම්පූර්ණ පරාජිතයකු ලෙසය. නීතියෙන් ඔවුනට පිළිසරණක් නොවිණ. චන්ඩි කමින් පියරත්නයා මෙල්ල කරන්න යාම තම පවුලටම මරණය ලඟාකර ගැනීමක් වැනිය. ඉදහිට හෝ දියණිය නිවසට පැමිණි දිනක ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් ශක්තියක් ඔහුට නොවිණ. තමා ඇයට සාධාරණයක් ඉටු නොකල නිකංම නිකං නිකමකු යැයි ඔහුට සිතුණි.

පියරත්න මිනීමැරුමකට චූදිතයකු වී වසර ගානක් හිරේට වැටුනු එක සිරිපාලට මහත් සැනසිල්ලක් විය. නමුත් මීට අවුරුදු එක හමාරකට පමන පෙර නැවත ගමරට බලා පැමිණි පියරත්න දුටු විට සිරිපාලගේ සිත නැවතත් නොසන්සුන් වන්නට විය. පියරත්න දකින දකින වාරයක් පාසා සිරිපාලට තම දියණිය සිහිවන්නට විය. සිරිපාලට වාවාගන්නට නොහැකි කාරණය වූයේ තම ඉඩම අසලින් කැලයට යන අඩිපාර කිසිඳු චකිතයකින් තොරව පියරත්න ගමන් බිමන් සඳහා යොදාගැනීමයි.

පොල් පැලය සිටුවා අවසන් කල සිරිපාල, කසිප්පු වඩියේ අන්තිම උගුරු කීපය හිස්කර, හොඳින් කාරා පොල් පැලය දෙසට "තුහ්.. " ගා කෙල පහරක් ගසා උදැල්ලද කරට ගෙන ඉක්මන් ගමනින් නිවස දෙසට ඇදුණි.

Friday, August 8, 2014

මිතුරු තෙමෝ............

එක දවසක්,
බෙලිහුල්ඔය,
"පර්ල්" එකේ...
උඔත් එක්ක හතර දෙනයි..
හිම්න් හිම්න්,
හිස් කරනවා..
හදිස්සියිද මන්ද උඔට.,
අපිට වඩා උඔ ගන්නවා..
රෑ දහයයි,
මෙව්වා දෙකයි..,
ආයේ එන්න,
බස් කෝ දැං..
පයිං යනවා ගී කිය කිය..

"කේලම තොපි දන්නවාද ?"
"ගුණේ" රහට අපිට කියන,
මොකක්ද බං..
"සනහස සඟවා දෙනෙත නුරාවෙන්....."
තාල මරං උඔ ගයනවා,
හිටිගමන්ම,
"සනහස යනු කුමක්ද බං..."
උඔ අහනව..
"අනේ මන්දා" අපි කියනවා..

තව ටිකකින්,
ෆෝන් එකත් තුරුල් කරන්,
උඔ දුවනවා අපි පෙරලන්..
පතබෑවුනා මහපාරේ.,
"ජබොග්" ගාලා..
අපි දුවගෙන ලඟට යද්දි..
උඔ කියනවා,
"සික්ස්ටීන් ටු ටෙන්, සබ්රා ටීම් වොන්ද මැච්,"
අනේ යකෝ,
උඔ අපිවත් ටකල් කරන්,
රගර් ගහල.......

අනේ මචෝ උඔට වැඩියි,
වදෙන් පොරෙන්,
ඇදන් අැවිත් දැම්මා ඇඳට..
ග්ර්ර්ස්... ග්ර්ර්ස්, ගර්ර්ස්....ගර්ර්ස්..
යන්තං ඇති උඹ නිදි දැං...
අනේ ඉතිං පවු කියලා..
උඹේ ලඟින් මාත් හිටියා..

තව ටිකකින්,
"ඕක්.. ඕක්.."
උඹ කබරයා..
දුවල ගිහිං දේවාලෙට..
බකට් එකක් අරං ඇවිත්..
අස්කෙරුවා, "ඕක්.. ඕක්..."
වතුර එකක් දීල උඔට..
ඇඳට දැම්මා අමාරුවෙන්...

ඒ අස්සේ උඹ කියනවා..
"අනේ මචං මට හරිනෑ... රෑට ටිකක් බලපං බං"
"මේ මොන මල ඉලව්වක්ද"
එහෙම කිව්වේ නැතත් මෙමා,
නිදාගත්තේ වෙනිං තැනක.............



Tuesday, August 5, 2014

පොඩි එකාගේ කථා 02 - පුංචිිි මාමා

"පොඩි එකා මෙහෙවරෙන්.."

"....."

"කෝ කවි ටික පාඩං කරාද?''

"ම්.. ටිකක් පාඩං..."

"කෝ කියපං බලන්න."

" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
  සත් හට වන බව දුකට වෙදානං...
  තිත් දන දුර .. ම්... අ...... අ.....
  ......."

"කෝ තොට ඒකවත් පාඩං නැද්ද, දැං දවස් කීයක් වෙනවද.. මෙහෙවර එළියට වර බූරුවා.."

කිසිත් නොකී පොඩිඑකා වෙව්ලමින් මිදුලට බැස්සේය. පුංචි මාමාගේ දෑස් කෝපයෙන් දිලිසෙනවා පොඩි එකාගේ ඇස ගැටුණි. ඒ දෑස් මගහරින්නට පොඩි එකා බිම බලා ගත්තේය.

"ගහපිය දන.."

ඒ අණට අවනත වෙනවා හැර වෙනත් කරන්නට දෙයක් නැත, පොඩි එකා බොරළු පොලෙවේ දණ ගසා ගත්තේය.

"දැං හයියෙන් පාඩං කරපන් කවිටික, මං එනකං ඔතනින් නැගිටින්න බෑ"

පාඩං පොත අතටගත් පොඩි එකා කවි කටපාඩං කරන්නට විය..

" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
  සත් හට වන බව දුකට වෙදානං...
  තිත් දන දුර දුරු ලන නිති දානං..
  සිත් සතොසින් නමදිම් මුණිදානං.."

තුනේ පන්තියේ දෙවන වාරවිභාගය අවසානයේදී පොඩි එකා ගිය ගමේ ඉස්කොලේ පංති බාර මිස් තම මවට පවසා ඇති දෙය නිසා දැං පොඩිඑකාට ගුටි තැලුම් කන්නටත්, එලෝකෝටියට බැනුම් අහන්නටත් සිදුව අැත.. ඉස්කොලෙ නිවාඩු දෙන දවසේ පාසැලට ගිය අම්මාට පංති භාර මිස් පවසා ඇත්තේ.

"මේ ලමය මේ අවුරුද්දේ මේ විදියටම ඉගන ගත්තොත් ලබන අවුරුද්දෙත් මේ පංතියේම තමයි තියන්න් වෙන්නේ" යනුවෙනි.

මේ ප්‍රකාෂයන් ත්‍රස්ත්‍රවූ පොඩිඑකාගේ අම්මා ඉස්කෝල නිවාඩුව අවසාන වූ විගස පොඩිඑකා ගමේ පාසලෙන් අස් කර, ඇගේ සොහොයුරාගේ එනම් පොඩි එකාගේ මාමාගේ නිවසෙහි නතර කර ඒ අසල පාසලකට ඇතුලත් කරනලදී.

දැං මේ පොඩි එකාට දස වද දෙනේනේ පොඩි එකාගේ පුංචි මාමාය. උදේ පාන්දර හතරට කූද්දයි නැත්තං සීතල වතුර පාරක් කන්න වෙනවා ශුවර්ය. පොතේ පාඩම් කියවන්න කියයි. වැරදුනු විට "චටාස්" ගා අතුල් පහරක් දෙයි. පිටපත් ලියන්න කියයි. වචනයක් වරැද්දුවගොත් නැවත මුල සිටම ලියවයි..

පොඩි එකාට අමාරුම වැඩේ චක්කරේ පාඩං කිරිල්ලය, එකක් වැරදුනහොත් එලව එලවා පහර දෙයි, හීන් තිරිවානා ගල් කැටයක් කංපෙත්තට තබා ඇඟිලිවලන් තදකරයි. නැගෙන කඳුළු බිඳු වලට නිදහසේ වැටෙන්නට ඉඩහැර පොඩි එකා නැවතත් පාඩං කරයි..

මොන දන්ඩ නීති තිබුනත් පුංචි මාමාත් එක්ක ගමන් බිමන් යන්න පොඩිඑකා බොහෝ ලැදිය. මන්ද ටවුමේ හොටයකට ගොඩවැදී බනිස් ගෙඩියක්, වියන්රෝල් එකක් කා ප්ලෙන්ටියක් ලැබෙන බැවිනි. ප්ලේන්ටිය බී අවසානයේ පුංචි මාමා සිගැරැට්ටුවක් ගෙන්වාගෙන එය දල්වා ගනී. පුංචි මාමා ගෙදරදී බොන්නේ "සැප සුරුට්ටුය" ඒවාද ජනේල් පඩිය උඩ තබා හීනියට ලියා කඩදාසි කොලයක ඔතාගෙනය. පුංච් මාමාගේ සුරුට්ටු ලියවිල්ල නිසා ජනේල පඩියද දුන්නක හැඩයට කැපී ගොස් තිබිණි.

පුංචි මාමාට දරුවන් සිටියේ නැත. එබැවින් ඔහු පොඩි එකාට දරුවෙකුට මෙන් සැලකුවේය. ස්ථිර රැකියාවක් නොකල ඔහු, දින දෙකකට හෝ තුනකට වරක් කොහෝ හෝ කුලී වැඩකට යයි, ඒ මුදල් වියදම් වී අවසන් වූ පසු නැවතත් වැඩට යයි. රකින්ට දරුවන් නොසිටී ඔහු රැකි ධනයක්ද නැත.

පුංචි මාමා නිදාගත්තේ සාලයේ තබා ඇති ලනු ඇඳකය, එතැන බිම පැදුරක පොඩි එකාද නිදාගනී, සමහර දිනවල රාත්‍රියේ මාමා, පොඩි එකාට අතීත කතන්දර කියාදෙයි, පුංච් මාමාගේ එක් පුරුද්දක් පොඩි එකාගේ සිත් තදින් පැහැර ගත්තේය. එනම් රාත්‍රියේ දී නොනවත්වා එක දිගට පඩ යැවීමයි. මේවා ගනන්කිරීම පොඩිඑකාගේ විනෝදාශයක් විය.

මුලින් මුලින් දස වද දුන්නත් පොඩිඑකා පාසැල් වැඩවල යම් වර්ධනීය මට්ටමකට ආ පසු පුංචි මාමා ගේ දඬුවම් ලිහිල් විය. වසර තුනකින් පසු පොඩිඑකා නැවතත් ගෙදර ආවේය. ඒ එම පාසලේ සිටී දීප්තිමත්ම සිසුවෙකු ලෙසිනි. එහි සියළු ගෞරව පුංචි මාමාට හිමිවිය යුතුය.

පොඩි එකා උසස් පෙළ ලියා ගොඩ දාගත් දවසේ ස්වීට් බනිස් ගෙඩියක් සහ කෙහෙල් ඇවරියක් පත්තර පිටුවක ඔතාගෙන පුංචි මාමා ආවේය. එය පොඩිඑකා ලැබූ වටිනාම ත්‍යාගයක් විය. ඒ පත්තර පිටුව හා බනිස් කවරය තාමත් පොඩි එකා සතුව ඇත. 

පුංචි මාමා..

* * * *
ගිය මාසේ අන්තිම සතියේ පොඩි එකාට අම්මා කථාකළාය.

"පුතේ පුංචි මාමා නැතිවෙලා..."

----------------------------
ප/ලි..
සමාවෙන්න, බොහෝ දේ ලියන්නට සිතා සිටියත් කිසිවක් ලියාගත නොහැක.. හිතේ දුක තුනීකරගන්න ලියමනක්, කථාවක් නොවේ...



Wednesday, July 23, 2014

මෙන්න කදිම අවස්ථාවක්.....

මිනිහෙක් මෙලොවට ජනිත වෙනකොටම දෙමව්පියෝ, නෑදෑයෝ, අහල පහල උදවිය, එකතුවෙලා මෑන්ට හොඳ නමක් දානවා.. නිකං කාලේ හැටියට නැගලයන නමක්.. හැබැයි මේ නම දාන එකත් ලේසි පාසු කාරියක් නෙවෙයි.. මුලින්ම උපන් වෙලාවට අනුව හිරු, සඳු, තරු පවතින තුරු.. බලලා.. දොලොස් මහා රාශියන් ගෙන් මොකාද ගිලගෙන ඉන්නෙ කියල බලල. ඕං අකුරු අටක් දහයක් පටලෝල. ඝණ එහෙම පිහිටෝල.. අර්ථාන්විත නමක් තියනවා.. අපි නිකං උදාහරණෙකට ගනිමු චාමර කියල.. ආයේ ඉතිං දෙකක් නෑ, මද පවන වගේ පාවෙලා යන සුපිරිම නම... දැං නං ඉතිං අහුබුදු, බුදු වන්න කියලා ඒ කරදරේත් නෑ...

තව දෙයක් ඔය ගෙදර දොරේ ඇති කරන සුරතල් සතුන්ට එක එක ආකරයේ නං විතරක් නෙවෙයි වාසගම් එහෙමත් තියනවා.. මෙව්වට ඔය ඝණ පිහිටවිලි එහෙම බලන් නෑ.. මූණ බැලුවා ලස්සනයි කියල හිතෙන නමක් දැම්මා.. ඔය ගෑන් ළමයි බොහෝම ආදරෙන් හදා ගන්න පූස් දන්ඩන්ට කිටී, මිකී, රයිනී, බ්ලැකී,... යනදී වශයෙන් නං දානකොට බල්ලන්ට එහෙම ලැසී, රොබින්, ටොමී, වයිටා, ස්නොවි, පැටී, පත්තරයා .. වගේ නං ගං බාවිතා කරනවා.. හැබැයි විදානේගේ නං ගෙදරට බැහැවැටිලා හිටපු බල්ලටයි, බැල්ලිටයි දාපු නං තමයි "විල්බට්" සහ "කල්පනී" කියන්නේ..

පොඩි පොඩි සංයෝග මූලද්‍රව්‍ය හෙම හොයාගත්තම එක එක විද්‍යාත්මක ගොයියලා ඒව්වට පිළිගත්ත නමක් හදල දෙනවා.. ඒකට කියන්නේ IUPAC (International Union of Pure and Applied Chemistry) නාමකරණය කියලා. මේ නාමකරණය ගැන උ/පෙ කරන කාලේ දත කට පූට්ටු කොරන් පාඩං කරත් අද වෙනකොට මතක තියෙන්නේ C2H5-OH වලට Ethanol කියනව විතරයි. (මේ නාමකරනය ගැන දන්න කට්ටිය නොදන්න කට්ටියට පැහැදිලි කොරොත් වටී)..

ගමක තියෙන විශේෂත්වයක් ගැන හිතලා ඒ ගමට නමක් දානවා.. ඔය කොළ පිරිනු අඹ ගහක් තිබුණු ප්‍රෙද්ශයකට "කොළඹ" කියල නම හැදුනා.. ගම් පහක් එකතු වෙලා ප්‍රෙද්ශකට "ගම්පහ" කියල හැදුනා.. ඒ විතරැක්යැ පස් දුන් කෝරලේට නම දුන්න හැටි  අපේ විපක්ෂ නායක තුමා අපූරුවට විග්‍රහ කොරල තිබුනේ..



හරි දැං ඔය කියන විදියට ගොඩක් දේවල් වලට නමක් තියනකොට මොනවහරි පොඩි පොඩි තියරි ටිකක් දාල බලනවා..

හැබැයි... බ්ලොග් එකකට නමක් තියන කොටත් එහෙමද?
 
මට එහෙම හිතුනේ පහුගිය සති දෙක තුනේ අපේ ගෙදර ඇතිවෙච්ච කසු කුසු කීපයක් හින්දා..

මොනවද අර පුතා අර නමක් දාලා තියෙන්නේ මළදානේ කියලා, ඒක මොන මුස්පේන්තු නමක් ද දවස තිස්සෙම ඕක දාගත්ත ගමන්මයි, ගෙදරටත් හොඳනෑ... ඔය ලියන එකක් බලන්න පුළුවන් නමක් දාගෙන ලියන්න කියන්න..

ඔය මගේ නැන්දම්මා මගේ බිරින්දැත් එක්ක කියපු කථාවක්..

පුතා මොනවද මේ කරන වැඩ, ඔයා දැං පොඩි එකෙක් නෙවෙයිනේ.. මොකක්ද අර මළදානයක් ද මොකක්ද කියලා ඉන්ටනෙට් එකේ මගුලක් කරන්නේ.. ඕක වෙනස් කරගන්න, ඔය වචනේ කියවන කියවන වාරයක් ගානේ කියවන අයටත් හොඳනෑ. ඔයාටත් හොදනෑ..

ඒ අපේ අම්මා, නැන්දම්මයි බිරින්දැයි කියපු දේවල් අහල මේක කියවලා දීපු සැටිපිකට් එක..

ඔයාට පිස්සුද අනේ.. මොකක්ද මේ දාල තියන නම.. දාන්න වෙන නමක් තිබුනෙම නැද්ද?.. අඩුම ගානේ තැනකට ගිහිං කියන්න පුළුවන් නමක්ද? අපේ ඔෆිස් එකේ අය දැගත්තොත් මොනව නොහිතයිද ඔයාගැන.. ඕකේ නම වෙනස් කරගන්වකෝ.. ඕක මහ මූසල නමක්...

ඔය තමයි බිරින්දෑගෙන් නිතර නිතර ලැබෙන වෝර්නිං..

දැං ඉතිං මේ උන්දෑ දවස ගානේ ගිහිං එහෙ මෙහ පෙරලල බලනවා මේක වෙනස් කරන්න තැනක් තියෙයි ද කියලා.. පුහ් මං කියාදෙයි ඒවා...

මේ මගේ ඉවසීමනං දැං රතු කට්ටත් පැනලයි තියෙන්නේ.. මේ මළදානේවෙනස් කරගන්නවද.. නැත්නං මේ මගුල උස්සල පොලොවේ ගහන්නද?

ඒ තමයි කියල කියල බැරිම තැන බිරින්දෑ අවිත් බොහෝම ආදරෙන් මං අමතපු විදිය..

දැං මට තියන පස්නේ මළදානේකියන්නේ එච්චරම නරක භයානක, මූසල නමක්ද කියන එකයි.... මේ නම වෙනස් කරන්න මගේ හිතේ වාටියකවත් අදහසක් නම් නෑ ඕං.... ඒත් මාත් ඉතිං බිරිඳට ගෞරව කරනවනේ (අර පත්තරයා වගේ).  ඇත්තටම මේ නම වෙනස් කලොත්.. දාන්න වෙන නමක් තියෙද? මං මේ කෘතහස්ථ බ්ලොග් රචක/රචිකා, පාඨක/පාඨිකා සැමගෙන් මේ අහන්නේ... 

කොටින්ම කිව්වොත් නැද්ද වෙන හොඳ නමක්..... 



Wednesday, July 16, 2014

සුනේත්‍රාගේ කථාව....

"හෙලෝ.."
"හෙලෝ.. මේ.... සරත් ඉන්නවද?"
"සරත්? .. මේ වැරදි නම්බරයක්.. ඔහේ කවුද? කාටෙයි ඔහෙට කථාකරන්න ඕනේ?.."
"මිස්, මම පියල් කියල කෙනෙක් කථාකරන්නේ, මට කථාකරන්න ඕන පොලේ සෙල්ලං බඩු විකුණන සරත් අයියට"
"මේ .. ඔහේට වැරදිලා  මේහේ ඇති සරතෙක් නෑ.. හැබෑට කවුද ඔහේට මගේ නම්බරේ දුන්නේ?"
"සරත් අයිය තමයි මේ නම්බර් එක දුන්නේ, ගිය මාසේ මගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා සතියකින් දෙනවා කියලා මාසයක් ගියා සල්ලි හම්බුන්නැති හින්ද තමයි දුන්න නම්බරේට කථා කළේ. අනේ මිස් තරහ නැතුව සරත් අයියට ෆෝන් එක දෙනවද?"
"මේ ඔහේ කොහේ හරිය යන හොරෙකුට අහුවෙලා. මේක වැරදි නම්බරයක්. මෙහේ ඇති සරතෙක් නෑ.. අපහු මේකට කොල්කරන්න එපා හරිය"
මේ මොන කරදයක්දැයි සිතමින් සුනේත්‍රා දුරකථනය විසන්ධි කළාය.
සුනේත්‍රා තිස් තුන් හැවිරිදි වැන්දඔුවකි. සර්පයකු දෂ්ඨ කිරීම නිසා ඇගේ සැමියා ඇයවත් ඇගේ දරු තිදෙනාත් අතැර මෙලොව හැර ගියේ මීට තුන් වසකට පමණ පෙරය. සුනේත්‍රාට දොලොස් වියැති දස වියැති සහ හත් වියැති පුතුන්ම තිදෙනෙකි වැඩිමහල් දරුවා මීට වසර පහකට පමණ පෙර පැවිදිවිය. ඒ අල්ලපු ගමේ පංසලේය. අනෙක් පුතුන් දෙදෙනා ගමේ පාසලේම අකුරු කරයි.
සුනේත්‍රාගේ ආදායම් මාර්ගය වූයේ තේ දළුය. තම සැමියාට අයත්ව තිබූ අක්කර දෙකක පමණ වපසැරිය ඇති තේ වත්තෙහි ආදායම වැඩි වියහියදම් නැති සුනේත්‍රාට සහ දරුවන්ට ජීවත් වීමට හොඳටම ප්‍රමාණවත් විය. තම සැමියාගේ මහගෙදර අසලින් ඉදිකර තිබූ ඔවුන්ගේ නිවහනහි මේවනවිට හතරෙන් තුනක පමණ වැඩ කොටසක් නිමකර තිබිණි.
සුනේත්‍රා කුඩාකල පටන්ම ආගම දහමට බොහෝ ලැදිය. සැන්දෑව් බුදුන් වඳින විට ඇය තුන් සූත්‍රයම ශබ්ධ නගා කියන්නීය. ඇයට කුමක් හෝ සිත් තැවුලක් ආවිට පංසලට ගොස් නිවී සැනහිල්ලේ ආගමික වතාවත් සිදුකර සිත සංසිඳුවා ගැනීම ඇගේ සිරිත විය.
තම දෙමව්පියනුත්, සැමියාගේ දෙමව්පියනුත් සොයුර සොයුරියනුත් හැර තම දුරකථන අංකය වෙනත් අයකුට දුන්නාදැයි සුනේත්‍රා කල්පනා කළාය. මීට සති තුනකට පමණ කලියෙන් සුමානෙට රුපියල් සීය ගානේ ගෙවන්න සී.එෆ්.එල්. බල්බ් විකුණන්නට ආ මිනිසා සිහිවිය. තමන් ඔහුගෙන් බල්බ් තුනක් ලබාගත් බවත් එවිට තම දුරකථන අංකය පොතෙහි ලියා ගත් බවත් ඇයට සිහිවිය. මේ කථා කළේ ඔහු වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. නමුත් දුරකථනයෙන් කථාකල පුද්ගලයායේ තිබූ සංවරශීලී කථාබහ මේ බලුප්කාරයාගේ කථා බහතුල නොමැතිබව ද ඇයට සිහිවිය. මොනව උනත් ආයේ කථාකලොත් හරියටම මේ කථාකරන්නේ කවුදැයි විමසා දැනගන්ට ඇය ඉටා ගත්තාය.
දින දෙකක් පමන ගෙවින. ආගන්තුග අංකයෙන් නැවත ඇමතුමක් නොආවේය. එදින දහවල් බලුප් කාරයා පැමිණ වාරික මුදල් එකතු කරන් ගිය අතර ඔහුගේද වෙනදාට වඩා වෙනසක් දක්නට නොවීය. මේ කරණා හේතු කරගෙන මුලින් ලැබුණු අමතුම ඇත්තටම වැරදීමක් වෙන්න ඇතැයි ඇය සිතුවාය. මෙසේ නිසොල්මනේ තවත් දවසක් පමණ ගතවුනි.
පසුදින සවස නැවතත් ආගන්තුගයාගේ ඇමතුම ලැබිණි.
"හෙලෝ"
"මම මේ පියල් කථාකරන්නේ, සමාවෙන්න මිස් කරදරයක් උනානම්, මම මේ දවස් ටිකේම හෙව්වා සරත් ගේ නම්බර් එක මේකම තමයි මිස්, මට වැරදීමක් වෙලා නෑ තරහ නැතුව සරත්ට ෆොන් එක දෙනවද?"

"මේ මං ඔහේට කිව්වා නේද මේක වැරදි නොම්බරයක් කියලා, ඔහේ ආයේ ඇයි මට කථා කරන්නේ. "

"මිස් මට කථා කරන්න ඕන සරත්ට"

"මේ.. ඇත්තටම ඔහේ කොහේද යන හොරෙකුට අහුවෙලා, ඒ මිනිහා ඔහේගෙන් සල්ලිත් අරගෙන බොරු නොම්බරේකුත් දීලා. මේක මගේ නම්බර් එක. මෙහේ සරත් කියල කෙනෙක් නෑ.. ...................."

ඇය කරුණු පැහැදිලි කරන්නට විය. ඇය කථාකර අවසන් වනතෙක් සාවධානව අසා සිටී පියල්
"එහෙනං මිස් මං ආයෙත් හොයල බලන්ම්" යයි කියා දුරකථනය විසන්ධී කලේය.

තමාගේ පැහැදිලි කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලැබුණු බව ඇයට දැනිනි. ආයෙත් මේ මිනිසා තමාට කථා නොකරනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් ඒ එදින රාත්‍රිය වනතෙක් පමණී. රාත්‍රි අටට පමණ නැවතත් ඔහුගෙන් ඇමතුමකි.

"මෙච්චර කියලත් මේ මිනිහා අහන්නැතිහැටි. බනින්න ඕන ආයේ කථා නොකරන්නම" යැයි සිතාගත් ඇය දුරකථනය එසවුවාය.

"හෙලෝ.."

"ආ මිස්, මම පියල් කථාකරන්නේ.. මට අද හවස සරත්ව හම්බඋනා, මිනිහගේ නම්බර් එක මගේ ෆෝන් එකට දානකොට අංකයක් මාරු වෙලා ඒකයි වැරදිලා මිස්ට කෝල් කළේ.. අනේ සමාවෙන්න ඕන මිස්ට කරදර කළාට"


" දැං එතකොට අර සල්ලි හම්බුනැයි?"

" ඇත්තටම මිස්ට කියන්න මාර වැඩේනේ උනේ .. ......................... ............................... ................. .................................. ඉතිං මිස් ඌ මට අන්තිමට සල්ලිටික ඔක්කොම දුන්නා"

සිදුවීම පිළිබද විනාඩි දහයක පමණ විස්තර කිරීම අවශ්‍ය තැන්වලදී තබනු ලැබූ හූ මිටි තැබීම් හැර වෙනත් බාධාකිරීමකින් තොරව සුනේත්‍රා සවන් දුන්නාය. කෙසේ වෙතත් දුරකථන ඇමතුම අවසානයේ සුනේත්‍රාගේ සිතෙහි පියල් පිළිබද යම් මිත්‍රශ්‍රීලී හැගීමක් ඇතිව තිබිණ.

පසුදින රාත්‍රියෙහිද පියල්ගේ මිත්‍රශ්‍රීලි ඇමතුම ලැබිණ. පෙර දිනට වඩා දීර්ඝ වේලාවක් ඔවුන් දොඩමළු වූ අතර සුනේත්‍රාගේ ජීවිතයේ බොහෝ තැන් ඔහු හා පවසන්ට තරම් ඔවුන්ගේ මිතුදම දියුණු වී තිබිණ.

පියල් දැන් සෑම දිනකම පාහේ ඇයට ඇමතුම් ලබාදෙයි. ඇයද ඔහුගේ ඇමතුම එනතෙක් මග බලා හිදින්නීය. නමුත් මේ වන විට මුලින් දින වල තිබූ හිතවත් කමට එහා ගිය ආදරණීය හැගීමක් ඇයටද හොරෙන් ඇගේ හිතේ දළුලා තිබිණි. ඇගේ මුළු ජීවිත කථාවම දැන් කිසිදිනක නොදුටු ඔහු ඉදිරියේ දිගහැර තිබිණ.

"සුනේත්‍රා "

"මොකෝ "

"මං එන්නද?"

"කොහේද?"

"ඔයාගේ තුරුල්ලට"

"පිස්සුද"

"ඔව් හොදටම පිස්සු වැටිලා"

"ඉක්මනට ඕක හොදකර ගන්න වෙයි"

"හොඳකර ගන්න තමයි හදන්නේ"

ඉනික්බිති දෙදෙනාගේම ඇසුනේ සිහින් කෙඳිරිලි හඬවල් පමණී. කෙසේ නමුත් විනාඩි කිහිපයක දුරකථන ඇමතුම අවසානයේ වසර ගනණාවකින් පිරිමි පහසක් නොලැබූ ඇගේ සිරුර ඔහුගේ වදන් වලින් මුසපත් වී තිබිණ. දෙපා වෙව්ලා පනනැති වී යන්නාක් මෙන් ඇයට දැනුණි. ඔහුගෙන් ලැබුණු දීර්ඝ හාදුවකින් පසු දුරකථනය විසන්ධි කල ඇය තෘප්තිමත් සිතුවෙල්ලෙන් නිදන්නට විය..

නමුත් පසු දින ඇයට දැඩි කලකිරීමක් දැනණි. තමා තමාට පණමෙන් ආදරය කල මියගිය සැමියාට ද්‍රෝහි වූවා නොවේ දැයි  සිතුණි. අනේ දෙයියනේ කවදාවත් දැකපු නැති මිනිහෙක් එක්ක කියපු දෙවල් ඇයට ඇය ගැනම ලැජ්ජා සිතුණි. ඇය තම මියගිය සැමියාගේ ඡායා රූපය දෙස මදක් බලා සිටියාය. අනේ මං කවදාවත් ඔයාට ද්‍රෝහිවෙන් නෑ ඇත්තමයි ඇය අදිටන් කර ගත්තාය.

හැන්දෑවට කොල් කරාම කියනව ආයෙත් මං එක්ක කථා කරන්න එපැයි කියලා. එච්චරයි අනික මං ඒ මනුස්සයව දැකලත් නෑ අඳුනන්නෙත් නෑ කෝල්කරන්න එපැයි කිව්වම හරිනේ. ඇත්තටම මේ අර බලුප් කාරයද දන්නෑ අයියෝ ඒ මිනිහනං ලැජ්ජාවේ බෑ, මෙකී නොකී දහසකුත් සිතුවිලි අතර ඇය හිත හදාගන්නට උත්සාහ කළාය.

එදින රාත්‍රියේද සුපුරුදු ඇමතුම ලැබිණි මුල් දෙවතාවේම ඇමතුම නොගෙන සිටියත් තුන්වන වතාවේ ඇය ඇමතුම ලබාගත්තාය.

"මේ හලෝ ඔහේ ආයේ මට කථාකරන්න එපා හරිය"

"ඇයි රත්තරං මේ ?"

"ඇයි කියන්නේ, මං දන්නෑ ඔහේ කවුද කියලවත්. අනික පව් වැඩ කරන්න මම කැමති නෑ, ඔහේ දන්නෝනේ මම ලමයි තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් කියලා, මට ඇත්ත කියනව ඔහේ අර බලුප් කාරයා නේද?"

"අනේ නෑ රත්තරං මම ඔය කියන බලුප්කාරයා දන්නෙවත් නෑ. හරි අපි දවසක හම්බෙමුකෝ එතකොට ඔයාට බලාගන්න පුළුවන් මං කවුද කියලා. ඔයා හිතන විදියට පවු කියන්නේ .... ........... ......... ... .. ... .. ...................................."

ඔහුගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම අවසානයේ ඇගේ සිත නැවතත් අශාවේ හස්තයන් විසින් ඩැහැගෙන තිබිණ.  නොබෝ වේලාවකින් ඇයගේ සිහින් කෙඳිරිලි හඬ ඇසෙන්නට විය. කෙසේ නමුත් ඇමතුම අවසානයේ  හැද සිටි ඇදුම් සොයන්නටද ඇයට වෙහෙසෙන්නට සිදුවූවාය.

ඔහු කථාකල පරිදි ඔවන් මුණගැහෙන්නට යාමට ඇය අදිමදි කළාය නමුත් ඔහුගේ වදන් හමුවේ ඇයගේ අදිමදි කිරීම සැනින් අවලංගු විය. දින තුනකට පමන පසු ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නට තීරණය කලේය. නමුත් ඇයට මොකක්දෝ ලොකු චකිතයක් දැනුණි. නෑ මට දැනගන්න ඕන මේ මනුස්සය කව්ද කියලා, නොගියොත් කොහොමද මේ කථාකරන්නේ කවුද කියල දැනගන්නේ. අනික මං ගිහිං කථාකරල එනව විතරයිනේ. ඇය යාමට ගත් තීරණය සාධාරණය කරන්නට හේතු සොයන්නට වූවාය. නමුත් ඇය එදින තම මියගිය සැමියාගේ ඡායාරූපය මගැර ගියාය.

උදෙන්ම දරුවන් දෙදෙනා මහගෙදරට යැවූ සුනේත්‍රා නගරය බලා ඇදෙන බසයකට ගොඩවිය බසයේ ගමන් කල පැය එක හමාරක කාලය තුල ඇගේ සිතුවිලි විසින් ඇයට වද දෙන්නටවිය. අපරාදේ මං මේ ගමන ආවේ, නෑවිත් හිටියනං හරි මේ මිනිහා මොකාද කියලවත් දන්නෑ. අනික දරුවො තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් ? අයියෝ මං මේ මොනවද කරන්නේ බස්එකෙන් බැහැලා අපහු ගෙදර යනවා, නෑ නෑ ආපු එකේ මං මිනිහව හම්බුවෙලාම යනවා.

බසයෙන් බැසගත් ඇය ඔහුට දුරකථන ඇමතුමක් ගත්තාය. කියූ මග විස්තර වලට අනුව විනාඩි කිහිපයක් යන්නට පෙර ඔහුව සොයාගත හැකිවිය. එතැන සිටියේ ඇය සිතූ බලුප් කාරයා නොවේ. ප්‍රසන්න පෙනුුමක් ඇති වයස තිහක් පමණ වන බොහෝ පිළිවලට හැද පැළඳගත් තරුණයෙක් එහි විය.

"ඉතිං...?"

අසන්නට බොහෝ දේ තිබුණත් අය ප්‍රශ්ණාර්ථ හැඟීමකින් කිසිත් නොකියා ඔහු දෙස බලා සිටියාය. නිහඬ බව බිඳිමින් ඔහු නැවතත් කථාකරන්වට විය.

"මොකද බයවෙලා වගේ මම තමයි පියල්?  මේ මෙතැන කථාකරන්න බෑ අපි කොහාට හරි යං"

"කොහෙද යන්න‍ෙ"

"එන්නකෝ..."

ත්‍රී රෝද රථයකට කථාකල ඔහු ඇයගේ අතින් ඇදගෙනම එයට ගොඩවිය. කුමක්දෝ තැනකට යමු යැයි ඔහු රියදුරුට කීවද ඇයට ඒ කොතැනදැයි නොවැහැටුනි. අනේ මේ කවුද මං මේ කොහේද එක්කං යන්නේ ඇගේ පපුව වේගෙන් ගැහෙන්නට විය.

"ඔයා බය වෙලාද? බය වෙන්න එපා මං ලඟ ඉන්නවනේ "

විනාඩි තුනක පම ගමනකින් පසු නගරයෙන් මදක් එපිටින් වූ නවාතැන් පොලක ත්‍රී රොද රිය නතර විය. ඉන් බැසගත් ඔහු ඇයවත් අතින් අල්ලාගෙනම කාමරයකට වැදුණි.

ඇයට ඔහු හා දොඩමළුවන්නට අවැසි උවත් ඔහුට එයිට එහා ගිය රාජකාරියක් විය. මස් කුට්ටියක් හමුවූ සුනඛයෙකු සේ ඔහු ඇයව රසවිඳින්නට විය. ඇයට භීතිය ද ඔහුට ප්‍රීත්‍රිය ද රැඳුනු වෙහෙසකර පැය බාගයකින් පසු ජයග්‍රාහී ලීලාවෙන් ඔහු හතිඅරින්නට විය. නිරුවතින්ම නාන කාමරය වෙත දිව ගිය ඈ මුව තුල රැදි සියල්ලෙන් කොටසක් හෝ කුසතුලට යා නොදී සෝදා හරින්ට උත්සාහ කළාය..

තවත් මිනිත්තු විස්සක් පමණ වනවිට ඔවුන් නැවතත් නගරයෙහි විය.

"අර තියෙන්නේ ඔයාලගේ ගමට යන බස් එක, කීයට යයිද දන්නෑ."

"දන්නෑ.. මං යනවා"

බසයට ගොඩවූ ඈ කවුළුවෙන් ඔහු දෙස බැළුවාය. මද සිනහවක් පෑ ඔහු ආපසු හැරී යන්නට ගියේය. ඇයට මහත් වේදනාවක් දැණින. තමන් ආවේ කොතෙක් දේ ඔහු හා කථා කරන්නද, නමුත් අන්තිමට සිදුවූදේ මතක් කරන්නටවත් ඇයට අප්‍රිය විය. මේ කොහේද යන මිනිහෙක් හින්ද මං මගේ ජීවිතේ විනාශ කරගත්තා. අනේ දෙයියනේ මං මගේ රත්තරං මනුස්සයට, දරු තුන්දෙනාට අම්මල තාත්තලට ද්‍රෝහි උනා. මේ මොන අපරාධයක්ද මං කරගත්තේ.. ඇයට නොදැනුවත්වම දෑසින් කඳුලින් තෙත් විය. බස් රථයේ ඉදිරිපස අසුනට හිස තියාගත් ඇය. කිසිවෙකුටත් නෑසෙන්නට හඬන්නට විය.

බසයෙන් බැසගත් ඇය නිවසට ආවේ කෙසේදැයි ඇයට නිනව්වක් නැත. වෙනදා පසුකර එන සපුරුදු දසුන් අද තිබුණාදැයි මතක නැත. නිවසට පැමිණි ඇය මුලින්ම තම ජංගම දුරකථනයේ වූ සිම්පත ලිපට දමා පුළුස්සා දැමීය ඉනික්බිති දොර වසා දැමූ ඇය තම මියගිය සැමියාගේ ඡායාරූපය පපුවට තුරුළුකරගෙන මහ හයියෙන් ඉකිගසා වැලපෙන්නට විය.

පසුදා උදයෙම ඇය පංසලට ගියාය. තමාට දුකක් කරදරයක් වූ හැම වේලාවකම සිතට සහනය ගෙනදුනේ මේ පංසලේ බෝ මළුවයි. තමන් උගෙන ඇති සියළු ගාථාවන් කියමින් වන්දනා මාන කර තමාගේ හිතට සහනයක් දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. පැය කිහිපයක් පංසලේ ගතකල ඇය තම සිතෙහි වූ වේදනාව බොහෝදුරට සමනය කරගෙන නැවතත් නිවසට පැමිණියාය. සැන්දෑ ජාමයෙහි නිවසෙහි බුදුන් වැඳි ඇයට මහත් සැනසිල්ලක් දැනින. ඔය වගේ මෝඩකං නං ආයේ කවදාවත් කරන්නෑ, ඇය දැඩිව සිතාගත්තාය,

තම සිතුවිලිත් සමග මහත් සටනක් කල ඇය ජයග්‍රාහී ලීලාවෙන් තම පුතුන් දෙදෙනාද තුරුලට ගෙන නිදන්නට විය.

පසු දිනට පහන් විය දරු දෙදෙනා පාසල් යැවූ ඇය තේ දළු නෙලීමට පිටත් වන්නට සූදානම් විය. සැනෙකින් මෝටර් බයිසිකලයක් මිදුලෙහි නතර කරනවා ඇසුණි. නිවසෙහි ඉදරිපසට දිවගිය ඇයට දැකගන්නට හැකිවූයේ වාරික මුදල් එකතු කිරීමට බලුප් කාරයා පැමිණ ඇති බවයි.

"තව වාරික කීයෙයි මම ගෙවන්න ඕන"

මුදල් දෙන ගමන්ම ඇය ඇසීය.

"අද ගෙව්වට පස්සේ තව වාරික දෙකයි"

මුදල් ගෙවූ රිසිට් පත ඇය අත තබන ගමන්ම ඔහු පවසුවේය. රිසිට් පතද රැගෙන ඇය ආපසු හැරුණා පමණී..

"මේ... ඒක නෙවෙයි, ඔයා පෙරේදා ටවුන් එකේ හිටියා නේද....? "

Tuesday, July 1, 2014

සීලන්.....

උදේ පාන්දර ඇගට දැනුනුු කෙඩෙත්තු ගතිය නිසා මා උදෑසන දේශන වලට සහභාගී නොවී නේවාසිකාගාරයෙහිම නතර වීමි. පැනඩෝල් පෙති දෙකක් ගිල දැමූ මා "ටිකක් නිදාගත්තම මේක ඇරිල යයි" යයි මටම කියාගනිමින් ඇඳට වැටී නිදන්නට වීමි.

නමුත් දහවල් වන විට මාගේ ඇගපත වේදනාව උග්‍ර වී වෙව්ලන්නට විය. කට තිත්ත ගතියකින් යුක්ත විය. උණ ගතිය එන්න එන්නම වැඩිවිය.

"අඩෝ ඉස්සා මොක්කද මේ"

"මට ටිකක් උණ වගේ බං"

"ඕ... ඔන්දටම ෆීවර්, ඔන්දටම ෆීවර්. ඔහොම හිටියොත් උඹ මැරෙයි බන්. යං යං බේත් ටිකක් ගේන්න යං"

"නෑ බං පැනඩෝල් දෙකක් බිව්වම අඩු වෙලා යයි"

"පැනඩෝල්... පුන්ඩෙ පැනඩෝල්... යමං උත්තෝ බේත් ටිකක් ගන්න"

"බෑ බං.."

"යමං යමං.. ආ.. ආ.. ලෑස්ති වෙයං.. ආ.. මේක ඇඳගනින්.."

මාගේ ලොකර් එක ඇර කලිසමක් එලියට ගත් සීලන් බලෙන්ම වාගේ එය ඇන්දවිය. අපත් සමග එකම දිනයක විශ්වවිද්‍යාලයට පැමිනි මොහු බැජ් එකේ කා අතරත් හොද හිත දිනාගෙන සිටී අයෙකි. ඔහුගේ ගම කිලිනොච්චිය වූ අතර ඔහු ප්‍රකාෂ කර තිබු අයුරින් ඔහුට බාල සොහොයුරියන් දෙදෙනෙකු විය.

විශ්වවිද්‍යාලය අසල පුද්ගලික බෙහෙත් ශාලාවකට මා රැගෙන ආ ඔහු සතියකට සරිලන බෙහෙත් ද මාව‍ෙත රැගෙන දුනි. පෙරලා නේවාසිකාගාරය වෙත පැමිනි පසු "මච්චං පොඩ්ඩක් හිටපාං.." කියා පිටත්ව ගියේය..

විශ්වවිද්‍යාලට පැමිණෙන විට එකඳු සිංහල වචනයක් වත් නොදැන සිටී මොහු දැං වචනයයෙන් වචනය අමුණමින් ලෙස සිංහල බස හසුරුවයි.. ඔහුගේ සිංහල හැසිරවීම සැමටම ප්‍රිය සිනහ උපදවන්නක්ම විය. නිතර පිරිසිදුව පිලිවෙලට සිටින ඔහු අනෙකුත් දමිල මිතුරන් හා සසඳන විට සැබැවින්ම ලෙංගතු සහෘදයකු විය.

හංදියේ කඩයට ගොස් චයිනීස් පාර්සලයක් ගෙන ආ ඔහු මරණ තර්ජන කරමින් එම බත් (රයිස්) පාර්සලයම මා හට ගිල්ලවිය. අනතුරුව බෙහෙත් ටික තෝරා දුන් ඔහු මවිසින් බෙහතේ පෙති සියල්ල බොන තෙක් බලා සිටී ඔහු පිටට තට්ටුවක් දමා "දැං සනීප වෙයි මච්චාං" කියා පිටත් විය.

එකල පැවති යුදමය වාතාවරණය නිසා මොහු නිවස බලා ගියේ බොහෝ කලාතුරකිනි. එසේ නිවසට ගොස් පැමිණෙන ඔහුසතුව මුළු නේවාසිකාගාරයටම බෙදා දීමට තරම් රස කැවිලි විය. ඔහු මත්පැන් පානය කරන දිනයන් වල අපද අනිවාර්යයෙන්ම පානය කල යුතුය. නැත්නම් අල්ලා බලෙන්ම කටට වත් කරයි. නොබොන අයට නොපොවයි ඒ ඔහුගේ හැටිය. කිසිවෙකුත් ඔහු හා උරණ වූයේ නැත. සැවොම ඔහුට ලෙන්ගතු විය.

මෙසේ වසර දෙකක් පමණ ගත විය. 

ක්‍රම ක්‍රමයෙන් සීලන් තුල තිබූ සැහැල්ලු බව අතුරුදන් විය. නිතර නිතර දේශන මගරින ඔහු නේවාසිකාගාරයට වී කල්පනා කරමින්ම කල් ගෙවන්නට විය. අප කොතෙක් ඔහුගෙන් ඒ ගැන විමසීම් කලද නිසි පිළිතුරක් ඔහුගෙන් නොලැබිණ.

"මච්චං මං ලබන මාසේ කැනඩා යනවා අපේ අංකල් කෙනෙක් එහේ ඉන්නවා, එයා මට ජොබ් එකකුත් සෙට් කරා, ටික දවසකින් නංගිල දෙන්නත් එහෙට ගන්නවා"

දිනක් හදිසියේම ඔහු අප හා පැවසිය. අප කොතෙක් ඇවටිලි කලද ඔහුව නතර කර ගැනීමට නොහැකි විය. ඔහු නික්මයාමට පෙර දින රාතියේ නේවාසිකාගාරයේ සැමට මතින් සහ බතින් සංග්‍රහ කල ඔහු "යන්නං මචං..." කියා සියළු දෙනා වැළදගත්තේ කඳුළු පිරි දෙනෙතෙනි. 

සොඳුරු සහෘදයකුගේ සංවේදී නික්මන එය විය. එහෙත් කාලය කෙමෙන් ගතවෙත්ම ඔහු කෙරේ වූ මතකය අප අතරින් ද ගිලිහෙන්නට විය..

---------------------------------------------------------------------------------

මේ දෙදහස් නවය වසරයි හරියටම කියූවොත් මැයි මස අවසන් සතියයි, මේ වකවානුව වනවිට මුළු රටම යුද ජයග්‍රණයේ ප්‍රීත්‍රිය භුක්ති විඳින සමයයි. මේ වනවිට මා රාජ්‍ය නොවන සංවිධානයක මිනින්දෝරුවරයකු ලෙස සේවය කරන ලදී.

හදිසියේම අප ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මාහට කැදවීමක් ලැබුණි. පසුදින ප්‍රධාන කාර්යාලයට වාර්ථාකල මාහට දැන්වූයේ එදින පටන් මා වව්නියාව "මැණික්ෆාම්" කඳවුරු වල හදිසි මැනුම් කටයුතු සදහා අනුයුක්ත කර ඇති බවයි. එදිනම වව්නියාව ශාඛා කාර්යාලට වාර්තාකල මා හට පසුදින සිට "මැණික්ෆාම්" කඳවුරු වල සේවයට යන්නට සිදුවිය.

දැඩි ආරක්ෂක මුරකාවල් හෙබි කඳවුරු භූමිය තුලට කිසිඳු ජංගම දුරකථනයක් කැමරාවක් වැනි උපකරණයක් ගෙනයාම සපුරා තහනම් විය. උදේ පාන්දරම අප සතු මැනුම් උපකරන හැර අන් සියලු විද්‍යුත් උපකරණ, සන්නිවේදන උපකරණ සියල්ල ප්‍රධාන ආරක්ෂක කාර්යාලයට භාර දිය යුතු විය. කඳවුර තුලට යාහැකි වූයේ අප ආයතන මගින් ආරක්ෂක අංශවෙත තොරතුරු සහතිකකර ලබාදී තිබූ  අප කිහිප දෙනෙකුට පමණී. තවද කඳවුර තුල සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් හැර අන් කිසිවකු සමග කථාබස් කිරීමද තහනම් කර තිබුණි.

කඳවුරු තුල වූ අධික රස්නයත් අධික දුහුවිල්ලත් උහුලාගැනීමට නොහැකි තරම් විය එකවරම හමායන සුළග මගින් අවුස්සන දුහුවිල්ලෙන් බේරීමට කිසිම ජගතෙකුට නොහැකි විය. මෙ කඳවුරු තුල මීටර් සියයක් දිගින් හා මීටර් හැටක් පමන පලින් යුතුව සකස් කරන ලද බිම් කට්ටි විය මේවා වටේටම වාහන දෙකකට පහසුවෙන් මාරුවියහැකි මාර්ගයන් විය මෙසේ බිම්කට්ටි රාෂියක් එක් කඳවුරු භූමියක විය.

එක් කඳවුරුබිම් කට්ටියක් තුල පේලි කිහිපයකට සෑදූ කූඩාරම් රාශියක් විය එක් පසක වැසිකිලි පේළියකි, තවත් පසක ජල කරාම පේළියකි තවත් තැනක ආහාර පිසින ස්ථායයි. දවසෙහි කිසිම වේලාවක ඉහත ස්ථාන වලට පවතින මිනිස් පොලිමෙහි අඩුවක් නොවීය. බිම් කට්ටි කිහිපයකට එකක් වන්නට වෛද්‍ය මධ්‍යස්ථායක් විය.

කඳවුරතුල ආහාර පිසීමද ඉතා සරල ආකාරයට සිදුවිය. සහල් සෝදා එයට කපා ගත් එලවලු වර්ග කීපයක් එක් කර අවශ්‍ය පමණට ලුණු ද එක්කර විශාල භාජයනයකට දමා තම්බා ගනී. ඉන්පසු පොලිමේ එන පිලිවලට පිගන්වලට මේ ආහාරය බෙදා දෙයි. තුන් වේලම මෙසේය.

ගස් ගල් පෙරලා සමතලාකර ඇති මේ බිමතුල මැනුම් කටයුතු සිදුකිරීම අපහසු නොවීය. අපහසු වූයේ අප විසින් මැනුම් කටයුතු සඳහා කුඩා සිමින්ති කූඤ්ඤ වලලනු ලැබූ ස්ථානයන් වල පසුදින එන විට කිසිවකු විසින් හෝ මලපහ කර තිබීමයි.  

සුපුරුදු ලෙස දින කිහිපයක් රාජකාරියෙහි නිරතවිය. හදිසියේම කිසිවෙකුත් අප දෙස විමසිල්ලෙන් බලා සිටිනවා දුටිමි. මිනිසුන් නිතර නිතර මැනුම් උපකරණ දෙස බලා සිටීම අරුමයක් නොවූ බැවින් මා ඔහු පිළිබඳ තැකීමක් නොකරම රාජකාරියෙහිම නිරතවිය. 

පසු දිනද ඔහුගේ තියුණු බැල්ම අප වෙතම එල්ලවී තිබෙනු දක්නට ලැබණි. අවුරුදු හැටක පමන පෙනුමැති මොහුගේ මුහුණෙහි සියල්ල විනාශවීගිය හැගීමක් විය. එදිනද ඔහු පිළිබඳ අවධානය ඉවතට විසිකල මා මාගේ කාර්යයහි නිරතවිය. ඉන් පසු ඔහු සැමදිනකම අප යන යන තැන අපහට කරදරයක් අපහසුවක් නොවන ලෙස අප දෙසම බලා සිටින්නට විය.

දින කිහිපයක් ගිය තැන ඔහු යන්තමින් අප හා සිනාසුනි, සතියක පමණ කාලයක් අප පසු පස එමින් සිටී මේ මිනිසාගේ සිනහව මගහරයාමට මා හට සිත් නොදුනි. ඉන් ඔහු වඩාත් ධෛර්යමත් වන්නට ඇත. සවස් වනවිට අප අසලටමවිත් බලා සිටින්නට විය. ඒ වනවිට වෙනදා නැති දිනපොතක් වැනි යමක් ඔහු අත විය.

"සර්... සර්වියර් එකේද?"

පැහැදිලි නිරවුල් සිංහලෙන් ඔහු විමසුවේය.

"ඔව්"

"සර්ල කොහේද?"

"අපි කොළඹ"

"ඒ කාලේ අපිත් කොළඹ තමයි හිටියේ, අසූ තුනේ අපේ කඩේ ගිනිගත්තට පස්සේ අපි කිලිනොච්චියට ආවා, සර් මට ලමයි තුන්දනෙකේ හිටියා තුන් දෙනාටම හොදට ඉගනගන්න පුළුවන්, දූලා දෙන්නා කසාද බන්දලා කැනඩාවට යැව්වා,  ලොකු පුතා සර්වියර් වලට ඉගන ගත්තා......"

මගේ හූ මිටි තැබීමක් වත් බලාපොරොත්තු නොවූ ඔහු නොනවත්වාම කියවාගෙන යයි. ඒ අතර තම අතෙහි වූ දිනපොත දිගැර යමක් සොයයි..

"මේ ඉන්නේ සර් මගේ ලොකු පුතා." 

ඔහු ඡායාරූපයක් ගෙන මා හට පෙන්වයි, නොසැලකිල්ලෙන් ඒ දෙස බැලූ මා නෙත් පිහිදා නැවතත් එය පරීක්ෂාකරන්නට වීමි. මාහට වරදින්නට විදියක් නැත මින් වසර හතකට පමන පෙර අප සමග ඉගැනුම ලැබූ ඔහුමය.

"මේ ඉන්නේ සීලන් නේද?...." මා ඔහුගෙන් එසේ විමසූවේ මෙය සත්‍යදැයි තවත් තහවුරු කරගන්නා අටියෙනි.

"සර් මගේ පුතාව දන්නවද?"

"ඔව් අපිත් එක්ක කැම්පස් එකේ හිටියේ උපාධිය ගත්තේ නැතුව කැනඩා ගියේ..."

"සීලන් කැනඩා ගියේ නෑ සර්. එයාගේ නංගිලා දෙන්නා බලෙන් සංවිධානෙට බඳෝගන්න ගියා. එතකොට සීලනන් නංගිලා දෙන්නව රට යවල කැමැත්තෙන්ම සංවිධානෙට බැඳුනා,  කැම්පස් එකේ අයට බොරු කියල තිබුනේ රට යනවා කියල,.. සර්... ගිය මාසේ වෙනකං සීලන්.. මාස දෙකකට සැරයක් විතර එයාගේ අම්මයි මායි  බලන්න ආවා. කොච්චර යුද්දේ දරණු උනත් එක මග ඇරියේ නෑ. හැබැයි අන්තිමට ආපු වතාවේ එයා කිව්වා ආයෙත් යන්නෙ නෑ කියල.. ඔව් සර් එයා අපි එක්කමයි හිටියේ.. වෙඩි වැදිලා නැගිටගන්නවත් බැරුව. හරියට බේතක්වත් නැතුව. වතුර ඩිංගක්වත් බොන්නෙ නැතුව. පන ඇද ඇද,  සතියක් විතර....

ඔහු තව මොනවාදෝ කීවත් ඒ කිසිවක් මට ඇසුනේ නැත දුටුවේ තම පුතුගේ වියෝව දරාගත නොහැකිව ඉකිගසන පියකුගේ රුව පමණී.....

----------------------------------------------------------------------------
ප/ලි..

නම් ගම් මනඃකල්පිතය..

ප/ප/ලි.
වැඩ කටයුතු බොහෝමයක් වූ බැවින් පසුගිය මස තුල ඔබ සැමගේ වටිනා පෝස්ටු රාශියක් කියැවීමට නොහැකි විය. ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. දැන් තත්වය බොහෝදුරට සමනය වී ඇත. එබැවින් සුපුරුදු ලෙස නැවතත් කල් ගෙවිය හැක.. (ජය වේවා!!!)

Sunday, June 8, 2014

හිනා ගොඩයි බත් පොඩ්ඩයි...

ගමේ පාසැලේ අකුරු කෙරූ සුනිමල් හැදුනේ ගමේ අාරටමය. කොල්ලො කුරුට්ටන් සමග පාසල අමතක කල ඔහු වෙල් ඉපැනැලි වලත් අැල දොලවලත්, තම හිරිමල් යෞවනය ගෙවා දැමීය. ගෙදර බාලයා වූ සුනිමල් ඔහුගේ වැඩිමහල් සොයුරන් මෙන්ම ඉගැනුම ඔ්නෑවට වඩා ලංකර ගැනීමට නොසිතීය. කට්ටි පනිමින් පාසල් සමය ගෙවා දැමූ සුනිමල් දෙමව්පියන් දෙන දෙයක් කාබී ගෙදරට බරක් වෙවී රටට බරක් නොවී කාලය ගෙවීය.

 

සුනිමල්ගේ නිවස පිහිටියේ අළුතින් අරඹන ලද විශ්වවිද්‍යාලයක් අසලය හරියටම කියුවොත් එහි පිටුපස ගේට්ටුවට අාසන්නයෙනි. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වැඩිපුරම ගමන් කරන්නේ මෙම ගෙට්ටුවෙනි. උකුළු මුකුලු කරමින් ගමන් ගන්නා විශ්වවිද්‍යාල යුවතියන් දකින සුනිමල්ට "අනේ මටත් හිටියනං" කියා නොසිතුනා නොවේ. එ්ත් මුකුත් නැති නිකංම නිකං නිකමෙක් මෙව්වාගැන සිතීම පලක් නොවන බව ඔහුට වැටහිණි.

දිනක් දහවල් පාරේ අැවිදිමින් සිටී සුනිමල්ට අල්ලපු ගමේ අැන්ටී කෙනෙක් දක්නට ලැබිණ. අැය විශ්වවිද්‍යාලයේ වැට අයිනට වී හිඳිමින් අැතුලෙහි සිටිනා සිසු සිසුවියන්ට බත් පැක්ට් විකුණයි. මේ දුටු සුනිමල් ට නව අදහසක් පහලවිය.

"එ් මනුස්සයා අර අෑත ඉදන් අැවිත් මෙතන බත් විකුණනවා, යකෝ ගේට්ටුව ගාව ඉන්න මට බත් කඩයක් දාගන්න පුළුවන්නේ.."

සිතෙහි උපන් අදහස කලින් ඉපැදී මියගිය අදහස් මෙන් මියෙන්ට නොදි කෙසේ හෝ ක්‍රියාත්මක කල යුතුය. ඔහු මේ අළුත් අදහස මවට පැවසුවේය. වැඩේට අම්මාගෙන් අනුමැතිය ලැබුණා පමණක් නොව ඉවුං පිහුං කටයුතුද අැය විසින් බාර ගන්නා ලදී. 

පංසලේ හාමුදුරුවෝ සාදා දුන් සුභ වේලාවට අනුව සුනිමල්ලාගේ නිවස බත් කඩයක් බවට පත්විය. මුලින් බත් පැකට් කර විකුණු සුනිමල් දැං මේස පුටු කිහිපයක් තබා බත් කා යාමටද ඉඩ සලසා අැත. සුනිමල් දැං විශ්වවිද්‍යාල සිසුන් ගේ සුනිමල් අයියා වීඅැත. දිනකට විකුණන බත් පිගන් ගනන දිනෙන් දින ඉහල යන්නට විය. 

සුනිමල්ගේ මේ දියුණුවට ඔහුගේ මව මහත් රුකුලක් විය. වැරදීමකින් හෝ බත් පිගාකට බැදපු හාල්මැස්සන් පහක් බෙදුනහොත් ඉන් එකක් නැවත ලබාගැනීමට තරම් අැය තම පුතුගේ දියුණුව කෙරෙහි උනන්දු විය. 

දස දෙනක් පැමිණියද සිව් දෙනකුට බෙදිය හැකි බත් දස දෙනාටම බෙදා දිමට තරම් සුනිමල් ව්‍යාපාරයෙහි දක්ෂ විය. එන එන හැමෝටම මල් මල් සිනහවකින් සංග්‍රහ කරන නිසාදෝ ඔහුට "හිනා ගොඩයි බත් පොඩ්ඩයි" යන නම පටබැඳ තිබිණි.

 

දිනක් මොකක්දෝ පටලැවිල්ලකට විශ්වවිද්‍යාල සිසුන් හා ගම්වාසීන් විරසක වී තිබිණ. ගම් වැසියන් කඩු පොලු රැගෙන විශ්වවිද්‍යාලය පැමිණ අැත. සිසුන්ද ගල්මුල් රැගෙන සටනට සැරසී අැත. ගමේ කවුරුවත් විශ්වවිද්‍යාලෙ එවුන්ට බඩු විකුනන්නේ නෑ කඩවල් සෙරම වහනවා. ගමේ පැත්තේ සටන් මූලිකයෝ සිසුන්ට තර්ජනය කලහ. දවල් වනවිට පලාතේ සියළු කෑම කඩ වසා තිබිණ. නමුත් සුනිමල් නොසැළුනේය. වෙනදාට වඩා හාල් මුට්ට තුනක පමණ බත්, වතුර එක්කල පරිප්පු හොද්ද සමගින් එදින විකුණාගැනීමට ඔහු සමත් විය. එදින හවස සිසුන් නිවෙස්බලා යන විට. ඔහුගේ අාරක්ෂාව පතා ඔහුද ගමෙන් පිටවිය.

කාලය ක්‍රමයෙන් ගතවනවිට සුනිමල්ගේ බත් කඩයට නිත්‍ය සාමාජිකයන් පිරිසක් අැති විය. බඩගිනි වෙලාවට ණයට කෑම වේලක් කා මාසේ අවසානයේ මහපොල ලැබුනු විට එම මුදල් පියවන සිසුන් පිරිසක් ඉහත කී නිත්‍ය සාමාජිකයන් අතර විය.

සුනිමල් ණය ගනං හිලව් ලියාගන්නට පිටු අසූවේ එක්සයිස් පාෙතක් භාවිතා කරයි. පිටුවේ උඩින්ම ණය කරුගේ නම ලියයි. නම කිව්වාට මේ කෑම කන එව්වන්ගේ නං දෙයියන්වත් දන්නවාදැයි සුනිමල් නොදනී. කෙස් උවත් ණය පොතේ පිටුවල ඉහලින් අැත්තේ, ඉස්සා, කදිරා, ඔසාමා, පින්තු, ජුන්ඩා, බාබර්, ජෙමා, වැනි නම්ය. කෙස් නමුත් මෙම නම් වලින් ඔවුන් මුළු විශ්වවිද්‍යාලයම දන්නා නිසා ගැටළුවක් නොවේ.

 

සුනිමල්ගේ ණය පොත හැඩට ක්‍රියාත්මක වෙයි කෑම කන අයම තමාගේ පිටුව පෙරලා නියමිත ගනන සටහන් කරයි. මාසය අවසානයේදී එකවර ගෙවයි.

 

මෙසේ වසරක් හමාරක් ගතවන විට එකිනෙකාගේ ණය ගනන ඉහල යනු සුනිමල්ට දැකගන්නට ලැබුණි. එයට හේතු ලෙස පසුගිය වසර තුල තමන් කෑම මිල තුන්වරක් ඉහල නැංවූ බවත් ඊට සමාන්තරව මහපොල මුදල ඉහල නොගිය බවත්, කලින් සතියකට වරක් අනුමත වූ ණය කරුවන් දැන් සතියට දෙවරක් හෝ තෙවරක් අනුමත වන බවත්, සුනිමල්ට නොවැහැටුණි. ඔහුට දැනුනේ දැං මුං සම්පූර්ණම ගාන ගෙවන්නේ නැති බවත්, ඉන් කොටසක් දී ලබන මාසේ දෙන්නං අයියා කියා මුං මාරුවන බවත්ය.

දැං නං ණය වැඩේ හරියන පාටක් නැත. එන්න එන්නම ණය පොතෙහි ගනං පිරෙයි. 

 

ඉස්සා  4230 යි, ඔසාමා 2930,  කදිරා 4678, පිංතුවා 2150.................. යකෝ මුං ටික හෙට අනිද්දා අවුට් වෙන්න ඉන්න උං ටික නේද?

 

මේම ණය කැපෙන්නේ යලට මහටය. කිහිප විටක්ම ණය කරුවන්ට මතක් කලත් ගෙවන වගක් නැත. ණය ගන්නේ කොහොමද සුනිමල් දස අතේ කල්පනා කරයි.

අන්තිමේ සුනිමල් තීරණයක් ගත්හ "මුංගෙ නං ටික ගෙවන්න තියන ගානත් එක්ක ලියල දොරේ අලවනවා" එසේ තීරණය කලද ඔහු දොරේ අැලවූයේ මෙසේය.

 

"ඔබ විසින් ගෙවීම අැති මුදල් මෙම සතිය අැතුලත ගෙවා නිමකරන්න, එසේ නොවූවොත් ඔබගේ නම සහ ණය මුදල ප්‍ර්‍රදර්ශණය කිරීමට සිදුවනු අැත"

 

මෙම දැන්වීම දුටු පුංච් පුංච් ණය කරුවන් වහ වහා ණය ගෙවා නිදහස් විය, එහෙත් දලකරුවන් ට කිරීමට කිසිවක් නැත. ඔවුන්ගේ ණය පිටු තවමත් එසේමය.

මේ අතර මෙම දල කරුවන් එක් රැස්වී සාකජ්චා වට කිහිපයක් පැවැත්වීය. මෙයට පිළියමක් යෙදිය යුතුය නැත්නම් තමන් නම මෙන් අාරක්ෂාකල තමන්ගේ "කාඩ්" එක කුඩුය. මෙසේ දින කිහිපයක් සීල් බෝතල් කිහිපයක් හිස් කරමින් සාකඡ්චා කලද විසඳුමක් නොවීය. නමුත් ඔවුන් උත්සාහය අත් නොහැරියේය දිගින් දිගටම ඉහත ක්‍රියාවෙහිම නිරත විය.

 

සුනිමල්ගේ රතු නිවේදනයෙහි අවසන් දිනයද ගෙවිණි. කඩය වසා දැමූ සුනිමල් දැන්වීම සකස් කිරීමට කොලයක් ද රැගෙන ලාච්චුව අැර ණය පොත ගැනීමට සැරසිණ. නමුත් ණය පොත එහි නාෙවීය මේසයෙහි ඉටි රෙදි යට පුටු යට, වීදුරු සෝකේස් එක යට මේ කිසිම තැනක ණය පොත නොතිබිණ.

 

*  *  *  *  *  *  *  *  *  *

(හය මසකට පසු..)

 

"අා.... සුනිමල් අයියා ......"

"අා.. මේ ඉස්සා මල්ලිනේ ඉතිං කාෙහොමද? දැං ජොබ් එකක් එහෙම කරනවයි?"

 

"ඔව් අයියා පොඩි ජොබක් නං කරනව ඉතිං, එ්ක නෙවෙයි අයියා අර ණය පොත එහෙම හම්බුන් නැද්ද?"

 

"අනේ බලන්නකො මල්ලි එ්ක හම්බුන් නෑනේ,  හතලිස් දාහක විතර ණය සල්ලි, වතුරෙ ගියා වගේ"

 

"අයියා මගෙත් රුපියල් හාරසිය ගානක් දෙන්න තිබ්බා මෙතැන පන්සීයක් තියනවා  මේක තියාගන්නකෝ"

----------------------------------------------------

ප/ලි..

මෙය කෙටි කථාවක් නොවේ.. හිතේ කැකෑරුණු වේදනාවක් තුනී කරගැනීමට ලියූවකි..

ප/ප/ලි..

පසුගිය දින ටිකෙහි අධික කාර්ය බහුලත්වය නිසා බ්ලාෙග් ලිවීමට හො කියැවීමට ඉඩ කඩ නොවිණි. තව සතියකින් පසු ඉඩෝරය නිමාවනු අැත..

Tuesday, May 20, 2014

වෙසක් - බල්බ් වැල

"මේ පාර වෙසක් පොයට අපි මුළු පංසලම ලස්සනට සරසන්න ඕන"

"ඔව් ඔව් කූඩු හදලා පාර දිගේ එල්ලමු"

"වෙෙත්‍ය වැහෙන්න බල්බ්වැල් අදිමු"

වෙසක් පෝයට සති දෙකකට පෙර දහම් පාසලේ පැවති රැස්වීමේදී යෝජනා වූ අදහස් කිහිපයකි එ්. නගරයට මදක් අාසන්නව පැවති මේ විහාරස්ථානයහි ලමුන් දෙතුන් සියයක් පමන ඉගනුම ලබයි. දහම් පාසලේ අාචාර්ය මණ්ඩලය විසින් මේ සිසුන් පිරිස කණ්ඩායම් කිහිපයකට බෙදා එක් එක් කණ්ඩායමට එක් එක් වැඩ කොටස් පවරන්නට විය.

එක් කණ්ඩායමකට වෙසක් කූඩු සාදන්නය, තව කණ්ඩායමකට බල්වැල් අදින්නය, තවත් අයට කූඩු අලවන්නය මෙලසින් පිල් බෙදුනු ළමෝ යුහුසුලුව සිය කාර්යයන් සැලසුම් කරන්නට විය. වෙසක් සැරසිලි සඳහා වන සියළු වියදම් විහාරස්ථාන දායක සභාව විසින් සපයන්නට එකඟ වී තිබිණ.

සවිත් එකොලොස් හැවිරිදි වියේ පසුවූ දහම් පාසලෙහි හයවැනි පන්තියේ ඉගන ගන්නා සිසුවෙකි. මොහු වැටුනේ බල්බ් වැල් එල්ලන කණ්ඩායමටය. ඉමහත් සතුටින් එ් හා එක්වූ සවිත් එම කණ්ඩායම සමග යුහුසුළුව වැඩකටයුතු කරන්නට විය.

උනගස් කපා ගෙනැවිත් පිලියල කරන ලද ඉනිමං අාධාරයන් එකෙකු විසන් චෙෙත්‍ය මුදුනේ සිට පිලිවෙලින් බල්බ් වැල් එල්ලයි. තවත් අය වයර් කැබලි කපා එකිනෙක අමුණා විදුලිය හා සම්බන්ධ කරයි. මේවාට අත් උදව් දෙන සචිත් ට "අනේ මටත් බල්බ් වැලක් තිබුණානම්" කියා සිතුණු වාර අන්තය..

පවුලේ දෙවැනියා වූ සච්ත් ට ඔහුට වඩා දෑ අවුරුද්දක් පමණ වැඩිමහල් සොයුරියක් සහ බාල සොයුරන් දෙදනෙකු වෙයි. සච්ත්ගේ පියා මේසන් වැඩ අත් උදවුකරුවෙකු වන අතර ඔහු උපයන සියල්ල කිසිඳු ලාේබකමක් නැතිව සවසට මත් වතුරෙහි දියකර හරින්නෙකි. ඔහු බිරිද, දරුවන් සමග හොද සිහියෙන් කථා බස් කරන දිනයක් සොයාගැනීමට නොහැකි තරම්ය.

සය දෙනෙකුකුගෙන් යුතු පවුලේ සියළු බර කරට ගෙන කටයුතු කරන්නේ සච්ත් ගේ මව විසිනි. අැය දවස් කුලියට තේ දළු නෙළන්නට යයි. එ් ලැබෙන මුදලින් කන්න බොන්න ගෙනඑයි ළමයින්ට උගන්වන්නට වියදම් කරයි. තවත් ගෙදර දොරේ එන සියළු වියදම් පිරිමහ ගන්නට ද සිදුවෙයි. 

වෙසක් එකට තව දින දෙකකි. මාර්ගය දෙපස අැති නිවෙස් වල දැං එකින් එක බල්බ් වැල් එල්ලෙයි. ටවුමේ කඩවල් වල වීදුරු සෝකේස් අස්සෙන් නිවෙන දැල්වෙන බල්වැල් දල්වා අැත. මේවා දකින සචිත්ට මේ සැරේ නං කොහොමහරි බල්බ් වැලක් අරගන්න ඔ්න යයි සිතුණි.

නිවසේ තිබෙන මේ අගහිග කම් ගැන සච්ත්ට යන්තම් වැටගීමක් තිබිණි. බල්බ් වැලක් ගැනීමට අම්මාගෙන් සල්ලි ඉල්ලා පලක් නොවන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. නමුත් ඔහුගේ අාශාව එයිට වඩා බලවත්ය..

"අම්මේ.. "

"මොකද බන්"

"පංසලේ ලස්සනට බල්බ්වැල් එල්ලලා තියනවා"

"ඉතින් .."

"අර කවීෂලැයි ගෙදරත් ලස්සන බල්බ්වැල් දෙකක්ම එල්ලල තිබුණා"

කාෙල්ලා වටින් ගොඩින් එනේනේ කුමකටදැයි මවට වැටහිණි. 

"ඔ්වට කොහෙ තියන සල්ලිද බන්. උඔලට ඉස්කෝලෙ ගිනියන්න හංදියෙ කඩෙන් ගත්ත පොත්ටිකේ සල්ලි තාම දුන්නේ නෑ. පාරට බහින්න බෑ මිනිස්සු ණයට ගත්ත සල්ලි දෙන්න කියනවා. පොඩි එකා උනක් හෙම්බිරිසාවක් හැදුනොත් පැනඩාේල් පෙත්තක් අරන් දෙන්න අතේ සතපහක් නෑ.. අරුංටනං ඉතිං මොන අඩු පාඩුද. යන්න එන්න කාර් බාර් අතට පයට වැඩකාරයෝ ඉන්න එකේ. බල්බ්වැල් දෙකට දහක් අරන් දෙන්න බැරියැ. "

අම්මාගේ මේ ප්‍රකාෂයත් සමගම තමාගේ ඉල්ලීම ඉන්තේරුවෙන්ම ඉටු නොවන බව සච්ත්ට වැටහිණි. ඔහු හීන් සීරුවේ එතැනින් ඉවත්වන්නට විය.

"පුළුවන්නං උඔලගෙ මහඑකාගෙන් ඉල්ලපං. හැමදාම මෙතන කනමදයා වගේ බීගෙන එනවා, ඔහොම එකක් වත් අරං දුන්නොත් නරක් වෙයි"

අම්මා මේ බනිනේ තරහින්ද දුකෙන්ද යන්න තේරුං ගැනීමට සච්ත්ට වැටහීමක් නොවිනි. එහෙත් තාත්තාගෙනුත් මේ පිළිබදව අසන්නට ඔහු සිතා ගත්තේය.

සුපුරුදු පරිදි බමන මතින් නිවසට ගොඩවූ පියා අැගපත සොදාගත් පසු සචිත් හිමිහිට ඔහුට ලංවිය. 

"තාත්තේ"

"අා .. මගේ සුද්දා.. මෙහවරෙන්.. මෙහෙවරෙන්.. මොකද අද උඔට කවුරුවත් ගහන්න අාවද.. එහෙම පස්නයක් තියනං කියපං.. දන්නවනේ මේ තාත්තගෙ හැටි.. කියපං කියපං.. කවුද උඹට ගැහුවේ.. කවුද උඔට ගැහුවේ...කියපං... මං ඕකුංග් අම්මලාට *කවල තමයි පස්ස බලන්නෙ... ඕ......"

"තාත්තෙ මට වෙසක් එකට බල්බ් වැලක් අරන් ඕන.."

" බලුබ් වැලක්.. බලුබ් වැලක්.. තොට එච්චරද යකෝ අඩු.. බලුබ් වැලක්.. ඉතින් අම්මගෙන් ඉල්ලපංකෝ එ්කිනේ උඔලගෙ අනික් එ්වටත් වියදං කොරන්නේ... කවුද.. කවුද.. කවුද උඔට කිව්වේ මගෙන් ඉල්ලන්යි කියල අම්මද.. එ්.. අම්මද කිව්වේ.. මේ පට්ට වෙසි... මෙහවර *ත්ති..............................................."

තමන් තල්ලුකර දමා අම්මා සමග දබර වීමට යන තාත්තාගෙන් තමාගේ බල්බ් වැලේ සිහිනය කිසි විටක ඉටු නොවන බව ඔහුට පැහැදිලි විය.. කිසිත් කර කියා ගත නොහැකි අසරණ කමකින් තමන් තැලී පොඩිවී අැති බව සච්ත්ට සිතුණි.. අම්මගෙනුත් තාත්තාගෙනුත් තමාගේ ඉල්ලීම ඉටු නොවන බව දැනගත් සචිත් කෙසේ හෝ බල්වැලක් ගනිමියි අදිටන් කරගත්හ.

එහෙත් බල්බ් වැලක් ගන්නේ කෙසේදැයි ඔහුට නිසි වැටහීමක් නොතිබිණි. 

"පංසලේ බල්බ්වැල් වලින් එකක් හොරකං කරං එනවා" 

එහෙම බැරි උනොත් 

"පංසලේ පිංකැට් හොරකං කරල එ් සල්ලි වලින් බල්බ් වැලක් ගන්නවා" 

නෑ නෑ.. 

"ටිකක් රෑ වෙනකං ඉදල ගෙදරක දාපු බල්බ් වැලක් ගලවං එනවා"

නොයක් නොයෙක් අදහස් ගෙන එමින් තම යටි සිත සමග තර්ක කල සච්ත් එදින නිදා ගත්තේ කිසිඳු ස්ථිර තීරණයකින් තොරවය.

වෙසක් දවස උදාවිය. ටිකක් දවල් වෙනකං නිදාගත් සචිත් ලක ලැහැස්තිවී පංසල වෙත ගියහ. තමන්ගේ සැරසිලි වලින් හැඩවූ චෙෙත්‍ය රාජයා තේජාන්විතව වැඩ ඉන්නවා ඔහුට දැක ගන්නට හැකි විය. බල්බ් පත්තුකරාම කොච්චර ලස්සනට අැද්ද.. තමන්ටම කියාගත් ඔහු පංසලේ පිං කැටය වෙත හිමීහිට අැදුනි.

"බුදු අම්මාේ එතන ඉන්න සෙනග අද පිංකැටේ හොරකං කරන්නනං බැරිවෙයි"

මෙසේ සිතූ සචිත් වැඩිපුර බල්බ් වැල්ටික දමා අැති ගබඩා කාමරය දෙසට අැදුනි. විහාරගෙයි පිටුපසට වන්නට තිබූ එම කාමරය අවට කිසිවෙකුත් නැත. 

"කාෙහොමහරි මේකෙන් බල්බ් වැලක් ගන්නවා" යැයි සිතාගත් ඔහු එහි දොර හරින්නට තැත් කලේය..අඟල් තුනක් පමණ පලල දෙපලු දොර කිලෝ එක හමාරක් පමණැති ඉබ්බන් තිදෙනකු දමා අගුලු ලා තිබිණි. ඔහු ඉදිරියේ යෝදයකු බදු වූ එම දොර අරින්ට තබා සෙලවීමටවත් නොහැකි විය.

පංසලේ එහෙ මෙහ අැවිදිමින් දවල් වරුවම ගත කල සචිත් සවස හතර පමන වනවිට ටවුමේ කඩ පේලිය වෙත ගියහ. එහි සමහර කඩ තවමත් විවෘතව අැත. බල්බ් වැල් දමා සරසා එ්වා පත්තු කර තිබෙන කඩයක් අසල නැවතුනු සචිත් ඉමහත් අාශාවෙන් බල්බ් වැල් දෙස බලා ඉන්නට විය.

"මොනවද බලන්නේ බල්බ් වැලක් ද?"

පෙනුමෙන් වයස විස්සක්වත් විය නොහැකි යයි සිතිය හැකි කොළුවෙක් ඉදිරයට පැමින සචිත් ගෙන් විමසීය. 

"නැ.. මං මේ නිකං බලන්න අාවා.."

"යනවා යනවා මෙතනින්..කරදරකරන් නැතිව.."

පියවර කිහිපයක් පමන පිටුපසට අා සචිත් නැවතත් බල්බ්වැල් දෙස බලා සිටින්නට විය. කාලය ගෙවෙත්ම ඔහු එල්ලා අැති බල්බ් වැල් අතින් පරිමදිමින් එ් දිහා බලන්නට විය..

"එහෙනං බඩුටික අස්කරල කඩේ වහල ගෙදර යන්න. මට දැං පංසලට යන්න තියනවා"

කඩේ මුදලාලියැයි සිතියහැකි කෙනෙක් කඩයේ වැඩකල කොළුවාට පවසා මොටර් බයිසිකලක නැගී පිටව ගියේය.

"උඹ තාම ගියේ නැද්ද"

සචිත් කිසිත් නොකියා කොළුවා දෙසට හැරී සිනහසුනේය.

"උඔට මේ බල්බ් වැලක් ඔ්නද?,"

අනේ මට බල්බ් වැලක් දෙනවනං කොච්චර එකක්ද යැයි සච්ත්ට සිතුනද ඔහු එය ප්‍රකාෂ නොකර නැවතත් සිනහසුනේය.

"කථා කරපං, උඹට බල්බ් වැලක් ඔ්නද?"

සච්ත් ඔ්න යැයි කියන්නට ඉහලටත් පහලටත් හිස සැළුවේය..

"හරි එහෙනං පිටිපස්සෙ බඩු වගක් අස් කරන්න අැති එ් ටික අස් කරන්න උදව් වෙයං. මේ බල්බ් වැල හොදයිද"

කඩේ කොළුවා බල්බ්වැලක් අතට ගෙනම විමසීය. සචිත් බලබ් වැලට අාසාවෙන් හිස සැලීය.

"පිටිපස්සෙ දොරෙන් වරෙන්"

මෙසේ කියු කොළුවා කඩයේ ඉදිරිපස දොර වසා දැමීය. සචිත් ඉක්මන් ගමනින් කඩයේ පිටුපස දොර වෙත ගියහ. 

"අැතුලට වරෙන්"

සචිත් අැතුලට ගිය පසු කොළුවා දොර වැසීය.. පෑ බාගයකට පමන පසු බල්බ්වැලකුත් තුරුළුකරත් සචිත් කොරගසමින් නිවස දෙසට අැදුණි.


-------------------------------------------------------------------------------------------------------------------------

පලි

නං ගං මන:කල්පිතය..

Friday, May 9, 2014

විදානේගේ ගොං කථා..

චෙෙත්‍යය

මෙම කථාව නැන්දම්මා කෙනෙක් සහ බෑණා කෙනෙක් අතර අැතිවූ කථාබහකි.

"පුතේ හෙට මාව ටවුන් එකට එක්ක පලයංකො"

"එ් මොකටද අම්මේ"

"බැංකුවෙන් සල්ලි ටිකක් ගන්න තියනවා"

"මොකටද අම්මේ සල්ලි"

"අනේ අර පංසලේ චෙෙත්‍ය හදනවා එ්කට පූජ කරන්න"

"ඔ්කට බැංකුවෙන් ගන්න ඔ්නයැ ඔය කීයක් හරි දීල දාමු"

"අනේ උඔලට කරදර කරන්නෙ කොහොමද මං ටික ටික ඉතුරුකරපු සල්ලි ටිකක් තියනවා එ් ටික තමයි පූජ කරන්න හිතං ඉන්නේ."

"හරි. දැං අම්මා කීයක් විතරද දෙන්න හිතං ඉන්නේ"

"ලක්ෂයක් විතර දෙන්න තමයි මං හිතං ඉන්නේ.."

"ලක්ෂයක්..චෙෙත්‍යට?.. අම්මට පුළුවන්නේ ඔය ලක්ෂෙ මට දීල මට වඳින්න..,"

"#$% 46#$%3 f#$## ^&*^&8 45% & $%^2&*%"

(බොහෝ වයසක උදවිය ඔහොමය - ගෙදරට හෙන ගැහුවත් පංසලට)
-------------------------------------------------------------------------------------------------------------------------

පේර හොරු

විදානේ ගමේ කොලු කුරුට්ටන් සමග පෝදා පංසල් ගොස් රාත්‍රී 11 ට පමණ නැවත නිවෙස් බලා එමින් සිටියි. එන මග අතර තුර මේ පිරිසම තාප්පයක් ගසන ලද නිවසක් ලග නතර විය.

මේ නිවසෙහි සිටියේ විශ්‍රාමික ගුරු යුවලකි, මොවුන්ගේ දූවරුන් සිව්දෙනාම වෙෙද්‍යවරියන්ය. පුතා මොකක්දෝ ලොකු කෝස් එකක් කරයි. මෙම පවුලට ගමේ බොහෝ දෙනෙක් ගරු කලහ. එම යුවල නිවස ඉදිරියේ කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන යයි. මිදුලෙහි ගෙචි හොදින් පැසී, ඉදී අැති පේර ගසකි.

"මචං දෙමුද ගේමක්.."

අදහසත් සමග තාප්පෙන් පැන්න විදානේ ගහ මුදුනේය. අතට අහුවෙන අහුවෙන පේර කඩා බිමට දමයි. බිම සිටී එවුන් සරංවලට එ්වා එකතු කරයි.

එක් වරම නිවසේ ඉදිරිපස විදුලි බුබුල දැල්වෙයි.

කොල්ලන් හිස් ලූ අත දිවයයි.. නිවසෙහි දොර අැරෙන මාෙහාෙත වනවිට විදානේ තාප්පන් පැන්නා පමනී. දැං දිව්වොත් වැඩේ මාට්ටු වෙනවා සිකුරුය. කරන්නට දෙයක් නැත. ස්ථානොචිත පඥාව ක්‍රියාත්මක කල විදානේ එතැන තිබූ බෝක්කුව යටට රිංගුවේය. විනාඩි 10කට පමන පසු නිවසෙහි විදුලි පහන් නිවුනි.. විදානේ හෙමින් එතැනින් මාරු විය..

පසුදිනට පහන් විය විදානේට උදේන්ම කඩේට යන්නට සිදුවිය. හංදියේ තිබූ අනෙක් සියළු කඩ වසා අැත. යන්නට සිදුවූයේ විදානේ පෙරකී කඩයටමය. පොඩි චකිතයක් හිතේ රදවං විදානේ එ් කඩයටම ගියේය.

"අා විදානේ මොනවද පුතා ඔ්නෙ"

"සර් මට ----- යි ------ යි දෙන්නකො"

"බලන්නකො පුතා ඊයේ රෑ කොල්ලෝ ටිකක් අැවිත් ගහේ පේර ටික ඔක්කොම කඩලනේ, දූලගේ පුංච් කට්ටියට ගිනියන්න තියං හිටියේ"

අපොයි එවෙලේනං විදානේගේ හදේ ගැඹුරුම තැනට දුක දැණුනි. ඊයේ රෑ කෑ පේර කුස තුල ගිනිගන්නවා සේ දැනුනි..

"ඉතිං සද්දෙ අැහුන් නැද්ද සර්.?"

"සද්දේ අැහිලා දොර අරිනකොට මුං ඔක්කොම පැනල දිව්වනේ. එකෙක් තාප්පෙන් පැන්න මට හරියට අදුරගන්න බැරිඋනා.. කොහෙද අපි දැං වයසයිනේ"

"එ්ක තමයි සර්. මේ ගමේ කොල්ලොනං කිසිකමකට නෑ. මං හිතන්නේ ඊයේ පංසල් ගිහිං එනගමං තමයි මුං ටික මේක කරන්න අැත්තේ. මං අාරංච් උනොත් සර්ට කියන්නංකො"

කොහොම හරි එ් සර් එක්ක පැය බාගයක් විතර ගමේ කොල්ලන්ට බැන බැන ඉදල තමයි විදානේ ගෙදර ගියේ.. හැබැයි සිද්දියට නං විදානේට තාමත් කණගාටුයි.

(හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නේ මේවට වෙන්න අැති)

------------------------------------------------------------------------------------------------------------------------
රතිඤ්ඤා  සෙල්ලම..

අවුරුද්ද පහු වී සති දෙකක් පමණ වන්නට අැත. අවුරුදු සිරිය අමතක කර සියළු දෙනා සුපුරුදු රාජකාරියෙහි නිරත වෙයි.

විදානේ හංදියේ කඩයකට ගොඩවිය. (උඩ කඩේ නෙවෙයි) ලංකාදීප දිනපතා පත්තරේ උඩින් පල්ලෙන් කියැවිය. ඔහුගේ සාක්කුවේ රුපියලක් තිබිණ. "මාෙනවහරි කන්න ඔ්න" ඔහුට සිතුණි. කඩේ මේසය මත බෝතල් පේලිය මතට විදානේගේ අැස් ගියහ. එහි කෙළවර ලූස් විකුණන රතිඥ්ඥා පෙට්ටියකි. කෑම ඔ්න නෑ රතිඤ්ඤා දෙකක් ගන්නවා.

විදානේ රුපියල මුදලාලිට දී රතිඤ්ඤා දකක් ගත්තේය. ඉන්පසු මුදලාලිත් එක්ක බර කයියක්ය. රටේ දේශපාන, සමාජීය, අාර්ථික, ස්වාභාවික විපත් ගැන හර බර සංවාදය. මේ කථාව අතරතුර විදානේ රතිඤ්ඤා දෙකේ නූල සුද්ද කරයි. මුදලාලිගෙ ගානේ කහට කෝප්පයක් ද ලැබුණි. එ්යද බී අවසන් කරනවිට රතිඤ්ඤා දෙකහි නූල් එකිනෙක ගැටගසා අවසන්ය. කවුදෝ කඩේට පැමිණියහ. මුදලාලි ඔහුට අවැසි දෑ දෙයි. සිගරට් පත්තු කිරීමට එල්ලා අැති පත්තුකරන ලද ගොණි නූලේන් රතිඤ්ඤා දෙක පත්තු කල විදානේ කඩේ දොර ලෑලි දෙක අතරට එය දමා ඉක්මන් ගමනින් නිවසකරා අැදුනි. 

විනාඩියක් පමන යනවිට "ඩෝං" ගා මහ හඩක් නගමින් රතිඤ්ඤා පුපුරා ගියේය. විදානේ ප්‍රීතියෙන් ඉපිල ගියේය.

සිදුවී අැත්තේ මහත් ඛේදයකි. සද්දෙට බයවූ මුදලාලි අතේ තිබු කෝප්ප දෙක බිම දාගෙන කුඩුකරගෙන අැත. බියවී අැති පූසා පැනීම නිසා පෙරලී ගිය වළදක් කුඩුවී අැත.

ඉන්පසු අහුවෙන අහුවෙන හැමදෙනා එක්කම මුදලාලි විදානේ හට දෙස් දෙවොල් තබා අැත. කඩය අසලකවත් එන්නට නොදන බව කියා වහසි බස් දොඩා අැත. කෙසේ වෙතත් අවුරුදු දෙකක් පමන යනතෙතක් මුදලාලිත් විදානේත් විරසක වී සිටියේය.

(මට හිතෙන්නේ ලාවට අැස් රතුවෙන විහිලු කියන්නේ මේවට වෙන්න අැති)



ජය වේවා!!!!
(විද්‍යාවේදී විදානේ..)

--
ප/ලි
නං ගං මනක්කල්පිත නැත.. කවුරුවත් ඔය මුදලාලිලාට එහෙම මෙවා කියනව නෙවෙයි..

Saturday, May 3, 2014

පොඩි එකාගේ කථා 01 - පැන්සල

"මැද එකාට ගහපන්'.."

පොඩිඑකා තම අතෙහි රැඳි ගල්පතුර පේලියහි මැද අැති කජු අැටයට ඉලක්ක කර විසි කළේය.

මේ අවුරුදු සමයෙහි අැරඹුමයි. පොඩි එකාගේ පාසැල් නිවාඩුව අැරඹෙන්නේ හෙට සිටය. ඔහු සවස් යාමයේ පහල ගෙදරට අාවේ කොල්ලන් කුරුට්ටන් සමග "වල කජු" ගැසීමටය.

උඩුකය නිරුවතින් සිටින පොඩි එකාගේ කට දෙපැත්තෙහි කජු කිරිවලින් අැතිවූ කැලැල් කිහිපයකි. දනහිසින් පහල කකුලෙහි කබොල්ල මතුවූ තුවාල කිහිපයක් වෙයි, දූවිලි වැදී පැහැය වෙනස් වී අැති ඔහු අැඳ සිටී කලිසමහි පසුසප, කන්දෙන් පහලට බුරුස් පැදීම නිසා මදුරු දැලක් පමනට තුනී වී අැත. එහි  ඉදිරිපස බොත්තම කැඩී යාම නිසා එතැන කටුවක් ගසා අමුණාගෙන අැත. මේ පොඩිඑකා පමණක් නොව මෙතැන සිටින පොඩි එවුන් හැමෝගේම විලාසය මීට මදකට වඩා වෙනස් නොවීය..

මේ නිවසෙහි  අඹ ගස යට කණප්පුවකි. කණප්පුව මත තම්බන ලද මඤ්ඤොක්කා පිගානක් සහ බදින ලද මාලු දීසියකි. මේ දකින පොඩි එකා කටට එන කෙළ ලොවට රහසේ ගිල ගනී. නිවසසෙහි හිමිකරුත් ඔහුගේ  මිතුරන් කිහිපදෙනකුත් කණප්පුව වටේට වැල් පුටු කිහිපයක් කබා එහි වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සීල් බෝතලයක් හිස් කරයි. විටක ඔවුන්ගෙන් නැගෙන පඩස්තල හිනා හඩ පොඩි එවුන්ගේ කෑ ගෑම යටපත් කර නැගී සිටියි.

වාතයෙහි ප්‍රථිරොධය නොතකා ඉදිරියට අැදුනු ගල් පතුර පොඩි එකාගේ ඉලක්කගත කජු අැටය මත පතිත විය. එය පොඩි එකාට ඉමහත් සතුටක් ගෙනදෙන්නක් විය. දැන් පිටියෙහි අැති සියළු කජු අැට තමාගේය.

"අාා.... දඩ. දඩ. දඩ.."

කරුමයක මහත තමා පහරදුන් කජු අැටය විසිවී ගොස් ඉදිරියේ අැති කජු අැටයෙහි වැදී අැති බව පොඩි එකා දුටුවේය. තම සාක්කුවෙහි අැති අන්තිම කජු අැටයද දඩ ලෙස පිටියට දමා පොඩි එකා නැවත ක්‍රීඩාවට එකතු විය.

"මෙන්න මේකා තමයි මං කිව්වේ" 

ගෙහිමියා තවකෙකුට පොඩි එකාව පෙන්මින් පවසනවා ඔහුට අැසුණි. පොඩිඑකා ප්‍රශ්ණාර්ථ මුහුණකින් යුතුව එ් පිරිස බැළුවේය. ඔවුන්ගේ දොඩමළු බව නතර වී තිබිණ. කනප්පුව මත අැති සීල් බොතලයෙන් තුන්කාලක්  පමන හිස්ව අැත. අතැති අසෝක වීදුවල අඩක් පමණ පිිරෙන ලෙස තේ කහට පැහැති මත් දිය පුරවාගත් ගෙහිමියාගේ මිතුරන් කිහිපදෙනාගේ ලොවිගෙඩි මෙන් රත් පැහැති  අැස් ගෙඩි පොඩි එකාව ඉලක්ක කර තිබිණි.

"එතකොට මූ තමයි සුමනෙගෙ කොල්ලගෙ පැන්සල හොරකං කරල තියෙන්නේ.."

"දැං සුමනේ එනව කිව්වා නේද?.."

"ඔව් ඔව් සුමනේ අාවම මේකව ගස්බැදල දිම්ගොට්ටක් දමයි.."

"බුහ් හක් හක් හක්..."

ගම දෙවන් වන්නට ඔවුන් සිනහවෙයි. අතැති මත් දිය වීදුරුව කටට හලාගත් එකෙක් පුටුවෙන් නැගිට බැදපු මාලු කැබැල්ලක් හපමින් පොඩි එකා දෙසට එයි. පොඩි එකා බයෙන් බිරාන්තවී බලා සිටියි. ඉදිදිරියට එන මිනිහාගේ රෟෙද්‍ර මුහුණත් හැඩි දැඩි සිරුරත් දකින පොඩි එකාගේ බය දෙගුණ තෙගුණ විය.

"හේ........"

කවුදෝ තවත් පොඩි එකෙක් වල කජු සෙල්ලමේ අන්තිම වටයද ජයග්‍රණය කර උඩ පනියි. දැන් ක්‍රීඩාව අවසන්ය. වල කජු ගැසූ පොඩි එවුන් සියළු දෙනාම පාහේ දැන් පොඩි එකා දෙස බලා සිටියි. "පැන්සලක් හොරකං කරාලු, සුමනේ මාමලැයි ගෙදර සුජිත්ගෙ. තමා එවැනි හොරකමක් කළේ ද නැත. නමුත් මේ නරුම රැල තමාව හොරකමකට කොටුකර අැත." පොඩි එකාට මේ කිසිවක් නොතේරිණ.
.

පොඩි එකා ඉදිරියට පැමිණි මිනිසා මදක් පහත් වී පොඩි එකාගේ නිකටෙන් අල්ලා ඉහලට එසැවීය. බයෙන් ත්‍රස්ත්‍රව සිටී පොඩි එකාගේ දැසේ කඳුළු කැට වැගිරෙන්ට විය. නාසයෙන් ගලා අා හොටු දියර උඩු  තාෙල දිග් කට දෙපසට බේරෙන්නට විය..

"උඹ පැන්සල ගත්ත නේද?"

එ් අර මිනිසාගේ රළු හඩයි. දැන් පොඩි එකාට ඉකිගැසෙයි. තම දකුනතේ අල්ලෙන්, නාසයෙන් ගලා අා හොටු දියර පිස එම අත්ල තම කලිසමේ පිසලා ගත් පොඩි එකා.

"අනේ මං.. පැන්සලක් ගත්තේ නෑ... මාමේ.."

"දැං උඹගාව පැන්සල් කීයක් තියනවද?.."

"එක පැන්සලයි තියෙන්න.."

"හොරකං කරපු එක නේද? හොදහිතිං එ්ක ගේනවා මෙහාට. නැත්නං සුමනේ අාවම අල්ලල දෙනවා"

"හරි හරී.. මාත් කෑල්ලක් කියන්නං..."

අන්තිම වාක්‍යය පොඩි එකත් එක්ක එකට වලකජු ගැසූ එකෙකුගෙනි. පොඩි එකා සතුව අැත්තේ එකම එක පැන්සලකි. එයද මීට සති දෙකකට කලින් පොඩි එකාගේ අම්මා ගෙනත් දුන් එකකි. සුදු පැහැති එම පැන්සලේ පාට පාටින් ලස්සන පින්තූර අැත. පැන්සලේ අග කෙළවර රන්වන් පාට කොපුවකින් වටකර රෝස පාට මකන කෑබැල්ලකි. එම පැන්සලහි දැන් බාගයක් පමන ගෙවී අැත. මකනය ගෙවී අැති නමුත් රන්වන් පාට කොපුව කටින් විකා අැතුලත වූ මකන කොටසක් මතුකරගෙන අැත. පොඩි එකා ජීවිත කාලෙය්දී අාසාවෙන්ම පාවිච්චි කළ පැන්සල මෙය විය.

පොඩි එකා පිටුපස නොබලා නිවස වෙත දිවගියේය. මෙ නිවසේ සිට පොඩි එකාගේ ගෙදරට ගල් පඩි හැටක් හැත්තෑවක් ගොඩවන්නට අැත. විනාඩියකටත් අඩු කාලයකදී පොඩිඑකා ගෙදරය. ටකරං සෙවිලිකල කටුමැටි ගැසූ, ගොම මැටිගෑ නිවසෙහි දෙපලු දොර තල්ලුකර ගෙට අැතුලුවූ පොඩි එකාට උදේ පාසල් ගෙනගිය සිලි සිලි බෑගය දිග අැර තිබූ බූරු අැඳ උඩ තිබී හමුවිය. එයට අත දමා පැන්සල් කොටය අතටගත් පොඩි එකා ඉක්මන් ගමනින් නැවතත් පහලට බහින්නට විය.

පොඩි එකා පහල ගෙදරට එද්දී ඔවුන් තවමත් සුපුරුදු කාර්යයෙහිම නිරත විය. සුමනේ මමා අැවිදින් දැයි වැට අයිනේ සිට සෝදිසි කල පොඩි එකා ඔහු නොමැති බව දැක බය මදක් තුනී කරගත්හ. හිමින් හිමින් අඔ ගහ යටට කිට්ටු වූ පෙඩි එකා කණුවකට මුවා වී මද වේලාවක් බලා සිටියේය. ඔහුගේ මිතුරු අනෙක් පොඩි එවුන් නැවතත් වලකජු සෙල්ලම පටන්ගෙන අැත. අඩියට දෙකට කනප්පුව වෙත අැදුනු ඔහු කිසිත් නොකියාම පැන්සල කනප්පුව මත තබා අාපසු හැරී නිවසකරා දුවයන්නට විය. මොහොතකින් අර පඩස්තල හිනාහඩ දෙසවන් රිදවමින් පොඩි එකාට අැසෙන්නට විය....

හැන්දෑ ජාමයේ පහල ගෙදර පොඩි එකා පැමින පැන්සල ගෙනවිත් දී "තාත්තල විහුලුවක් කරල තියෙන්නේ" කියා යන්නට ගියේය.. නමුත් එ්වන විටත් කිසිදාක පහල ගෙදරට නොබසිමියි පොඩි එකා ස්ථිර ලෙස අදිටන් කරගගෙන හමාරය..