"පොඩි එකා මෙහෙවරෙන්.."
"....."
"කෝ කවි ටික පාඩං කරාද?''
"ම්.. ටිකක් පාඩං..."
"කෝ කියපං බලන්න."
" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
සත් හට වන බව දුකට වෙදානං...
තිත් දන දුර .. ම්... අ...... අ.....
......."
"කෝ තොට ඒකවත් පාඩං නැද්ද, දැං දවස් කීයක් වෙනවද.. මෙහෙවර එළියට වර බූරුවා.."
කිසිත් නොකී පොඩිඑකා වෙව්ලමින් මිදුලට බැස්සේය. පුංචි මාමාගේ දෑස් කෝපයෙන් දිලිසෙනවා පොඩි එකාගේ ඇස ගැටුණි. ඒ දෑස් මගහරින්නට පොඩි එකා බිම බලා ගත්තේය.
"ගහපිය දන.."
ඒ අණට අවනත වෙනවා හැර වෙනත් කරන්නට දෙයක් නැත, පොඩි එකා බොරළු පොලෙවේ දණ ගසා ගත්තේය.
"දැං හයියෙන් පාඩං කරපන් කවිටික, මං එනකං ඔතනින් නැගිටින්න බෑ"
පාඩං පොත අතටගත් පොඩි එකා කවි කටපාඩං කරන්නට විය..
" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
සත් හට වන බව දුකට වෙදානං...
තිත් දන දුර දුරු ලන නිති දානං..
සිත් සතොසින් නමදිම් මුණිදානං.."
තුනේ පන්තියේ දෙවන වාරවිභාගය අවසානයේදී පොඩි එකා ගිය ගමේ ඉස්කොලේ පංති බාර මිස් තම මවට පවසා ඇති දෙය නිසා දැං පොඩිඑකාට ගුටි තැලුම් කන්නටත්, එලෝකෝටියට බැනුම් අහන්නටත් සිදුව අැත.. ඉස්කොලෙ නිවාඩු දෙන දවසේ පාසැලට ගිය අම්මාට පංති භාර මිස් පවසා ඇත්තේ.
"මේ ලමය මේ අවුරුද්දේ මේ විදියටම ඉගන ගත්තොත් ලබන අවුරුද්දෙත් මේ පංතියේම තමයි තියන්න් වෙන්නේ" යනුවෙනි.
මේ ප්‍රකාෂයන් ත්‍රස්ත්‍රවූ පොඩිඑකාගේ අම්මා ඉස්කෝල නිවාඩුව අවසාන වූ විගස පොඩිඑකා ගමේ පාසලෙන් අස් කර, ඇගේ සොහොයුරාගේ එනම් පොඩි එකාගේ මාමාගේ නිවසෙහි නතර කර ඒ අසල පාසලකට ඇතුලත් කරනලදී.
දැං මේ පොඩි එකාට දස වද දෙනේනේ පොඩි එකාගේ පුංචි මාමාය. උදේ පාන්දර හතරට කූද්දයි නැත්තං සීතල වතුර පාරක් කන්න වෙනවා ශුවර්ය. පොතේ පාඩම් කියවන්න කියයි. වැරදුනු විට "චටාස්" ගා අතුල් පහරක් දෙයි. පිටපත් ලියන්න කියයි. වචනයක් වරැද්දුවගොත් නැවත මුල සිටම ලියවයි..
පොඩි එකාට අමාරුම වැඩේ චක්කරේ පාඩං කිරිල්ලය, එකක් වැරදුනහොත් එලව එලවා පහර දෙයි, හීන් තිරිවානා ගල් කැටයක් කංපෙත්තට තබා ඇඟිලිවලන් තදකරයි. නැගෙන කඳුළු බිඳු වලට නිදහසේ වැටෙන්නට ඉඩහැර පොඩි එකා නැවතත් පාඩං කරයි..
මොන දන්ඩ නීති තිබුනත් පුංචි මාමාත් එක්ක ගමන් බිමන් යන්න පොඩිඑකා බොහෝ ලැදිය. මන්ද ටවුමේ හොටයකට ගොඩවැදී බනිස් ගෙඩියක්, වියන්රෝල් එකක් කා ප්ලෙන්ටියක් ලැබෙන බැවිනි. ප්ලේන්ටිය බී අවසානයේ පුංචි මාමා සිගැරැට්ටුවක් ගෙන්වාගෙන එය දල්වා ගනී. පුංචි මාමා ගෙදරදී බොන්නේ "සැප සුරුට්ටුය" ඒවාද ජනේල් පඩිය උඩ තබා හීනියට ලියා කඩදාසි කොලයක ඔතාගෙනය. පුංච් මාමාගේ සුරුට්ටු ලියවිල්ල නිසා ජනේල පඩියද දුන්නක හැඩයට කැපී ගොස් තිබිණි.
පුංචි මාමාට දරුවන් සිටියේ නැත. එබැවින් ඔහු පොඩි එකාට දරුවෙකුට මෙන් සැලකුවේය. ස්ථිර රැකියාවක් නොකල ඔහු, දින දෙකකට හෝ තුනකට වරක් කොහෝ හෝ කුලී වැඩකට යයි, ඒ මුදල් වියදම් වී අවසන් වූ පසු නැවතත් වැඩට යයි. රකින්ට දරුවන් නොසිටී ඔහු රැකි ධනයක්ද නැත.
පුංචි මාමා නිදාගත්තේ සාලයේ තබා ඇති ලනු ඇඳකය, එතැන බිම පැදුරක පොඩි එකාද නිදාගනී, සමහර දිනවල රාත්‍රියේ මාමා, පොඩි එකාට අතීත කතන්දර කියාදෙයි, පුංච් මාමාගේ එක් පුරුද්දක් පොඩි එකාගේ සිත් තදින් පැහැර ගත්තේය. එනම් රාත්‍රියේ දී නොනවත්වා එක දිගට පඩ යැවීමයි. මේවා ගනන්කිරීම පොඩිඑකාගේ විනෝදාශයක් විය.
මුලින් මුලින් දස වද දුන්නත් පොඩිඑකා පාසැල් වැඩවල යම් වර්ධනීය මට්ටමකට ආ පසු පුංචි මාමා ගේ දඬුවම් ලිහිල් විය. වසර තුනකින් පසු පොඩිඑකා නැවතත් ගෙදර ආවේය. ඒ එම පාසලේ සිටී දීප්තිමත්ම සිසුවෙකු ලෙසිනි. එහි සියළු ගෞරව පුංචි මාමාට හිමිවිය යුතුය.
පොඩි එකා උසස් පෙළ ලියා ගොඩ දාගත් දවසේ ස්වීට් බනිස් ගෙඩියක් සහ කෙහෙල් ඇවරියක් පත්තර පිටුවක ඔතාගෙන පුංචි මාමා ආවේය. එය පොඩිඑකා ලැබූ වටිනාම ත්‍යාගයක් විය. ඒ පත්තර පිටුව හා බනිස් කවරය තාමත් පොඩි එකා සතුව ඇත.
පුංචි මාමා..
* * * *
ගිය මාසේ අන්තිම සතියේ පොඩි එකාට අම්මා කථාකළාය.
"පුතේ පුංචි මාමා නැතිවෙලා..."
----------------------------
ප/ලි..
සමාවෙන්න, බොහෝ දේ ලියන්නට සිතා සිටියත් කිසිවක් ලියාගත නොහැක.. හිතේ දුක තුනීකරගන්න ලියමනක්, කථාවක් නොවේ...
:)
ReplyDeleteඉදලා ඉඳලා එක උනේ මෙහෙම එකක් අහන්නද ? :(
Deleteපුංචි මාමා ට නිවන් සුව පතනවා...ලෝක ධර්මතාවය සහ සනාථන දහම මෙයයි විදානේ..ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්
කතාවක් නොවීම නිසාම නිර්මාණය කරන ලද කතාවකට වඩා ලස්සනයි විදානේ.හරිම සංවේදී සටහනක් අන්තිමට හිනාවෙන්න හිතාගෙන ආවත් හිතට මහා දුකක් ඇතිවුණා.
ReplyDeleteමාමා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙම උඹේ පුංචි මාමා වේවා.
නමුත් ඒ ආත්මයේ දී පොඩි එකා හිංසනයට ලක් නොවේවා!
Deleteඒ වෙද්දි ළමා හිංසනය අවම වෙලා තියෙයි මයෙ හිතේ.......
Deleteඇත්තම කිව්වොත් හෙන ආසාවෙන් කතාව කියෝගෙන ආවෙ..
ReplyDeleteඒත් උඹ අන්තිමට ලියල තියෙන දේ දැක්කාම ගොඩක් දුකයි බං..
පුංචි මාමට නිවන් සුව පතමු..
අඩේ මම හිතුවෙ තවත් ප්‍රබන්ධයක ආරම්භය කියලා...අවසානයේ සත්‍ය කථාවක් කියලා දැනුනාම බොහොම සංවේදී බවක් දැනුනා.
ReplyDeleteපුංචි මාමාට නිවන් සුව පතමි !
විදානේ, ඇස්වලට කඳුළු ආවා..
ReplyDeleteඒ එක්කම තුංමං හංදිය සිහියට නැගුණා..
ඔහුගේ රුව සුපුරුදුයි..පව්...මට අපේ චූටි මාමාව මතක් වුණා..ඔහුත් අවිවාහකයි..ඒ වුණාට අපි ඔහුගේ දරුවෝ වගේ..
//සමාවෙන්න, බොහෝ දේ ලියන්නට සිතා සිටියත් කිසිවක් ලියාගත නොහැක.. හිතේ දුක තුනීකරගන්න ලියමනක්, කථාවක් නොවේ...//
ඒ බව පැහැදිලියි..මටත් මෙහෙම කථාවක් තියෙනවා දැන් අවුරුද්දකටත් වඩා වැඩියි..තාම ලියාගන්න හිත හදාගන්න බෑ..ඒ අතින් ඔබේ හිත මට වඩා හයියයි...
පුංචි මාමාට නිවන් සුව!
පුංචි මාමාට නිවන් සුව පතමි.!!!!!!!!!
ReplyDeleteපුංචි මාමාට නිවන් සුව!
ReplyDeleteඅපේ ජීවිත වෙනස් කරන අපි ලග ඉන්න හරි දුරක ඉන්න හරි කවුරුම හරි ඉන්නවා බං.. උඹේ පුංචි මාමත් අන්න එහෙමයි..
ReplyDeleteපුංචි මාමට නිවන් සුව පතනවා..
මං හිතුවෙ හොතපු එකක් කියලා ,සංවෙදි විදානේ අපේ ජිවිත වෙනස් කරපු හරි මගට ගන්න දගලපු මිනිස්සු නැති උනාම දැනෙන දේ වචන වලට පෙරලන එක ????
ReplyDeleteපුංචි මාමාට නිවන් සුව පතනවා !!!!!!!
යකෝ.....හිනාවෙන් කියවගෙන ඇවිල්ල අන්තිමට ඇස් බොඳ කෙරෙව්ව ...මල දානෙ ......
ReplyDeleteපුංචි මාමෙ ඔබට නිවන් සුව පතමි''''''''''! ...............................................
ඒක නං ඇත්ත කෙන්ජි...
Deleteමාත් හිතං හිටියෙ ජෝක් ස්ටෝරියක් කියල මෙන්න මේකා අපිට අඩවලා
ඔව්
පියෝ විප්පයෝගෝ දුක්ඛෝ...
ReplyDeleteපුංචි මාමාට නිවන් සැප ලැබේවා
හිතට දුකයි තමයි, නමුත් ඒක ඇත්ත තමයි..
ReplyDeleteආවා නමා ආ විදියට යා යුතුමත් තමයි..
මේ වගේ ඒවා ලියන්න එපා බොලව්....... ලඟින්ම හිටපු කිදෙනේක්ගේ මල ගෙවල් මට මිස් උනාද හෆොයි .......
ReplyDeleteපුංච් මාමාට ඔහු පැතු මතු බවයක්ම ලැබේවා................
මදැයි මාත් අර ගුටිකාපුව කියවද්දි උඹට හිනාවෙලා විහිලුවක් කරල යන්න හිතුවෙ. ඒත් අන්තිමට.....
ReplyDelete"ලොව ඇත්තේ යාම් ඊම් පමණය."
පුංචි මාමාට නිවන් සුව ලැබේවා !!!
සංවේදී සටහනක්. මේ පළකිරීමෙන් ඔබේ සිතට සැනසීමත් පුංචි මාමාට සගමොක් සුවයත් අත්වේවා!
ReplyDelete+++++
ReplyDeleteමට කියවද්දිම හිතුනා. මොකද පින්තුරේ දැක්ක නිසා.. පුංචි මාමේ සුභ ගමන්..
ReplyDeleteඒ මතකයන් හරියට වටිනවා මල්ලි....ඒ මතකයන් පරිස්සන් කරලා තියා ගත්ත උඹේ හිතේ චුටි මාමා ගැන තිබුන,තියෙන ආදරේ ,ගරුත්වය කොහොමද කියලා හිතා ගන්න පුළුවන්...
ReplyDeleteචුටි මාමාට නිවන් සුව!
ඒ වුනාට ළමයාට හිංසා කිරිම වැරැදි. මාමාට නිවන්සුව පතමි.
ReplyDeleteමං දැනගත්තා ඇස් බොදවෙන කතාවක් තමා කියලා.
ReplyDeleteපුංචි මාමාට නිවන් සුව පතමු!!!!!!
//පොඩි එකා උසස් පෙළ ලියා ගොඩ දාගත් දවසේ ස්වීට් බනිස් ගෙඩියක් සහ කෙහෙල් ඇවරියක් පත්තර පිටුවක ඔතාගෙන පුංචි මාමා ආවේය. එය පොඩිඑකා ලැබූ වටිනාම ත්‍යාගයක් විය.// අැත්තටම පොඩි එකා කාලෙ අර වගේ අත්දැකීමක් ලැබුවනං මේ තෑග්ග කවදාවත් නොවටිනා දෙයක් වෙන්න විදියක් නෑ.
ReplyDeleteපුංචි මාමාට නිවන් සුව ...!
සමහරවිට උඹේ ජීවිතේ වෙනස් උනේ ඒ මනුස්සය හින්ද වෙන්න පුලුවන් මචෝ.. !!!
ReplyDeleteනිවන් සැප ලැබේවා පුංචි මාමට..
ජීවිතේට හරි පාර පෙන්නපු විදානෙගේ පුංචි මාමාට නිවන් සුව ලැබේවා !!!!!!!!
ReplyDeleteදුකයි !
ReplyDelete//පොඩි එකා උසස් පෙළ ලියා ගොඩ දාගත් දවසේ// අන්න එදයි මාමට උපරිම ගෞරවය කරේ.
ReplyDeleteඒත් //මේ ලමය මේ අවුරුද්දේ මේ විදියටම ඉගන ගත්තොත් ලබන අවුරුද්දෙත් මේ පංතියේම තමයි තියන්න් වෙන්නේ"// කියපු ටීචර් මේ සටහන සහ විදානේගෙ අද දවස දැක්කනං?
උඹ මාමට දෙන්න ඕන උපරිම සැළකිල්ල දීලා ඉවරයි බං. ඒ එයාගෙ මහන්සිය අපතෙ නොයවපු එක..!!
ReplyDeleteආදරණීය මාමෙ, ඔබට නිවන් සුව පතමි!!!
මාමාට සුභ ගමන්!
ReplyDeleteකතාවකට වඩා ගොඩාක් රසවත් විදානෙ. මං දන්නවා දරාගන්න ගොඩක් අමාරුයි තමයි. මේ උඹේ ජීවිතයේ ටර්නිං පොයින්ට් එක වෙන්නැති.
ReplyDeleteඒ උත්තරීතර මනුෂ්‍යයාට නිවන් සුව අත්වේවා.
මමත් හිතන්නෙ උබ මාමගෙ මහන්සියට වටිනාකමක් දුන්න.පොඩි මාමට නිවන් සුව පතමු.හැබැයි අර ක්‍රමෙ වැරදියි
ReplyDeleteඋඹට පොඩි මාමා කෙනෙක් සිටීම ගැන සතුටු වෙයං. මටත් ඔය වගේ කෙනෙක් හිටියා(තවමත් ඉන්නවා). විදුහල්පතිවරයෙක් වෙච්ච අපේ තාත්තාට දෙන්න බැරි ඔවදන්, දඬුවම් දීලා මාව එක කාලෙකදී ඔය වගේ හැඩ ගැස්සුවේ ජයසේන බාප්පා. ඔන්න විදා මලයාගේ මේ කතාව හින්දා මට බාප්පා දුන්නු පනිෂ්මන්ට් වගයක් මතක් වුණා. ඉඩ ලැබෙන විදියට ලියන්නම්.
ReplyDeleteආදරණීය මාමෙ, ඔබට නිවන් සුව !!! හරිම සංවේදීව දැනුනා ..
ReplyDelete//පොඩි එකා උසස් පෙළ ලියා ගොඩ දාගත් දවසේ ස්වීට් බනිස් ගෙඩියක් සහ කෙහෙල් ඇවරියක් පත්තර පිටුවක ඔතාගෙන පුංචි මාමා ආවේය. එය පොඩිඑකා ලැබූ වටිනාම ත්‍යාගයක් විය. ඒ පත්තර පිටුව හා බනිස් කවරය තාමත් පොඩි එකා සතුව ඇත. //
ReplyDeleteමේ ටික කියවනකොට සිරාවටම කඳුළු ආවා විදානේ.
පුංචි මාමාට නිවන් සුව!
කොමෙන්ට් කල සියළු දෙනාටම වෙන වෙනම පිළිතුරු සපයන්නට බලාපොරෙත්තු නොවෙමි..
ReplyDeleteමා හා දුක බෙදාගැනීමට පැමිණි, අදහස් දැක්වූ, සියළු දෙනාටම බොහොමත් ස්තුතියි....