Showing posts with label පොඩි එකාගේ කථා... Show all posts
Showing posts with label පොඩි එකාගේ කථා... Show all posts

Saturday, April 22, 2017

මැරතන්...

"නැගපිය බයිසිකලේට"

මොකාද මේ.. හති ලමින් අමාරුවෙන් දුවගෙන යන පොඩි එකා හිස හරවා බැලීය.

හුටා මාලු සමන්...

"නැගපිය යකෝ ඉක්මනට"

මෙවර අවුරුදු උත්සවයේ මාර්ග ධාවන තරගයට පොඩි එකා එක් වූයේ දිනන්නටම නොව මැරතන් එක ඉවර වෙනකං දුවන්නට අහැක් දැයි බලන්නටය. තරගය ආරම්භ වන්නට පෙර ලවුස්පීකරයෙන් ගමන් මාර්ගය විස්තර කරන්නට විය. ඒ අනුව හිග්ගොඩ පංසල ගාව පුරං පිට්ටනියේ සිට දියලපේ හංදියටත් එතැනින් ප්‍රධාන පාරේ ඉලුප්පැල්ල හංදියට විත් තිත්තලේ පාරෙන් යාකබැද්ද හංදියට විත් අකුරැහි ටවුම මැදින් දෙණියාය පාරේ පොරඹ ඉස්කෝලේ ලගින් වමට හැරී ඒ පාර දිගේ මේ පිටිටනියට ඒම එහි ගමන් මග විය. ගමන් මගෙහි සැබෑ දුර හතැක්ම හයක් පමණ උවද පොඩි එකාගේ ගනන් හැදිල්ලට අනුව එය හැතැක්ම දහයකටත් වැඩිය.

තරගය දැන් ටික දුරක් ගොසිනි. පොඩි එකා සිතූ පරිදිම තරග කරුවන් බොහෝ දෙනක් ඔහුව පසුකර ගොස් ඇත. තවත් කීප දෙනෙක් තරගය අතහැර ගොස් ඇත. ඉඳහිට කවුරුන් හෝ ගසන වතුර පාරක් කාගෙන පොඩි එකා තමන් ගේ පාඩුවෙව් වල ගොඩැලි වලින් පිරුණු තිත්තලේ පාරේ දිව යන්නට විය.

"මං දුවලම එන්නං"

"ගුටිකන් නැතුව නැගපිය යකෝ.."

මාලු සමන් තමන් පැදවූ පාපැදියේ හැඬලයෙන් වම් අත ඉවත් කල අතර  පොඩි එකා තම දෑතින් හැඩලයේ මැද හරියෙන් අල්ලා පොඩි ගැම්මක් ගෙන පා පැදියේ හරස් පොල්ල වෙත පැන්නේ තව ටික වෙලාවක් හිටියානං මේ යකා මොනවා කරයිද නොදන්නා නිසාවෙනි. මේ බයිසිකලයේ පිටුපස ලොකු ලැගිජ් එකකි, එහි ලෑලි වලින් සෑදූ ලොකු පෙටියක් ගෙට ගසා ඇත. මෙම පෙටිටියේ මාලු දමාගෙන ගම වටේ කෑ ගසමින් ගොස් මාලු විකිනීම මාලු සමන්ගේ වර්ථමාන රැකියාවයි. 

මින් මාස දෙක තුනකට පෙර පොඩි එකාත් ඹහුගේ යහලුවනුත් කිහිප දෙනෙකුත්  ගොයං කපා ඇති කුඹුරක බොල ගසන්නට අනෙක් යහලුවන් එනතෙක් රැදී සිටින්නට විය. ඉන් එක් යහලුවෙකු කුඹුරේ විසුරුවා ඇති පිදුරු මිටියක් ගෙන නියරක වාඩි වී සිටී පොඩි එකාගේ ඇග මතට දමා මහ හඬින් සිනාසෙන්නට විය. එය දුටු අනෙක් උනුත් වහ වහා පිදුරු ගෙනැවිත් පොඩි එකාගේ සිරුර වැගෙන්නම දමා ඒ මතට පනින්නටත් ඒ මත පිනුං ගහන්නටත් විය. මින් බේරෙන්නට පොඩි එකා දඟලන විට ඔහුගේ මුහුණ ගොම ගොඩක් මත ඇතිල්ලුනි. මහත් වැර යොදා පොඩි එකා එලියට එන්නට හැදුවත් ඔහුගේ උත්සායහ සපල නොවීය. එක් වරම ඇසුනු කුණුහරුප වැලක් නිසා පොඩි එකා පිදුරු ගොඩයට තනිකර දමා අනෙක් උන් පැත්ත පලාතකවත් නොසිට පැන දුවන්නට විය. කවුදෝ එකෙක් විත් පිදුරු ගොඩ අයින් කර පොඩි එකා එලියට ඇද ගත්තේය. වෙන කවුරුත් නොව එතැන සිටියේ මේ මාලු සමන් ය. එදා මාලු සමන් පොඩි එකාගේ මුහුනේ ගැවී තිබූ ගොම කුඹුර අයිනේ ගලා ගිය ඇලෙන් සෝදා බයිසිකලයේ දමාගෙන ගෙදරටම රැගෙන ආවේය. මාලු සමනුත් පොඩි එකාත් දැන අඳුනා ගත්තේ ඒ විදියටය.

"උඹේ අංකේ කීයද??"

"මොකක්?"

"ඔය ෂර්ට් එකේ ගහලා තියෙන අංකේ කීයද?"

"දාහතර"

"ඉස්සරහ වංගුවේ  ඉන්න එකා ගාවදි හයියෙන් අංකෙ කියපං"

අවුරුදු උත්සවයේ මැරතන් එකේ පොඩිඑකාගේ අංකය දාහතරය. පහු කරගෙන ආපු  දෙපොලකදී කවුදෝ දෙන්නෙක් මේ අංකය බලා පොතක ලියා ගන්නවා පොඩිඑකාට මතකය. 

"දා...හතර.."

මාලු සමන්ගේ මුහුන දෙස යටහත් පහත් ලෙස බැලූ වංගුවේ හිටී එකා අතේ තිබුනු පොතේ මොකක්දෝ ලියනවා පොඩි එකා යන්තං දැක්කේය.

මේ මාලු සමන්ගට කොරගහන්නේ නැතිව ඇවිදින්නට නොහැකිය. ගමේ ලොකු උන් කියන විදියට මූට කේන්ති ගියාම අමු පිස්සෙකි. උන්ගේ කථාබහවල් වලදී හොයාගත් විස්තර වලට අනුව පොඩි කාලේ කාඑක්කදෝ රංඩු වී ගලකින් පල්ලට වැටී මොහුගේ කකුල කැඩිලලු. මාස ගානක් ඉස්පිරිතාලේ ඉදල සනීප උනත් සමන්ට ලොකු කොරයක් ඉතිරි වෙලාලු. කකුල කැඩෙන්න ඉස්සෙල්ලා මූ ඉස්කෝලේ හිටී හොද දිවිලි කාරයෙක්ලු. ජිනදාස මාමා සමනුත් එක්ක රංඩු වී බයිසිකලය ඇලට තල්ලු කර අමු තිත්ත කුණුහබ්බෙන් බනිමින් ඉක්මන් ගමනින් පිටත් වෙලා තියෙන්නේ මුගේ කොරේ ගැන ලොකු විස්වාසෙකින්ලු. ටික දුරක් ගිහිං හරිලා බලන කොට ජිනදාස මාමාට කොර කියාගන්න දෙයක් තිබුන් නැහ්ලු. මූ ඇලට පැනල බයිසිකලෙත් ගොඩට ඒකත් පැදගෙන,  දකුණු අතින් මාලු පිහියත් අමෝරාගෙන  යාර දෙක තුනක් ඈතින්ලු. ජිනදාස මාමා කැලේට පනින්න හදන කොටම මාලු පිහිි පාර මාමාගේ වං අත වෙං වෙන සයිස් එකටලු. මාමා ඉස්පිරිතාලෙලු. සමන් හිරේගියාලු. පොඩි එකා මූ ගැන ගමේ එවුන් කියපු කථා මතක් කරන්නට විය

"අංකෙ කියපං යකෝ.."

"දා.... හතර..."

මාලු සමන් හති දාගෙන බයිසිකලය පදියි. පොඩිඑකා සිදුවෙන කිසිදෙයක් හිතාගන්නට බැරිව බයිසිකලය මත වාඩි වීසිටියි. ඒ අතර තරග කරුවන් එකා දෙන්නා පසුකරමින් බයිසිකලය ඉදිරියට ඇදෙයි. 

දෙයියනේ... ඉස්සරහ තියෙන්නේ පුච්චපු තේ පැට්ටේරිය. මේ හරියේ  මිනිහෙක් සතෙක් මොකෙක්වත් නෑ. මේකා මාව කැලේට ඇදගෙන යයිද? පොඩි එකා හිතට මහා බයක් ඇතුලු විය. අනේ දැං මං මුගෙන් බේරෙන්නේ කොහොමද? හරි උඩ කන්ද හරියේදි කොහොම හරි බයිසිකලෙන් පැනල කැලේ මැදින් කන්දට දුවගෙන යනවා. පොඩි එකා  දස අතේ මුගෙන් ගැලවෙන විදියක් කල්පනා කරන්නට විය. නෑ.... මූ එහෙම එකෙක් නෙවෙයි මයේ හිතේ ඒකනේ අර ප්‍රගීතයව කුරුඳු කෑල්ලට ඇදගෙන යන්න හදපු අතුලයට ඇවිදින්න බැරි වෙන්න නෙලල තිබ්බේ. එම සිද්දිය මතක් වීමෙන් පොඩි එකාගේ බය මදක් අඩු උවත් ඒ පාලු මංඩිය පහුකරගෙන ආයෙත් මිනිස්සු ඉන්න හරියකට එනතෙක් පොඩි  එකා ගේ හිත හරියටම හදාගන්න නොහැකි විය. 

පහුකරගෙන ආපු ඈයින්ගාගේ නේ හැටියට  ඉස්සර තව පස්දෙනෙකුට වඩා ඉන්න බෑ.  මේ යන වේගේ හැටියට ගියොත් උන් ටික අල්ලගන්න එක අමාරු වෙනකක් නෑ. පොඩි එකා ආයෙත් තරෙගය ගැන කල්පනා කරන්නට විය.


"දා.... හතර... ලියා ගනිං යකෝ දාහතර.."

මාලු සමන් අංක ලියනා එකෙකුට මහ සද්දෙන් අණ කරයි. ඌ වහක් නැතිව මොනවදෝ පොතේ ලියා ගනියි. මෙසේ ටික දුරක් පැමිනි සමන්, පාර අයිනේ තිබූ මැටි ගැසූ කුඩා කඩයක් ලග බයිසිකලය නතර කලේය.

"අපිට බීම බෝතලයක් දියං.."

මෙම කඩයේ ඉදිරපස දොරකඩත් පැති බිත්තියත් අතර ඇති අඩි දෙකක් පමණ පලල තීරුවේ බිම සිට ඉහලට ලෑලි පටි ගසා රාක්කයක් සාදා ඇත. එහි එක් එක් තීරු වල එක එක වර්ගයේ බීම වර්ග තබා ඇත.  

"මොන බීමද ඕන ?"

"මොනව හරි මගුලක් ඉක්මනට දියං යකෝ..!, මං එන ගමන් සල්ලියි හිස් බෝතලෙයි දෙන්නං"

මැද තිබූ රාක්කයකට අත දැමූ මුදලාලි එහි තිබූ තැඹිලි පාට අලියා බීම බෝතලයක් ගෙන මාලු සමන් අත තැබීය. කටින් එහි මූඩිය කැඩූ මාලු සමන් බීම බෝතලය පොඩි එකා අතට දී නැවතත් බයිසිකලය පදින්නට විය.

"ඕක බීපං..!!"

බීම බොන්න ඹ්න මමයැ.. මූනේ හති දාගෙන බයිසිකල් පදින්නේ.. පොඩි එකාට එහෙම හිතුනත් බීම බොතලයෙන් බාගයක් විතර වන්න ඔහු ගිල දැම්මේ මහත් ආසාවෙනි. ඉතිරි බීම ටිකෙන් උගුරු දෙකක් විතර බිවු මාලු සමන් බෝතලය පසුපස ගෙට ගසා ඇති  මාලු පෙට්ටියට දමා බයිසකලයේ වේගය වැඩිකර පදින්නට විය.

තරගය ඉවර කරන ඇත්තේ තවත් ටික දුරකි හරියටම බැලුවොත් ඉස්සරහින් ඉන්නේ තවත් දෙන්නෙකි. එකෙක් නං ඉස්සරහ වංගුවේ දුවනවා පෙනෙයි. අනිකා නං පෙනෙන්නට නැත. ටිකක් ඈතින් ලවුස් පීකරයේ හඬ ඇසෙයි. මාලු සමන් බයිසිකල් පදියි. 

දෙවනියාද පසුවෙයි. මාලු සමන් ආයෙත් අංකය කියයි. ටික වේලාවකින් ඉස්සසරහා වංවෙන් පලවනෙියා මතුවෙයි. මිනිහාත් එක්ක තව දෙතුන්  දෙනෙක් වතුර ගසමින් දුවයි. 

"මං අර බෝක්කුව ගාවින් උඹව බස්සනවා ඊට පස්සේ කඩාගෙන දුවන්න ඕන පිට්ටනිට හරිද??"

පොඩි එකාට සියල්ල පැහැදිලි විය. දැං තියෙන්නේ කඩාගෙන දුවන්නය. හැතැක්ම ගානක් දුවගෙන ආපු පලවෙනියා දැං හොදටම හති වැටිලාය. පොඩි එකාට ඌ පහුකරගන ඉතිරි වංගු තුන දුවගෙන යන එක ඒ හැටි වැඩක් නොවේය. මාලු සමන් බෝක්කුව ලඟදී ඔහුගේ වං අත හැඬලයෙන් ඉවත්කර ගත්තේය කෂණයෙන් පාරට පැනගත් පොඩි එකා හැල්මේ දිවයන්නට විය.

"දුවපිය යකෝව්..!!!! දුවපිය.."

මාලු සමන් කැ ගසමින් පසු පසින් බයිසිකලය පදියි. අනික් වංගුව එනවිට පොඩි එකා ඉස්සරහින් ගිය එකා පසු කර පලවෙනියා  විය. තව ඇත්තේ ටික දුරකි. පොඩි එකාත් අනිකාත් අතර පරතරය වැඩි කර ගනිමින් පොඩි එකා ඉදිරියටම ඇදෙයි. ඉස්සරහ ලවුස් පීකරයෙන් මොන මොනවදෝ කෑ ගසයි. පාර දෙපැත්තේ ඉන්න උන් මහ හයියෙන් ඔල්වරසන් දෙයි. 

"දුවපිය යකෝව්..!!!! දුවපිය.." මාලු සමනා මහ හයියෙන් බෑඟිරි තලයි..

දුවන ගමන්ම පොඩි එකා පසුපස හැරී බලයි. මාලු සමනා ගේ මුහුණ දැං යක්ෂයකුගේ වගේය. ගමේ අය කියපු විදියට මූට කේන්ති ගියාම අමු පිස්සෙකි. පිස්සු වැඩිවෙලා මූ මට මාලු පිහියෙන්වත් ගහයිද දන්නෑ.. නෑ.. නෑ..
මූට දුවන්න බැරි හින්දා මැරතන් එකේ පලවෙනි තෑග්ග ගන්න මාව එක්කරන් ආවද දන්නෑ. ඹව් ඹව් හවසට තෑගි දීපු ගමන් මූ ඒ තෑග්ග මගෙන් උදුර ගනියි. එහෙම නැත්තං හැන්දෑවට කනමදය වගේ බීලා අපේ ගෙදර ඇවිත් රංඩු කරයි.

පොඩි එකාට දැං මාලු සමන්ගේ අරමුණ පැහැදිලිය.

හුහ් එව්වා කොහෙද මාත් එක්ක.

තරගය අවසන් කරන පීත්ත පටියට යාර කිහිපයක් තිබියදී පොඩි එකා පාර අයිනේ ඹල්වරසන් දෙමින් සිටී සෙනග අතරින් පාරේ අනෙක් පැත්තේ කුඹුරට පැන නියර දිගේ දිවගොස් කුඹුර කෙලවෙරේ ඇති ඇල පාරෙන් එගොඩට පැන, ආපසු හරී පාර දෙස බැලීය. පසු පසින් ආ තරග කරුවා දිනුම ලබාගෙන අවසන්ය. පාර අයිනේ මාලු පෙටියක් ගෙට ගැසූ පාපැදියේ සිටින මිනිසාගේ අඳුරු මහුණ පොඩි එකාට හරියටම අදුනාගත නොහැකි විය. ආයෙත් ගමන ඇරඹූ පොඩි එකා වෙල පාරෙන් නිවස බලා දුව යන්නට විය.

ප/ලි....

1. නං ගම් මනඃකල්පිතය..

2. පොඩි එකාගේ වෙනත් කථා

      1) රුපියල් දහය

      2) පැන්සල


   



Friday, September 12, 2014

පොඩි එකාගේ කථා 03 - රුපියල් දහය..




(අසූ හයේ විතර කථාවක්)

“ලාභයි.. ලාභායි, ලා..බායි...”

“ආ එන්න එන්න කිලෝඑක හතරයි, කිලෝඑක හතරයි’’

“වම්බොටු... බණ්ඩක්කා.. වැටකොළු... කිලෝ එකම හතරයි.. කිලෝ එකම හතරයි”

පොඩි එකා තම පියාගේ අතෙහි එල්ලී බොහෝ අමාරුවෙන්, සතිපොලේ බඩුගන්නට පැමිණි මිනිසුන් අතරින් ගමන් කරමින් ඉදිරියටම ඇදුණි.  පොලෙහි බඩු විකුණන වෙළෙන්දන්ගේ කෑ ගෑම පොඩි එකාට මහත් ආශ්වාදයක් විය. ඔහු එම වෙළෙන්දන් කෑ ගසන අයුරින් සිතින් මහ හයියෙන් කෑ ගසන්නට වූයේ මුවට අමුතුම සිනහවක් නගමින්ය. පොලෙහි එක් එක් කොටස්වල එලවලු, ලූණු, ගොඩගසා තිබූ ආකාරය නිරීක්ෂණය කරමින් ඒවා තරාදියේ දමා කිරන අයුරු දෙස බලමින් තම පියාගේ අත, අත නොහැරමින් පොඩි එකා පියා පසුපසම යන්නට විය.

සති පොලෙහි මැද හරියට වන්නට පැමිණි පොඩි එකාගේ පියා එලවළු එක් කූඩාරමක් අසල නතරවිය. මැදින් යකඩ පොල්ලක් සිටුවා ඝණ ඉටිකොලයක හරි මැද මෙම යකඩ බටයෙහි මුදුනට වන්නට සකසා, ඉටි කොලයෙහි හතර කොන ලනු පටවල් වලින් සිව් දෙසට ඇද මෙම කූඩාරම සාදා තිබිණි. ගෝවා, වැටකොළු, බෝන්චි, මෑකරල්, ලීක්ස්, වට්ටක්කා.. යනාදී එලවලු වටකර ගනිමින්, පොඩි එකාගේ සීයා එනම් පියාගේ පියා එම කූඩාරමෙහි විය.. තම සීයා එලවළු කිරමින්, ඒවා සිලි සිලි බෑග් වලට දමමින්, මුදල් රැගෙන ගණන්කර ඉතිරි මුදල් දෙමින් වෙලදාමේ යෙදෙන අයුරු පොඩි එකා ආසාවෙන් බලා සිටියේය..

වෙලදාම් කරන අතර තුර කූඩාරම අසලට පැමිණ ඇති තම පුතාත්, මනුපුරාත් දෙස බැලූ සීයා කිසිදු වෙනසක් නොපෙන්වා තම සුපුරුදු රාජකාරියෙහිම නිරත විය. මිනිත්තු කිහිපයක් එසේ ගෙවුනු පසු සීයා, එලවළු වලින් සිලි සිලි බෑගයක් පුරවා පියා අතට දුන්නේය.. කිසිඳු වදනක් නොදොඩා පොඩි එකාගේ පියා, පොඩි එකාද රැගෙන ආපසු එන්නට පිටත් විය. තම පියාත්, සීයාත් එකිනෙකා හා දොඩමළු වූ දවසක් ඇද්දැයි පොඩි එකාට මතකයක් නැත.. එපමණක් නොව තම පියා, තමා හා අන්තිමට කථාබස්කල දිනයද පොඩි එකාට මතක නැත.. අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව තමන්ට හොඳින් ගුටි පූජාවක් ලැබුණු අවස්ථාවක් විය යුතු යැයි පොඩි එකා සිතා ගත්තේය..

“පොඩි එකා...!!!! ”

සීයාගේ කූඩාරම පසුකර බඹ ගණනක් පැමිණියද, පොලෙහි වූ අන් වෙළදුන්ගේ හඬ යටපත් කරමින් තම සීයාගේ හඬ ඇසුනු පොඩි එකා එක් වරම නැවතිණ. කවදාවත් සීයාගේ දෑස් දෙස කෙළින් බලා නැති පොඩි එකා සීයා දෙස බැලූවේ වෙව්ලන සිතිනි. පොඩි එකා හිමින් හෙමින් නැවතත් සීයාගේ කූඩාරම දෙසට ඇදුණි. සල්ලි දමන්නට සාදා තිබූ ලී පෙට්ටිය ඇරි සීයා, ඉන් රුපියල් දහයේ කොලයක් ගෙන පොඩි එකා අත තැබීය. ඇස්, සිත් අදහාගත නොහැකි වූ පොඩිඑකා එම රුපියල් දහය තම අතට ගුලිකර ගෙන ඉමහත් සතුටින් යලිත් පියා හා එක්විය. 

කලින් යන විට ඇසුනු වෙළෙන්දන්ගේ හඬ දැන් පොඩි එකාට ඇසෙන්නේ නැත. ඇසුනද එය කලින් වතාවේ මෙන් ආශ්වාදයක් නොව මහත් කංකරච්චලයක් විය. දැං පොඩි එකාගේ සිත පිරී ඇත්තේ සීයා දුන් රුපියල් දහයෙන්ය. මෙතරම් විශාල මුදලක් පොඩි  එකා අතට එකවර පත්වූ පලමු අවස්ථාව මෙය විය. පසුගිය අළුත් අවුරුදේ වැඩිහිටියන්ගෙන් ලැබුණු තෑගි මුදල් සියල්ල එකතු කලවිට මීට වඩා වැඩි මුදලක් තිබුණා යන්තං මතකය. ඒත් එකපාරම මෙච්චර ගානක්...! ! 

පා පැදියේ පසුසු එලවළු බෑගය ගෙට ගැසූ පොඩි එකාගේ පියා පා පැදියට ගොඩ විය. “දැං තාත්තා දකුණු කකුලෙන් පැටල් එක ආපස්සට කරකවලා ඒ කකුලෙන්ම තද කරගන්නවා, මට තියෙන්නේ හැඬල් එක අල්ලං වම් පැත්තේ පැටල් එකට කකුල තියලා පොඩි ගැම්මක් අරං පොල්ල උඩින් වාඩිවෙන්න විතරයි.” පොඩි එකා මීලඟ පියවර ගැන සිතමින්ම රුපියල් දහය කලිසං සාක්කුව තුලට ඔබා ගත්තේ මහත් භක්තියෙනි. ඊලඟ මොහොතේ පොඩි එකා සිතූ සියල්ල එලෙසින්ම ක්‍රියාත්මක විය. තාර ගැලවුනු පාර දිගේ වලවල් මග හරිමින් තම පියා පා පැදිය පදිද්දී, පොඩි එකා රුපියල් දහය ගැන කල්පනා ලොවක තනි විය.

“මං මේ රුපියල් දහයෙන් කඩයක් දාන්න ඕන. මේකෙන් ටොපි ටිකකුයි රටකජු පැකට් වැලකුයි ගන්න පුළුවන් තව කඩි බිත්තර පැකට් දහයක් විතරත් ගන්න පුළුවන්.. ඒවා විකුණල හම්බෙන සල්ලි වලින් ආයෙත් බඩු ගන්න පුළුවන්.... බම්බුව ඒක හරියන වැඩක් නෙවෙයි අපේ කන්ද මුදුන්ට කවුද රටකජු ගන්න එන්නේ.. ගියපාර කඩේ දාපු වෙලාවෙත් අක්ක තමයි බාගෙට බාගයක් බඩු ගත්තේ සල්ලි දෙන්නං කියල.. කෝ ඒ සල්ලි හම්බුනෙත් නෑ.  මේ පාර ඒ මෝඩකම කරන්නෑ.. බලන්න ඕන වෙන දෙයක්.. මොකද කරන්නේ....... නෑෑ.... මේකෙන් මොනවහරි කනවා, ඔව් අර චොකලට් එකක් අරන් කනවා කාටවත් දෙන්නෑ...... හෙට ඉස්කෝලෙ ගිහිල්ලා කැන්ටිමෙන් බඩ පිරෙන්න කනවා...  නෑ නෑ... අම්මට කියල සෙල්ලං කාර් එකක් ගෙන්න ගන්නවා... ෂිහ් අවුරුදු කාලෙක මේක හම්බුනානං කැට ගහන්න හරි තිබුණා... ආ හංදියේ කඩේ තෑගි ටොපි වගයක් තිබුණා ගන්න ඕන ටිකක් ඒතේ තෑගිවලට තිබ්බ ප්ලාස්ට්ක් බොලේ හරි ඇදෙයිනේ......................”

මේ නොයෙක් නොයෙක් සිතුවිලි සමග සටන් කරමින් පැමිණියද නිවස පිහිටි කන්ද පාමුලට පැමිණෙන තෙක්ම පොඩි එකාට හරි හමන් තීරණයකට එලැබීමට නොහැකි විය. නමුත් මම දැන් රුපියල් දහයක අයිතිකාරයෙක් යන ධනවත් සිතුවිල්ල පොඩි එකාගේ සිත පීත්‍රියෙන් පුරවා තිබිණි. පා පැදියෙන් බැස නිවසට ගොඩවන පොඩි එකාට ගමේ කොල්ලන් කීප දෙනක් මගදී හමුඋවත් ඔවුන් හා වැඩි කථාවට නොගියේය. “පුහ්.. මුං කවුද මං දැං සල්ලිකාරයෙක්, ඒ හින්දා මුං එක්ක වැඩි බජනෙට යන්න ඕන්නෑ”  ආඩම්බරයෙන් උතුරා ගිය පොඩි එකාට සිතුණි. 

පඩි පෙළ දිගේ ඉහලට නගින පොඩි එකාට අළුතින් ඉදිකරන පහල ගෙදර පෙනුණි පාර පැත්තට වන්නට බැඳ ඇති මුදුන් බිත්තිය නිසා ඔවුන්ගේ පරණ ගෙදර දැං පාරට පෙන්නේ නැත. අලුතින් ඉදිකරන පහල ගෙදර ගැන සියුම් ඉරිසියාවක් පොඩි එකාගේ සිතෙහි මෝදු විය. වෙනදා නං ගෙදර යන පොඩි එකා පහල ගෙදරට නොවැරදීම ගොඩ වදියි. “නෑ.. මං එහේ යන්න ඕන නෑ. දැං මටත් සල්ලි තියනවා රුපියල් දහයක්ම” යයි සිතමින් පොඩි එකා පහල ගෙදර මගහැර කන්ද ගොඩවන්නට විය.

අවුරුද්දක් පමන වයසැති බවුන්ඩේසම හරහා, කටු මැටි ගැසූ, ටකරං සෙවිලි කල තම නිවසට පැමිණි පොඩිඑකා මහත් ආඩම්බරයෙන් අම්මා හෝ අක්කා ඇද්දයි සොයන්නට විය. අම්මා කුස්සියේ මොකක්දෝ වැඩකය.

“අම්මේ..”

“ආ.. පොලේ ගිහිං ආවද ?”

“අම්මේ.....”

“මොකද ඒ පාර තත්තා බැන්නද ?”

“නෑ....”

“එහෙනං..”

සාක්කුවට අත දමා රුපියල් දහය එලියට ගත් පොඩිඑකා එය අම්මා අත තැබීය.

“අම්මේ... මේ සල්ලි අරං අපේ ගේ හදන්න..” 

නිහඬව මොහොතක් බලා සිටී අම්මා හෙමිහිට පොඩි එකා තුරුල් කරගත්තාය. තවත් මොහොතකින් පොඩි එකාට ඇසුනේ අම්මාගේ ඉකි බිඳුම් හඬ පමණී......




Tuesday, August 5, 2014

පොඩි එකාගේ කථා 02 - පුංචිිි මාමා

"පොඩි එකා මෙහෙවරෙන්.."

"....."

"කෝ කවි ටික පාඩං කරාද?''

"ම්.. ටිකක් පාඩං..."

"කෝ කියපං බලන්න."

" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
  සත් හට වන බව දුකට වෙදානං...
  තිත් දන දුර .. ම්... අ...... අ.....
  ......."

"කෝ තොට ඒකවත් පාඩං නැද්ද, දැං දවස් කීයක් වෙනවද.. මෙහෙවර එළියට වර බූරුවා.."

කිසිත් නොකී පොඩිඑකා වෙව්ලමින් මිදුලට බැස්සේය. පුංචි මාමාගේ දෑස් කෝපයෙන් දිලිසෙනවා පොඩි එකාගේ ඇස ගැටුණි. ඒ දෑස් මගහරින්නට පොඩි එකා බිම බලා ගත්තේය.

"ගහපිය දන.."

ඒ අණට අවනත වෙනවා හැර වෙනත් කරන්නට දෙයක් නැත, පොඩි එකා බොරළු පොලෙවේ දණ ගසා ගත්තේය.

"දැං හයියෙන් පාඩං කරපන් කවිටික, මං එනකං ඔතනින් නැගිටින්න බෑ"

පාඩං පොත අතටගත් පොඩි එකා කවි කටපාඩං කරන්නට විය..

" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
  සත් හට වන බව දුකට වෙදානං...
  තිත් දන දුර දුරු ලන නිති දානං..
  සිත් සතොසින් නමදිම් මුණිදානං.."

තුනේ පන්තියේ දෙවන වාරවිභාගය අවසානයේදී පොඩි එකා ගිය ගමේ ඉස්කොලේ පංති බාර මිස් තම මවට පවසා ඇති දෙය නිසා දැං පොඩිඑකාට ගුටි තැලුම් කන්නටත්, එලෝකෝටියට බැනුම් අහන්නටත් සිදුව අැත.. ඉස්කොලෙ නිවාඩු දෙන දවසේ පාසැලට ගිය අම්මාට පංති භාර මිස් පවසා ඇත්තේ.

"මේ ලමය මේ අවුරුද්දේ මේ විදියටම ඉගන ගත්තොත් ලබන අවුරුද්දෙත් මේ පංතියේම තමයි තියන්න් වෙන්නේ" යනුවෙනි.

මේ ප්‍රකාෂයන් ත්‍රස්ත්‍රවූ පොඩිඑකාගේ අම්මා ඉස්කෝල නිවාඩුව අවසාන වූ විගස පොඩිඑකා ගමේ පාසලෙන් අස් කර, ඇගේ සොහොයුරාගේ එනම් පොඩි එකාගේ මාමාගේ නිවසෙහි නතර කර ඒ අසල පාසලකට ඇතුලත් කරනලදී.

දැං මේ පොඩි එකාට දස වද දෙනේනේ පොඩි එකාගේ පුංචි මාමාය. උදේ පාන්දර හතරට කූද්දයි නැත්තං සීතල වතුර පාරක් කන්න වෙනවා ශුවර්ය. පොතේ පාඩම් කියවන්න කියයි. වැරදුනු විට "චටාස්" ගා අතුල් පහරක් දෙයි. පිටපත් ලියන්න කියයි. වචනයක් වරැද්දුවගොත් නැවත මුල සිටම ලියවයි..

පොඩි එකාට අමාරුම වැඩේ චක්කරේ පාඩං කිරිල්ලය, එකක් වැරදුනහොත් එලව එලවා පහර දෙයි, හීන් තිරිවානා ගල් කැටයක් කංපෙත්තට තබා ඇඟිලිවලන් තදකරයි. නැගෙන කඳුළු බිඳු වලට නිදහසේ වැටෙන්නට ඉඩහැර පොඩි එකා නැවතත් පාඩං කරයි..

මොන දන්ඩ නීති තිබුනත් පුංචි මාමාත් එක්ක ගමන් බිමන් යන්න පොඩිඑකා බොහෝ ලැදිය. මන්ද ටවුමේ හොටයකට ගොඩවැදී බනිස් ගෙඩියක්, වියන්රෝල් එකක් කා ප්ලෙන්ටියක් ලැබෙන බැවිනි. ප්ලේන්ටිය බී අවසානයේ පුංචි මාමා සිගැරැට්ටුවක් ගෙන්වාගෙන එය දල්වා ගනී. පුංචි මාමා ගෙදරදී බොන්නේ "සැප සුරුට්ටුය" ඒවාද ජනේල් පඩිය උඩ තබා හීනියට ලියා කඩදාසි කොලයක ඔතාගෙනය. පුංච් මාමාගේ සුරුට්ටු ලියවිල්ල නිසා ජනේල පඩියද දුන්නක හැඩයට කැපී ගොස් තිබිණි.

පුංචි මාමාට දරුවන් සිටියේ නැත. එබැවින් ඔහු පොඩි එකාට දරුවෙකුට මෙන් සැලකුවේය. ස්ථිර රැකියාවක් නොකල ඔහු, දින දෙකකට හෝ තුනකට වරක් කොහෝ හෝ කුලී වැඩකට යයි, ඒ මුදල් වියදම් වී අවසන් වූ පසු නැවතත් වැඩට යයි. රකින්ට දරුවන් නොසිටී ඔහු රැකි ධනයක්ද නැත.

පුංචි මාමා නිදාගත්තේ සාලයේ තබා ඇති ලනු ඇඳකය, එතැන බිම පැදුරක පොඩි එකාද නිදාගනී, සමහර දිනවල රාත්‍රියේ මාමා, පොඩි එකාට අතීත කතන්දර කියාදෙයි, පුංච් මාමාගේ එක් පුරුද්දක් පොඩි එකාගේ සිත් තදින් පැහැර ගත්තේය. එනම් රාත්‍රියේ දී නොනවත්වා එක දිගට පඩ යැවීමයි. මේවා ගනන්කිරීම පොඩිඑකාගේ විනෝදාශයක් විය.

මුලින් මුලින් දස වද දුන්නත් පොඩිඑකා පාසැල් වැඩවල යම් වර්ධනීය මට්ටමකට ආ පසු පුංචි මාමා ගේ දඬුවම් ලිහිල් විය. වසර තුනකින් පසු පොඩිඑකා නැවතත් ගෙදර ආවේය. ඒ එම පාසලේ සිටී දීප්තිමත්ම සිසුවෙකු ලෙසිනි. එහි සියළු ගෞරව පුංචි මාමාට හිමිවිය යුතුය.

පොඩි එකා උසස් පෙළ ලියා ගොඩ දාගත් දවසේ ස්වීට් බනිස් ගෙඩියක් සහ කෙහෙල් ඇවරියක් පත්තර පිටුවක ඔතාගෙන පුංචි මාමා ආවේය. එය පොඩිඑකා ලැබූ වටිනාම ත්‍යාගයක් විය. ඒ පත්තර පිටුව හා බනිස් කවරය තාමත් පොඩි එකා සතුව ඇත. 

පුංචි මාමා..

* * * *
ගිය මාසේ අන්තිම සතියේ පොඩි එකාට අම්මා කථාකළාය.

"පුතේ පුංචි මාමා නැතිවෙලා..."

----------------------------
ප/ලි..
සමාවෙන්න, බොහෝ දේ ලියන්නට සිතා සිටියත් කිසිවක් ලියාගත නොහැක.. හිතේ දුක තුනීකරගන්න ලියමනක්, කථාවක් නොවේ...



Saturday, May 3, 2014

පොඩි එකාගේ කථා 01 - පැන්සල

"මැද එකාට ගහපන්'.."

පොඩිඑකා තම අතෙහි රැඳි ගල්පතුර පේලියහි මැද අැති කජු අැටයට ඉලක්ක කර විසි කළේය.

මේ අවුරුදු සමයෙහි අැරඹුමයි. පොඩි එකාගේ පාසැල් නිවාඩුව අැරඹෙන්නේ හෙට සිටය. ඔහු සවස් යාමයේ පහල ගෙදරට අාවේ කොල්ලන් කුරුට්ටන් සමග "වල කජු" ගැසීමටය.

උඩුකය නිරුවතින් සිටින පොඩි එකාගේ කට දෙපැත්තෙහි කජු කිරිවලින් අැතිවූ කැලැල් කිහිපයකි. දනහිසින් පහල කකුලෙහි කබොල්ල මතුවූ තුවාල කිහිපයක් වෙයි, දූවිලි වැදී පැහැය වෙනස් වී අැති ඔහු අැඳ සිටී කලිසමහි පසුසප, කන්දෙන් පහලට බුරුස් පැදීම නිසා මදුරු දැලක් පමනට තුනී වී අැත. එහි  ඉදිරිපස බොත්තම කැඩී යාම නිසා එතැන කටුවක් ගසා අමුණාගෙන අැත. මේ පොඩිඑකා පමණක් නොව මෙතැන සිටින පොඩි එවුන් හැමෝගේම විලාසය මීට මදකට වඩා වෙනස් නොවීය..

මේ නිවසෙහි  අඹ ගස යට කණප්පුවකි. කණප්පුව මත තම්බන ලද මඤ්ඤොක්කා පිගානක් සහ බදින ලද මාලු දීසියකි. මේ දකින පොඩි එකා කටට එන කෙළ ලොවට රහසේ ගිල ගනී. නිවසසෙහි හිමිකරුත් ඔහුගේ  මිතුරන් කිහිපදෙනකුත් කණප්පුව වටේට වැල් පුටු කිහිපයක් කබා එහි වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සීල් බෝතලයක් හිස් කරයි. විටක ඔවුන්ගෙන් නැගෙන පඩස්තල හිනා හඩ පොඩි එවුන්ගේ කෑ ගෑම යටපත් කර නැගී සිටියි.

වාතයෙහි ප්‍රථිරොධය නොතකා ඉදිරියට අැදුනු ගල් පතුර පොඩි එකාගේ ඉලක්කගත කජු අැටය මත පතිත විය. එය පොඩි එකාට ඉමහත් සතුටක් ගෙනදෙන්නක් විය. දැන් පිටියෙහි අැති සියළු කජු අැට තමාගේය.

"අාා.... දඩ. දඩ. දඩ.."

කරුමයක මහත තමා පහරදුන් කජු අැටය විසිවී ගොස් ඉදිරියේ අැති කජු අැටයෙහි වැදී අැති බව පොඩි එකා දුටුවේය. තම සාක්කුවෙහි අැති අන්තිම කජු අැටයද දඩ ලෙස පිටියට දමා පොඩි එකා නැවත ක්‍රීඩාවට එකතු විය.

"මෙන්න මේකා තමයි මං කිව්වේ" 

ගෙහිමියා තවකෙකුට පොඩි එකාව පෙන්මින් පවසනවා ඔහුට අැසුණි. පොඩිඑකා ප්‍රශ්ණාර්ථ මුහුණකින් යුතුව එ් පිරිස බැළුවේය. ඔවුන්ගේ දොඩමළු බව නතර වී තිබිණ. කනප්පුව මත අැති සීල් බොතලයෙන් තුන්කාලක්  පමන හිස්ව අැත. අතැති අසෝක වීදුවල අඩක් පමණ පිිරෙන ලෙස තේ කහට පැහැති මත් දිය පුරවාගත් ගෙහිමියාගේ මිතුරන් කිහිපදෙනාගේ ලොවිගෙඩි මෙන් රත් පැහැති  අැස් ගෙඩි පොඩි එකාව ඉලක්ක කර තිබිණි.

"එතකොට මූ තමයි සුමනෙගෙ කොල්ලගෙ පැන්සල හොරකං කරල තියෙන්නේ.."

"දැං සුමනේ එනව කිව්වා නේද?.."

"ඔව් ඔව් සුමනේ අාවම මේකව ගස්බැදල දිම්ගොට්ටක් දමයි.."

"බුහ් හක් හක් හක්..."

ගම දෙවන් වන්නට ඔවුන් සිනහවෙයි. අතැති මත් දිය වීදුරුව කටට හලාගත් එකෙක් පුටුවෙන් නැගිට බැදපු මාලු කැබැල්ලක් හපමින් පොඩි එකා දෙසට එයි. පොඩි එකා බයෙන් බිරාන්තවී බලා සිටියි. ඉදිදිරියට එන මිනිහාගේ රෟෙද්‍ර මුහුණත් හැඩි දැඩි සිරුරත් දකින පොඩි එකාගේ බය දෙගුණ තෙගුණ විය.

"හේ........"

කවුදෝ තවත් පොඩි එකෙක් වල කජු සෙල්ලමේ අන්තිම වටයද ජයග්‍රණය කර උඩ පනියි. දැන් ක්‍රීඩාව අවසන්ය. වල කජු ගැසූ පොඩි එවුන් සියළු දෙනාම පාහේ දැන් පොඩි එකා දෙස බලා සිටියි. "පැන්සලක් හොරකං කරාලු, සුමනේ මාමලැයි ගෙදර සුජිත්ගෙ. තමා එවැනි හොරකමක් කළේ ද නැත. නමුත් මේ නරුම රැල තමාව හොරකමකට කොටුකර අැත." පොඩි එකාට මේ කිසිවක් නොතේරිණ.
.

පොඩි එකා ඉදිරියට පැමිණි මිනිසා මදක් පහත් වී පොඩි එකාගේ නිකටෙන් අල්ලා ඉහලට එසැවීය. බයෙන් ත්‍රස්ත්‍රව සිටී පොඩි එකාගේ දැසේ කඳුළු කැට වැගිරෙන්ට විය. නාසයෙන් ගලා අා හොටු දියර උඩු  තාෙල දිග් කට දෙපසට බේරෙන්නට විය..

"උඹ පැන්සල ගත්ත නේද?"

එ් අර මිනිසාගේ රළු හඩයි. දැන් පොඩි එකාට ඉකිගැසෙයි. තම දකුනතේ අල්ලෙන්, නාසයෙන් ගලා අා හොටු දියර පිස එම අත්ල තම කලිසමේ පිසලා ගත් පොඩි එකා.

"අනේ මං.. පැන්සලක් ගත්තේ නෑ... මාමේ.."

"දැං උඹගාව පැන්සල් කීයක් තියනවද?.."

"එක පැන්සලයි තියෙන්න.."

"හොරකං කරපු එක නේද? හොදහිතිං එ්ක ගේනවා මෙහාට. නැත්නං සුමනේ අාවම අල්ලල දෙනවා"

"හරි හරී.. මාත් කෑල්ලක් කියන්නං..."

අන්තිම වාක්‍යය පොඩි එකත් එක්ක එකට වලකජු ගැසූ එකෙකුගෙනි. පොඩි එකා සතුව අැත්තේ එකම එක පැන්සලකි. එයද මීට සති දෙකකට කලින් පොඩි එකාගේ අම්මා ගෙනත් දුන් එකකි. සුදු පැහැති එම පැන්සලේ පාට පාටින් ලස්සන පින්තූර අැත. පැන්සලේ අග කෙළවර රන්වන් පාට කොපුවකින් වටකර රෝස පාට මකන කෑබැල්ලකි. එම පැන්සලහි දැන් බාගයක් පමන ගෙවී අැත. මකනය ගෙවී අැති නමුත් රන්වන් පාට කොපුව කටින් විකා අැතුලත වූ මකන කොටසක් මතුකරගෙන අැත. පොඩි එකා ජීවිත කාලෙය්දී අාසාවෙන්ම පාවිච්චි කළ පැන්සල මෙය විය.

පොඩි එකා පිටුපස නොබලා නිවස වෙත දිවගියේය. මෙ නිවසේ සිට පොඩි එකාගේ ගෙදරට ගල් පඩි හැටක් හැත්තෑවක් ගොඩවන්නට අැත. විනාඩියකටත් අඩු කාලයකදී පොඩිඑකා ගෙදරය. ටකරං සෙවිලිකල කටුමැටි ගැසූ, ගොම මැටිගෑ නිවසෙහි දෙපලු දොර තල්ලුකර ගෙට අැතුලුවූ පොඩි එකාට උදේ පාසල් ගෙනගිය සිලි සිලි බෑගය දිග අැර තිබූ බූරු අැඳ උඩ තිබී හමුවිය. එයට අත දමා පැන්සල් කොටය අතටගත් පොඩි එකා ඉක්මන් ගමනින් නැවතත් පහලට බහින්නට විය.

පොඩි එකා පහල ගෙදරට එද්දී ඔවුන් තවමත් සුපුරුදු කාර්යයෙහිම නිරත විය. සුමනේ මමා අැවිදින් දැයි වැට අයිනේ සිට සෝදිසි කල පොඩි එකා ඔහු නොමැති බව දැක බය මදක් තුනී කරගත්හ. හිමින් හිමින් අඔ ගහ යටට කිට්ටු වූ පෙඩි එකා කණුවකට මුවා වී මද වේලාවක් බලා සිටියේය. ඔහුගේ මිතුරු අනෙක් පොඩි එවුන් නැවතත් වලකජු සෙල්ලම පටන්ගෙන අැත. අඩියට දෙකට කනප්පුව වෙත අැදුනු ඔහු කිසිත් නොකියාම පැන්සල කනප්පුව මත තබා අාපසු හැරී නිවසකරා දුවයන්නට විය. මොහොතකින් අර පඩස්තල හිනාහඩ දෙසවන් රිදවමින් පොඩි එකාට අැසෙන්නට විය....

හැන්දෑ ජාමයේ පහල ගෙදර පොඩි එකා පැමින පැන්සල ගෙනවිත් දී "තාත්තල විහුලුවක් කරල තියෙන්නේ" කියා යන්නට ගියේය.. නමුත් එ්වන විටත් කිසිදාක පහල ගෙදරට නොබසිමියි පොඩි එකා ස්ථිර ලෙස අදිටන් කරගගෙන හමාරය..