Showing posts with label කථා. Show all posts
Showing posts with label කථා. Show all posts

Tuesday, August 14, 2018

නාය.... (කෙටිකථාව)

පිදුම - ආදරණීය විචාරකට


*******************************************************************************
නාය....

ඇය අතැති තේ කොප්පය දැං  සීතල වී බොහෝ වේලාය. එහෙත් ඇය එය හෙමින් හෙමින් තොල ගාමින් එපිටින් පෙනෙන ගොඩනැගිල්ලෙන් පහතට බසින තරප්පු පෙළ දිහා නෙත් යොමාගෙනය. ඇසි පිය ගසන්නට හැර ඇය එයින් නෙත් වෙනතක නොගත්තාය. ඇය කිසිවෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුවෙන් සිටිනා බව දකින ඕනෑම අයකුට වටහාගත හැක. ඇය සිටින්නේ ඇගේම කාර්යාලයේ ආපන ශාලාවේ කාර්යාල ගොඩනැගිල්ලේ තරප්පු පේලිය හොඳින් පෙනෙන මේසයකය. එම මේසය මත ඇය මිතුරෙකුගෙන් ඉල්ලා ගත් හෙල්මටයක් ද විය. කාලය විනාඩි තිහ හතලිහක් පමණ ගෙවෙද්දී ඇය සෙවූ රුව කාර්යාලීය උඩු මහලින් මහත් කලබලයෙන් පහලට බහින්නට විය.

ඔබ සිතුවා නිවැරදිය ඒ කලබලයෙන් පහලට බැස්සේ ඇයගේ පෙම්වතාය. ඇත්තම කිව්වොත් මීට සතියක් හමාරක් වෙනකං ඇයගේ පෙම්වතාය. හේතු කාරණා කිසිත් නොදන්වා ඇගෙන් වෙන්ව යන්නට සැරසෙන පෙම්වතාය. පසුගිය සතියක පමන කාලයේදී ඇයගෙන් කට්ටිපැන්න  පෙම්වතාට අද නම් ගැලවීමක් නොවුනි. ඔහු යතුරු පැදිය හරවා පනගන්වන්නට හදන විට හෙල්මටයකුත් හිස පැළඳි ඇය එහි පසුපසින් වාඩිවීය.  

"විකාර නැතිව බහින්න."

"බෑ.."

"මට වැඩ වගයක් තියනවා.."

"ඉවර වෙනකං මාත් ඉන්නං.."

"හරි හරි කොහෙටද යන්න ඕන.."

"ඕන තැනකට.."

ඇයත් සමග වාදයකට යාමේ  තේරුමක් නොමැති බව දැනගත් ඔහු යතුරු පැදිය පනගන්වා සෙමින් ඉදිරියට පදවන්නට විය. 

මෙම ආයතනට ඇය රැකියාවට පැමිණියේ මෙයට වසරකට පමණ පෙරදීය. ඉන් මාස දෙක තුනකට පමන පසු ආයතනයේම ඉහල නිළධාරියකු වූ දිනෙෂ් ඇගේ සිත් සොරකම් කරන්නට සමත් විය. ඔහුගේ ගම නාරම්මල කිට්ටුව ගමකි ඉඩකඩම් දේපල එතරම් නොමැති උවත් උන්න්දුවෙන් සහ උත්සාහයෙන් ඔහු මෙම තත්වයට පැමිණ ඇත. 

"සල්ලියබාගේ නැතිඋනත් ඔයාට ගැලපෙනව කියල හිතෙනව නම් අපි ටිකක් ඒ ළමයා ගැන හොයල බලමු..." ඇගේ පියාගේ මේ වඳන් ඇසුනු දින ඇය සතුටින් ඉපිල ගියාය.

දිනක්  කාර්යාලයේ මිතුරකුගේ පියකුගේ අවමගුලකට ඔවුනට හදිසියේම මාවනැල්ලට යන්නට සිදුවිය. ගමනට යොදාගත් වාහනය ප්‍රමාද වී පැමිනෙන බැවින් ඔවුනට හුරු යතුරු පැදියෙන්ම මාවනැල්ලට යන්නට පිටත්වුවා ඇයට අද වාගේ මතකය. ටික වේලාවක් මලගෙදර ගතකල ඔවුන් ඉක්මනින්ම නැවත පැමිණීයේ රාත්‍රී අට නවය වනවිටවත් නිවසට පැමිනෙන්නට සිතාගෙනය. එහෙත් එදින ස්වභාව ධර්මයා ඔවුනට හරස් විය ටික දුරක් පැමිණි පසු ඇද හැලුණු ධාරානීපාත වර්ෂාව විසින් ඔවුන්ව අතරමග නවාතැන්පලක නතරකරවුනු ලැබීය. රාත්‍රියෙහි බියර් කෑන් දෙකක් හිස් කල ඔවුන් දෙදෙනා වැස්ස වලාහක දෙවියන්ට පිං දෙමින් බොහෝ සතුටින් වෙහෙස මහන්සියෙන් රැය පහන් කලහ. පසුදින උදයෙහි ලේ පැහැ ගැන්වුනු ඇඳ ඇතිරිල්ල බෑගයට ඔබා ගනිමින් ඔවුන් මහත් සන්තාපයෙන් යුතුව නවාතැන් පොලෙන් නික්මිණ.

එම සිදුවීම සිදුවූයේ මෙයිට මාස හතරකට පමණ පෙරදීය. එදා බොහෝ කෙලිදෙලෙන් යුතුව යතුරු පැදිය පදින දිනේෂ් වෙනුවට අද සිටින්නේ වෙනමම මිනිසෙකි. ඒ වෙනස ඇති වූයේ මෙයට සතියකට හමාරකට පෙර සිටය. සති අන්ත නිවාඩුවකට ගෙදර ගොසින් පැමිණි දිනේෂ් හැසිරුනේ සිහි මඳ වූවෙකු ලෙසිනි, කිසිවෙකුටත් වැඩිපුර මුහුණ නොදුන් ඔහු, සෑම විටකම පාහේ ඇයව මගගැරියේය. දුරකථනයද කිසිවිටකත් වැඩකරන්නේ නැත. ඔහු දින කිහිපයක්ම රැකියාවටද නොපැමිණියේය. අන්තිමට ඇයට ආරන්චිවුයේ ඔහු වෙනත් රැකියාවක් සොයාගැනීමට උත්සාහ කරන බවයි. හදීසියෙන් ඇයව මුණ ගැසුණු විටදී ඔහු "මාව අමතක කරන්න - ප්ලීස්" යනුවෙන් පවසා ඉක්මනින්ම එතැනින් මාරුවිය.

මොහුගේ මේ වෙනස්වීමට හේතුව ඇයට නම් මහත් ප්‍රහේලිකාවකි. ඔවුන්ගේ නිවසින් ඇයට අකමැති වන්නට කිසිඳු හේතුවක් නැත. තවද ඇගේ නිවසින්ද ලොකු බලපෑමක් නැත. මොහු තමන්ව අනාතකර දමා යන්නට සදන සළෙලෙකුදැයි විටක ඇයට සිතුණි. එහෙත් පෙර සිදුවීමෙන් මාස හතරක් ගතවුනු තැන අදද ඔහුගෙන් ඇයට බලපෑමක් නැත. ඇයට මෙය මහා ප්‍රහේලිකාවකි එයට උත්තර ඇත්තේ ඔහු ලඟම පමණී. 
"මොඩයා මොකක් හරි සිම්පල් කේස් එකකට පිස්සු නටනවා ඇති. " ඇය ඇයටම කියා ගත්තාය.


"බහින්න.."

වෙනදා පැමිනෙන අවන්හලමය. කිසිවත් නොකියාම ඔවුන් දෙදෙනා ඔවුන්නට හුරුපුරුදු මේසය වෙත ගමන් කලේය. ඇය එක එලේලේම ඔහුගේ දෑස් දෙස බැලීය. ඔහුගේ දෑස් ඇගෙන් වහන් වන්නට අසීරු උත්සාහකය. 

"මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ..?"

"මට පිස්සු හැදිලා .. අනේ ප්ලීස් ප්ලීස් මාව අමතක කරන්න.."

"අමතක කරන්නං මෙච්චර දුර එන්න ඕනද? විකාර නැතුව මොකක්ද වෙලා තියෙන්නේ කියන්න..?"

ඇගේ පෙරැත්ත කිරීම්, තර්ජනය කිරීම්, හඬාවැලපීම්, හමුවේ අවසානයේ ඔහුට පරාජය වන්නට සිදුවිය. 

"මට සමාවෙන්න.."

"ඔය ආයෙත් මුලට එන්න හදනවා, දැං හොද ළමයා වගේ මොකක්ද උනේ කියන්න ?"

ඉද සිටි අසුනින් නැගිට ගත් දිනේෂ් අවන්හලෙහි ශීතකරණයවෙත ගොස් එහි ඇති සිසිල් වතුර බෝතලයක් ගෙන එක හුස්මට එය බීගෙන බීගෙන ගියේය. හිස් බෝතලය මේසය මතින් තැබූ ඔහු දෙඅත් මේසය මත තබා මදක් ඇගේ මුහුණ දෙසට එබීණ.

"අර මහව තියෙන සුපර් සිටි එක කාගෙද?..,"

"අයියෝ මං දවසක් කිව්වේ ඒ බිල්ඩිම අපේ තාත්තගේ දැං සුපර් සිටි එකට කුලියට දීල තියනවා. දැං ඒකේ මාසේ කුලිය වැටෙන්නේ මගේ එකවුන්ට් එකටනේ "

"කුලියක් මං ඇහුවෙ නෑනේ ඔය මගුල දාන්න කලින් ඔතන මොකක්ද තිබුනේ?"

"අනේ ඇයි මේ විකාර කථා කියන්නේ .. හරි හරි.. මං මුල ඉඳන්ම කියන්නං කෝ අහගන්න, අපේ තාත්තලාගේ මහ ගෙවල් මහව ඒකාලේ තාත්තා ඔතැන  පොඩි බුක්ෂොප් එකක් දාගෙන ඉඳල තියනවා. අම්මව මැරිකලාට පස්සෙ මෙහෙට ඇවිත් පදිංචිවෙලා, පස්සේ ඔතන අලුතින් බිල්ඩින් එකක් හදලා සුපර් සිටි එකට දීලා තියෙනවා.. එච්චරයි"

යලිත් ටික වේලාවක දැඩි නිහඬතාවකි. ඇය බලාපොරොත්තු සහිතව ඔහුදෙස නෙත් යොමාගෙනය. ඔහු මුහණ පහතට හරවා දෑසින් වැටෙන කඳුලු පිහිදමිනි. 

"දන්නවද ? " නිහඩියාව බිඳිමින් ඔහුගේ බිඳුනු හඬය..

"මොකක්ද?"

"අපේ අම්මා කලින් වැඩකරලා තියෙන්නේ ඔය බුක්ෂොප් එකේ තමයි"

-------------------------------------------------------


(නම් ගම් මනඃකල්පිතයි)
නිමි -


Wednesday, March 9, 2016

පෙරලෙන රිය සක...

අවුරුදු පහක් තිස්සෙම පාළුවට ගිය. ඉඳහිටවත් කිසිවෙකුත් පය නොතැබූ ලොකු හාමුදුරුවන්ගේ කුටිය අස්පස්කර දැමිය යුතු යැයි නාරද හාමුදුරුවන්ට සිතුනේය. ලොකු හාමුදුරුවෝ අපවත් වූවායින් පසු වසා දැමුනු මේ කුටිය කාලයත් සමගම පාළුවට ගියේ කිසිවෙකුටත් නොදැනීමය. පංසල් මිදුලේ අලුතින් මනරම් ගොඩනැගිලි ඉදිකලත් ලොකු හාමුදුරුවෝ අපවත් වන තුරුම වැඩ වාසයකලේ පංසල් ඉඩමෙහි කෙලවරට වන්නට තිබූ මේ කුඩා කුටියේය. මලකඩ කා තිබූ පැරණි ඉබ්බා අයාසයෙන් ගලවා දැමූ නාරද හාමුදුරුවෝ කුටිය තුල වූ මකුළුදැල් වල පැටලෙමින් ගොස් ජනේල් පියන් කිහිපයක් ඇර දැමීය.

නාරද හාමුදුරුවෝ මහනදම් පුරන්නට එනවිට යන්තාම් පාසල් යන වයසට ආවා පමණය. වැඩි මහලු සොහොයුරන් දෙදෙනෙකුත්, බාල සොහොයුරිකත් නාරද හාමුදුරුවන්ගේ පවුලේ විය. අවුරුද්ද තිස්සේම දවස් කුලියට පතල් කැනීමට යාම නාරද හාමුදුරුවන්ගේ පියාගේ රැකියාව විය. දවසේ වෙහෙස නිවාගැනුමට හවසට මධුවිතින් සප්පායම් වන ඹහුට දරු පවුල රැක ගැනීම උදෙසා ඉතිරිවන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවුනි. අමාරුවෙන් හෝ මේ දරු පවුලේ කුසගින්න නිවුනේ නාරද හාමුදුරුවන්ගේ මව ඉඳහිට කාගේ හෝ තේ වත්තක දලුනෙලීමෙන් ලබාගන්නා මුදලිනි. 

දිනක් ඔහුව පංසලේ ලොකු හාමුදුරුවන් වෙතට බාරදුන් ඹහුගේ දෙමව්පියෝ කඳුළු සඟවන්නට උත්සාහ කරමින් පංසලෙන් නික්මෙනවා නාරද හාමුදුරුවන්ට යාන්තම් මතකය. ඔහු වසරක් පමණ පංසලේ කුඩා කුඩා ආවතේවකම් කරමින් සිටියේය. එක්තරා පුන්පොහෝ දිනක ඔහුගේ හිස මුඩුකොට සිවුරු අන්දවා "මදටියතැන්නේ නාරද" නමින් පැවිදි බිමට ඇතුලත් කලහ. 

ලොකු හාමුරුවන්ගේ අවවාද අනුසාසනා සහ ඉඳහිට ලැබුනු වේවැල් පහරවල් කාගෙන නාරද හාමුදුරුවෝ හොදින් ඉගැනුම් කටයුතු වල නිරත විය. පංසලේ පැවැත්වෙන සෑම පිංකමකම වාගේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නට තරම් කුඩා නාරද හාමුරුවෝ දක්ෂ විය. ඉදිරියේදී මේ පංසලත්, ගමත් බබලවන්නේ මේ කුඩා නාරද හාමුදුරුවන් බව ගමේ සැමදෙනාගේම විස්වාසය විය. නිසි වයස් එලැඹුණු කල්හි උපසම්පදා බිමට ඇතුලත් වූ මදටියතැන්නේ නාරද හාමුදුරුවෝ පිළිගැනීමට පංසලේ නායක හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් දායක සභාව විසින් විශාල උත්සවයක් සංවිධානය කර තිබුණි. එදින රාතියේ හතරපේරුවේ දායක දායිකාවන් වෙත නාරද හාමුදුරුවන් විසින් මනරම් ධර්ම දේශනාවකින් සංග්‍රහ කරන ලදී.


"නාරද..."

"හාමුදුරුවනේ.."

"තමුන්ට දැං සිවුරේ ඉඳියා ඇති කියලා හිතෙනවං උපාධිය ගන්න කලින් ඕක බිමින් තිබ්බට කමක් නෑ.."

"අනේ එහෙම නෑ හාමුදුරුවනේ.. ඒත් ඇයි එහෙම කිව්වේ.."

"නාරද.. ගිහියෙකුට කරන්න පුළුවන් දේවල් අපිට මේ සිවුරේ ඉඳන් කරන්න බෑ.. මං කිව්වේ රස්සාවක් උනත්.. අනික ගස් ගල් පෙරලන වයසේ ඉන්න තමුන්ට පරස්සාවක් එහෙම උනත් කරගන්න බැරිකමක් නෑනේ..."

"අනේ ඕන නෑ හාමුදුරුවනේ මං බලන්නේ කොහොම හරි හොඳට ඉගනගන්න.."

"හොඳයි හොඳයි... හැබැයි තමුන් සිවුර තියල ගියා කියල මගේ අමනාපයක් හෙම නෑ ඕං.."

"නෑ හාමුදුරුවනේ මට මෙහෙම හොඳයි..,"

මකුළු දැල් කඩමින් දූවිලි පිසදමමින් සිටින නාරද හාමුදුරුවන්ට තමන් විශ්වවිද්‍යාල පලමු උපාධිය ලබාගැනීමට පෙර නායක හාමුදුරුවන් තමන් හා දොඩමලු වූ අයුරු සිහිපත් වන්නට විය. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳින් හමාර කල නාරද හාමුදුරුවෝ ඉන්පසුව ශාස්ත්‍රපති උපාධියත්, පණ්ඩිත විභාගයත් ඉහලින්ම සමත් විය. ටිකින් ටික කල්යත්ම මදටියතැන්නේ නාරද හිමි යන නම මුලට "ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අති ගෞරවණීය" යන නාමය එකතු විය. කුඩා කල ගම්මුන් නාරද හිමියන් ගැන දැක්වූ අදහස් සපල කරමින් නාරද හාමුදුරුවෝ පංසලේත්, ගමේත්, ප්‍රදේශයේත් කීර්තිමත් සංඝයාවහන්සේ නමක් විය.

ටික කලක් රෝගාතුරව සිටී නායක හාමුදුරුවෝ, ගිහි පැවිදි සියළු දෙනාගේම දුක් සෝ සුසුම් මැද අපවත් වී වදාලේය. උන් වහන්සේගේ ඉල්ලීම මත බොහෝ චාම්ව ආදාහන කටයුතු සිදුකිරීමට නාරද හාමුදුවන් සහ දායක සභාව කටයුතු කලේය. ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු නිතරගයෙන්ම විහාරාධිපති තනතුරු නාරද හාමුදුරුවන්ට හිමිවිය. ලොකු හාමුදුරුවන්ගේ තුන්මාසේ දානය බොහෝ ඉහලින් පැවැත් වීමට නාරද හාමුදුරුවෝත්, දායක සභාවත් කටයුතු කලේය. 

තුන් මාසේ දානය වෙනුවෙන් නිතර මහන්සීවී වැඩ කටයුතු කල අහල කමලිනී නාරද හාමුදුරුවන්ගේ සාධු සිත අවුල් කරන්නට විය. එක් දරු මවක වන ඇගේ හැසිරීම බොලඳ තරුණියකගේ මෙන් විය. නාරද හාමුදුරුවන්ගේ දැහැන කෙමෙන් කෙමෙන් බිඳීයන්නට විය. කිසිවකුත් නොසිටි වැසිබර හෝරාවක නාරද හිමිත් ඇයත් ආවාස ගෙය තුල තනිවිය. ඇගේ පිරිපුන් සිරුර නාරද හිමිට රසදුනක් විය. තරුණ විය ඉක්මවන්න වයසේ සිටින නාරද හිමියන් ඇය ඉදිරියේ කොලු ගැටයකු සේ ශිල්ප දක්වක්නට විය. අහස ගුගුරමින් මහ වැසි වැටෙන මොහොතේ, අකුණු පහරක් මෙන් සියල්ල අවසන් කල නාරද හිමි කමලිනීගේ නිරුවත් සිරුර මත ගිමන් හරින්නට විය.

ඉනික්බිති ඉඩ ලද සැම විටම ඉතාමත් හොර රහසේ නැවත නැවතත් මේ රංගනය සිදුවන්නට විය. 

නමුත් කමලිනීගේ කුසට තවත් දරුවෙකු පැමිණිමෙන් මේ රාග රංගනය හමාර විය. මේ දරුවා නාරද හිමියන්ගේ බව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකුත් නොදැන සිටීම බොහෝ ගැටළු මගහරවන්නට සමත් විය. නමුත් තමුන්ගේ ලෙයින් උපන් දරුවා දකින විට නාරද හිමියට තමන් කිසිදු යුතුකමක් ඉටු නොකරන පාදඩ තාත්තා කෙනෙකුය යන සිතුවිල්ල නිතර නිතර පහල විය.

"එදා ලොකු හාමුදුරුවෝ කියපු විදියට මාත් සිවුර දාලා ගියානං රස්සාවකුත් කරගෙන දරු පවුලක් බලාකියාගෙන ඉන්නවනේ. "

පැරණි කබඩ් එකේ පොත් පත් අස්පස් කරමින් සිටින නාරද හාමුදුරුවන්ට සිතුනේය. කබඩ් එකේ යටටම වන්නට ලොකු හාමුදුරුවන් ගේ උපසම්පදා උත්සවය දවසේ ලබාගත් ඡායාරූපයක් විය. 

"මේක සුද්ද පවිත්‍ර කරලා අරන් ධර්ම ශාලාවේ උඩින්ම එල්ලන්න ඕන.."

රෙදි කැබැල්ලකින් ඡායාරූපයෙහි දුහුවිලි පිසදැමූ නාරද හාමුදුරුවෝ මොහොතක් ඒ දෙස බලාසිටින්නට විය. කුමක්දෝ අමුත්තක් දැනුනු උන්වහන්සේ ඡායාරූපයද රැගෙන තමාගේ අවාසගෙය වෙත දුවගොස් එහි ඇති තමාගේ උපසම්පදා ඡායාරූපය අසලින් එය තබා ඡායාරූප දෙක එකිනෙක සසඳන්නට විය එහිදී උන් වහන්සේට අළුත් සහ පැරණි යන යන වෙනස පමණක් පැහැදිලිව හඳුනාගත හැකි විය.

-----------------------------------------------------

පලි/ 01. විදානේගේ මලදානෙට නොහොත් විදානේගේ ** දානේට ඊයෙට හරියටම අවුරුදු දෙකයි.. (හිප් හිප් හුරේ...................)

මේ දක්වා දමා ඇති පොස්ට් සියල්ල කියවූ, අදහස් ඉදිරිපත් කල, සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

තවද මට මේ බ්ලොග් ලෝකේ තුල දිගු කාලයක් රැදී සිට රසවත් හරවත් වර්ණවත් පොස්ටු ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

මට

ජ ය වේ වා !!!



Tuesday, September 8, 2015

ගං වතුර...

හමනා දැඩි සුළගත්, විටින් විට ඇසෙන අකුණු ගසනා හඬත් නිමාලි නින්දෙන් අහරවන්නට සමත් විය. හවස් ජාමයේ සිට කළුකර තිබූ අහස මහ වැස්සක් වස්සන්නට සැරසෙන බව නිමාලිට දැණුනි. පොරවාගෙන සිටී චීත්ත රෙද්ද අහකට කල නිමාලි ඇඳ මත වාඩිවී මේසය මත දල්වා තිබූ චිමිණි ලාම්පුවේ දැල්ල මදක් වැඩි කර ඒ අසල තිබූ එලාම් ඔරලෝසුව ගෙන වෙලාව බැළුවාය. 

"එකොලහට විස්සයි, අදනං එලිවෙනකං වහී වගේ" ඈ තමාටම කියාගත්තාය.

වහලයෙහි සෙවිලිකර ඇති ටකරං මතට ටක ටක හඬින් වැහිබිඳු වැටෙන්නට විය. ලෑලි ගසා ඇති බිත්තියේ ලෑලි අතරින් එන සීතල සුලඟ ඇඟෙහි හිරිගඩු පිපෙන තරම් විය. ඒ සීතල දැනිලාදෝ නිමාලිගේ අටමස් කුස තුල සිටින සිගිත්තා පා පහරවල් කීපයක් එල්ල කරන්නට විය. ආදරණීය සතුටකින් තම කුස හිමිහිට පිරිමදිමින් නිමාලි ඇඳෙහි අනෙක් පස නිදනා තම සැමියා දෙස බැලීය. ඔහු තවමත් සුව නින්දේය. මහවැස්සත්, ඒහා සමග හමනා සුළගින් එන ගුප්ත සීතලත් නිසාදෝ ඇය සැමියාගේ තුරුල්ලටම වන්නට විය.

දහ නව හැවිරිදි වියේ සිටිනා නිමාලි පවුලේ මද්දුමී විය. ඇගේ පියා අල්ලපු ගමේ පාසලේ ගුරුවරයෙකි. ඇගේ මව කලින් ගුරුවරියකව සිටියත් දරුවන් තිදෙනාගේ රාජකාරී වලට මුල්තැන දීම සඳහා එයිත් ඉවත් වී ඇත. පියාගේ වැටුපත් වත්ත පිටියෙන් ලැබෙන ආදායමත් අග හිගයකින් තොරව ඔවුනට ජීවත් වීම සඳහා තරම් විය. මල්ලී අම්මාගේ හුරතලා වන විට තත්තාගේ හුරතලිය බවට පත් වූයේ නිමාලිය. 

නිමාලි සාමාන්‍ය පෙළ ලියනා විට ඇගේ සොයුරිය උසස් පෙළ ලියා විශ්වවිද්‍යාලට තේරුනේ සිය පවුලමට ආඩම්බරයක් වෙමිණි. අක්කා වගේ මාත් කොහොම හරි කැම්පස් යනවා එවෙලහි ඈ අදිටන් කර ගත්තාය. ඒ අදිටනින් යුතුව උසස් පෙළ පන්තියට ඇතුළු වන නිමාලිගේ ජීවිතය මේ ලෙස වෙනස් වේයැයි ඇයද සිහිනෙකින් වත් නොසිතුවාය.

හතර අතින් ගොරව ගොරවා වහින වැස්ස දැන් පැයකටත් වැඩිය, අඩු වැඩි වීමකින් තොරව ඒකාකාරීව ටකරන් මතට වැටෙන වැහි බිඳු මහා ඝෝෂාවක් විය. සුළගෙහිද අඩුවක් නැත. ගඟ ගලයිද? නෑ එහෙම වෙනකක් නෑ. ඇය සිත සැහැල්ලු කරගන්නට මෙන් සිතා ගත්තාය.

තම පාසලේම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් සම්පත් තමන් කෙරෙහි විශේෂ ඇඟෑලුම් කමක් දක්වන බව ඇය නොදැන සිටියාම නොවේ. එහෙත් ඇය එය ගනනකට නොගෙන තමන්ගේ පාඩුවේ ඉගනුම් වැඩ කටයුතු වලම නිරත විය. නමුත් දිගින් දිගටම තම ඒකායන අරමුණහිම සිහි එලවාගෙන සිටින්නට තරම් නිමාලිගේ සිත සවිමත් නොවීය. ඇයටද නොදැනීම ඇගේ සිතිවිලි වල සම්පත් ගේ රුව සක්මන් කරන්නට විය. ඇගේ පාඩම් පොත් පිටුවල තිබූ සටහන් යටපත් කරගෙන සම්පත් ගේ දඟකාර රුව මැවෙන්නට විය. ඉනික්බිති පාසලද පන්තියද යටපත් කරමින් නිමාලි - සම්පත් ආදර අන්දරය ගලාගියේ නිමාලිගේ විශ්වවිද්‍යාල සිහිනය පොඩි පට්ටම් කරමිනි.

කුඩා රිකිල්ලකින් ඇරඹි ආදර පැලය යාන්තමින් අතු ඉති රිකිලි දමා වැඩෙද්දීම නිමාලිගේ පියා ගේ දෑතට හසුවිය. ඉනික්බිති තම නිවසින් අප්‍රමාන දොස් පරොස් ඈ වෙත එල්ල වන්නට විය. නිමාලිගේ නිවසින් සම්පත්ට අකමැති වීමට හේතු සාධක ඕනෑවටත් වඩා තිබිණි. සම්පත්ගේ පියා සොරකම් කිහිපයකටම හිරේ විලංගුවේ වැටුනු අයෙකි. සතියකට වරක් දෙකක් අනිවාර්යයෙන්ම කා සමග හෝ දබරයක් ඇති කර ගැනීම ඔහුගේ සිරිත විය. ගුරු පාර කෙලවරට වන්නට තිබූ සම්පත්ගේ කුඩා නිවසෙහි නව දෙනෙකු ජීවත් වෙති. සම්පත් ගේ වැඩිමහලු සොයුරන් දෙදෙනා කිසිඳු රැකිකියාවක් හෝ ඉගනුමක් නොමැතිව හංදියේ කඩපිල්වල රස්තියාදුවේ නිරතවෙයි. සම්පත් ගේ වැඩිමහල් සොයුරිය ගැන ගම්මුන් කියන නීරස කයි කතන්දර වල සත්‍යයක් නැත්තේම නොවේ.

"අපි පැනල යමු."

දෙවරක් හිතන්නට දෙයක් තරම් නොවීය. ඇය ඇසූයේ කවදාද යන්න පමණී. ඉනික්බිති ටවුමේ රෙජිස්ටාර් ඉදිරියේ විවාහය සහතික කල නව යුවල, තුන් රෝද රියකින් රියකින්  ඉගිලිනුනේ තමන්ට කියා ලෝකයක් තනාගන්නටය. විවාහවී සම්පත්ගේ නිවසෙහි නතර වීම කෙතරම් දුෂ්කරදැයි ඇයට වැටහුනේ එහි ආ මුල්ම දිනයේය. ඔහුගේ මව කථාබහ කරන සාමාන්‍ය විලාශය පවා නිමාලිට බිය උපදවන්නට තරම් විය. නව දෙනෙකු ජීවත් වූ නිවසෙහි දසවැන්නා වූ නිමාලි එදින රෑ ජීවිතයෙහි පලමු වරට පන් පැදුරක ගුලි වී නිදන්නට විය.

සම්පත්ගේ නිවසට මෙපිටින් බස් පාරට කිට්ටු වන්නට ඟඟත් පාරත් අතරට වන්නට වූ කුඩා බිම් තීරුවකි. ගම්මු මෙය හැඳින්වූයේ රිසිවේසන් පටිය කියාය. දින දෙක තුනක් ඇතුලත මේ බිම් තීරුවෙන් කොටසක් එලි පෙහෙලි වී ලෑලි බිත්ති බැඳි කුඩා නිවසක් ඉදිවිය. බොහෝ සෙයින් සාමයට ලැදි ගමේ ග්‍රාම නිළධාරී මහතා මෙසේ රිසිවේමෙහි ඉදිකරීම් නොකරන ලෙස නිල වශයෙන් දන්වා ඉක්මනින්ම මාරු විය. සතියක් යන්නට මත්තෙන් නිමාලිත් සම්පතුත් ඔවුන්ගේ මාලිගාවක තනිවන්න විය. මේ අතර සම්පත් හංදියේ ගරාජයේ සුළු රැකියාවක් සොයා ගත්තේ ඔවුන් ගේ බොහෝ ගැටළු වලට තිත තබමිනි.


මේ අතර නිමාලිගේ අම්මාත් තාත්තාත් නිමාලිව සොයා කිහිප විටක්ම ඇගේ අතු පැල වෙත පැමිණ අයැද සිටියේ මේ සියල්ල අතහැර නැවත නිවසට එන ලෙසයි. නමුත් තමන්ගේ සුරවිමනෙහි සුර සැප විඳින නිමාලි ,මව් පියන්ගේ අයැදිලි පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් මායිම් නොකලාය. බහින්බස් වීම දුර දිග ගිය එක් දිනක ඇගේ කෙස්වැටියෙන් අැද කම්මුල හරහා පහරක් එල්ල කල ඇගේ පියා ඉකි ගසමින් නික්ම ගියේ "මගේ මද්දුමී මලා" යැයි පවසමිනි. පියාගෙන් ලද අතුල් පහරේ වේදනාවට වඩා ඔහුගේ ඉකිගැසුමෙ වේදනාව නිමාලිගේ සිතෙහි බොහෝ දිනක් රැදී පැවතුනි. එතැන් පටන් නිමාලිගේ මවුපියන්ගෙන් ඇයට කිසිඳු කරදරයක් නොවීය.

 "යකෝ සම්පතෝ දෝර ඇරපිය..තොපිි මේකට වෙලා මැරෙන්නද හදන්නේ.. "

කාගේදෝ කෑ ගැසීමක් ඇසී නිමාලිට එකවරම ඇස්ඇරින. සම්පත්ද ඒ හඬින් අවදි වී තූෂ්නිම් භූත වී ඇත.. කෑ කොස්සන් ගෑම එන්න එන්නම වැඩිවන විට නිමාලි ඇඳෙන් බිමට අඩිය තිබ්බාය. දෙපතුලට දැනුනු තද ශිතලත් සමග ක්ෂණයකින් ඇයට සියල්ල අවබෝධ විය. උපදින්නට සිටින බිළිදාට රැගත් මෙවලම් සහිත බෑගය රැගත් නිමාලි සම්පත්ද ඇදගෙන රිසිවේසමේ ලෑලි නිවසින් පාරට පිනූයේය..

මහ වරුසාවෙහි කෙලවර කිසිවෙකුටත් නිගමනය කල නොහැකි විය. කෙමෙන් කෙමන් අඳුර දුරලා හිරු උදාවන්නට විය. නමුත් ඒ හිරු කිරන වසාලමින් ඝණ අඳුර දිගින් දිගටම රජයන්නට විය. පාර අයිනේ වූ ගල් පොත්තක් මත වාඩි වූ නිමාලි තමන්ගේ හත් මස් හැවිරිදි වූ නිවස දෙස බලන්නට වූවාය. දැන් එය අඩි එක හමාරක් දෙකක් පමනට ජලයෙන් වැසී ගොස්ය, ජලයේ පාවෙන ලී කැබලිති ගෙයට ඔච්චම් කරන්නට මෙන් එහි ලෑලි පතුරු මත වැදෙමින් වැසි ජලයේ පාවී ගියාය, ලී කැබලිති පතුරු මත හිඳි කුහුඹුන් සෙමින් සෙමින් නිවසෙහි ලී බිත්ති මත ඉහලට නගින්නට විය.

වේලාව උදෑසන හත පමන වන්නට ඇත, දැන් ජල පහරෙහි සැරකම අන් කවරදාකටවත් වඩා වැඩි විය, ඇගේ නිවසත් සමග සසඳා බලන කල එය හයකටත් වඩා වැඩි මිස අඩු නොවීය. මහ ජල කඳත් සමග ගසාගෙන ආ විශාල ලී කොටයක් නිමාලිගේ නිවසේ එක් පැත්තක වැදී එක් වටයක් කැරකී ගං දියෙහි පහලටම ගසාගෙන යන්නට විය. ඒ වැදුනු සැර පහරික් අබලන් වූ නිවස කෙමෙන් කෙමන් එක් පසකට ඇල වන්නට විය. තවත් ටික වේලාවක් ගත වන විට නිවසෙහි වහලය, ජල රකුසා සමග කළ සටනින් පැරදී ගං දිය සමග පහලට ඇදෙන්නට විය. 

වේලාව ගෙවෙන්නේ විදුලි වේගයෙනි, මහා ජල රකුසාත් සමග සටන් කරන්නට නිමාලිලාගේ නිවසෙහි අත්තිවාරමට වාරු නොවීය. කෙමෙන් කෙමන් ගැලවී යන තම නිවෙසෙහි ලී පතුරු දෙස නිමාලි කිසිඳු හැගීමකින් තොරව බලාසිටින්නට විය. දැන් සියල්ල හමාරයි ඇයට සිතුණි,
"නෑ එහෙම වෙන් නෑ ... පාර පැත්තෙ කණුව තාම ඉතිරි වෙලා තියනවා" හිත අස්වසාගන්නට මෙන් ඇයට නැවතත් සිතුණි, පෙරට වඩා වඩාත් උවමනාවෙන් අැය ඉතිරිව ඇති අවසන් කණුව දෙස නෙත් යොමු කරන්නට විය. ගං වතුරෙහි පාවී ආ කුහුඹුන්, කෘමීන්, සෙමින් සෙමින් කණුව මතට ගොඩවවනවා ඇයට දකින්නට ලබිණි.

දැං ඉතිං සියල්ල හමාරයි, අැයට සිතුණි, ඇය බලන්නං වාලේ ඔහේ පාරදිගා බලාගෙන සිටියාය. අන්තිම මාස දෙකතුනේ සම්පත්ගේ අම්මා දෑවැදි ගැන අසමින් කිහිපවිටක්ම ඇයට නොක්කාඩු කිව් අයුරු ඇයට මතක් විය. ඒත් එක්කම සම්පත්ගේ වැඩිමහල් සොහොයුරා මනාලියක කැන්දාගෙන විත් තවමත් මහගෙදර නතරවී සිටින බවද ඇයට පසක් විය. "අනික මං කොහොමද කිරිසප්පයකුත් එක්ක එතැන ඉන්නේ??" කිසිත් කරකියාගත නොහැකි ඇය නිසොල්මනේ පාර දෙස බලා ඉන්නට විය.

වැස්ස ටිකින් ටික තුරන් වන්නට විය, නමුත් ගං වතුරෙහි සැඩ පරුෂ කම අඩු නොවීය, නිමාලි කුමක්දෝ බලාපොරොත්තුවෙන් පාර දෙසම බලා හිඳින්නට විය. කවරදාවකවත් නොදැනුනු තනිකමක් ඇයට දැනෙන්නට විය, කොහෙන්දෝ බත් පතක් සොයාගෙන ආ සම්පත් එය නිමාලිට කවන්නට උත්සාහ දැරීය, නමුත් එය පසකට දැමූ නිමාලි මාවතෙහි ඈත වංගුව දෙසටම නෙත් යොමා සිටියාය. ඇය සිතුවා නිවරදිය, ලොවෙහි කොතැතනක කොතරම් ඈතින් දුටුවත් ඇයට එය හඳුනාගත හැකිය, ඇයට ඔහු හඳුනා ගත හැකිය, තමා කුඩා කාලයේ සිට ගම පුරා කරක් ගැසූ ඒ පා පැදිය දුටු ක්ෂණයෙන් ඇයට හඳුනාගත හැකිවිය.  තමා කරමත හොවාගෙන ගේ වටේ දුව ගිය, පුංචි සීරීමකදී පවා ඇයව ඔසවාගෙන බෙත් සාප්පුව වෙත දුවගෙන ගිය, ඇගේ තාත්තා කෙසේ නම් ඇයට හඳුනාගත නොහැකි වේද?

කුසේ උන් පුංචි පැටියා ආයෙත් දඟකරන්නට විය, ඒ පුංචි පා පහරවල් වලින් නිමාලිගේ කුසට සියුම් ආදරණීය වේදනාවක් දැනේනට විය,

"ඔහොම ඉන්නකො පැටියෝ, ඔයාගේ සීයා ලඟ...ම එනවා" සියුම් ව කුස පිරිමදිමින් බොහොමත්ව ආදරයෙන් ඇය පැවසීය,

වෙනදා තාත්තා හෝ අමමා දකින විට ආයාසයෙන් වහන් වෙන නිමාලිට අද එසේ උවමනා නොවීය, සියල්ල  අවසන් උනු තැන ඇගේ යටිසිත නිතැතින්ම ඒ සෙනෙහස සෙවූවාය. තාත්තාගේ පාපැදිය ලං ලංවත්ම ඇය හුන් තැනින් නැගිට්ටාය,  මේ කිසිත් දෙස නෙත යෙමු නොකල නිමාලිගේ තාත්තා නිමාලිව පසුකර පා පැදිය කඩමණ්ඩිය වෙත පදවන්නට විය. නිමාලි නැවතත් ගං දිය දෙස බැලීය, ලෑලි නිවසෙහි අවසනට ඉතිරිවූ කණුවත් ගං දිය විසින් යටකර හමාරය. එහි උන් කුහුඹුන් හා කෘමීන් කොයියම්ම මොහොතක හෝ තමන්ට ගැලවීමක් ලැබෙතැයි සිතා ගං දිය පහරට අවැසි පරිදි පහලට ගසාගෙන යන්නට විය..

Tuesday, August 19, 2014

සිරිපාල සහ පොල් පැලය..

කළුවර වැටෙන්නට කලියෙන් තමාට මේ කාර්යය නිමකරීමට හැකිවේයැයි සිරිපාල සිතුවේය. ඔහු දෑත ඉක්මන් කරමින් වටා පිටාවේ ඇති  පස් උදැල්ලෙන් අදිමින් පොල් පැලය වටා පුරවන්නට විය.

වසරෙන් වැඩි කාලයක් නියගය රජයන පහල ඌවේ කර්කෂ මහ පොලව සමග සිරිපාල ඕට්ටු වනුයේ පනස් වසක පමන සිටය. තම පියාගේන් උරුමව ලැබුණු මේ අක්කර හතරක පමන වූ මහ පොලව මෙතුවක් කල් සිරිපාලගේ පවුල ජීවත් කරවන්නට සමත්විය. වයස අවුරුදු විසිදෙකක දියණියක්ද වයස අවුරුදු දහ නමයක හා දහසයක පුතුන් දෙදෙනෙකු ගේ ද පියකු වූ සිරිපාල. ගමේ ගොඩේ එතරම් කතාබහ නොවන චරිතයක් විය. සති පොල තිබෙන දිනයේ එලවලු ගොණියක් කරගසාගෙන පොළට යාමත් මාසෙකට දවස් දෙක තුනක් ගුණේ ගේ කසිප්පු වාඩියට බඩගෑමත් ඇරෙන්නට සිරිපාල තම නිවසින්, ඉඩමින් එලියට ගියේ කලාතුරකිණි,

සිරිපාලගේ ඉඩමේ දෙපසකින්ම ඇත්තේ කැළයයි. කටුපිල ගස් වලින් හෙබි එම කැලෙයෙහි විශාල ගසකට ඇත්තේ අතරින් පතර වැවී ඇති කොහොඹ ගස් පමණී. මෙම කැලයත් සිරීපාලගේ ඉඩමෙහි එක් මායිමකුත් අතරින් අඩි පාරක් ඇත. සිරිපාලගේ ගමත් අල්ලපු ගමත් අතර කෙටිම මග කැලය තුලින් ඇති මේ අඩි පාරය. නිතර තනි අලියා ගැවසෙන බැවින් හිත හයිය පිරිමියකු උවද මේ අඩි පාරෙහි ගමන් කරන්නේ කලාතුරකිනි.

මෙම ඉඩමෙහි තවත් මායිමකට වන්නට ඇත්තේ ගුරු පාරය. ගුරු පාර අයිනට වන්නට සිරිපාල තම නිවස ඉදිකර තිබිණ. එම නිවස පිහිටි බිම් කොටස ඇරෙන්නට ඉඩමෙහි අනෙකුත් සියළු ඉඩකඩ විවිධ වර්ගයේ බෝගයන් ගෙන් වසා තබන්නට සිරිපාල සමත් වී ඇත.

--  --  --
ගමේ ගොඩේ ජීවත් වූවන් අතර පියරත්න චන්ඩියෙකු විය. මිනී මැරුමකට වැරදි කරුවී වසර ගනනාවක් සිරගෙයි ගතකල පියරත්න සිරෙන් නිදහස් වී ගමට පැමිණියේ මීට වසර එකහමාරකට පමන පොරොතුවය.  ගමේ ගොඩේ හොරෙන් හොරෙන් වැවෙන වවන කංසා එකතුකර නගරයට පැටවීමත් සතියකට වරක් වත් දඩයමේ යාම මොහුගේ ජීවනෝපාය විය.  සැබැවින්ම පියරත්න ගමෙහි ගනං කාරයකු විය. ඔහුට පිටින් ගමෙහි එක කංසා හේනක්වත් නොවැවින.

හිරේ විලංගුවේ වැටීමත් සමග ගමේන් ගිය පියරත්නගේ බිරිය සහ දරු දෙදෙනා නැවත කිසිදිනෙක ගමට නොආවේය. ගමට ආ පසු ඔවුන් කොහිදැයි සොයන්නට පියරත්නට ද උවමනාවක් නොවිණි. මේ වසර එක හමාර ඇතුලත ගමෙහි ගැටිස්සියන් කිහිප දෙනෙක්ම පියරත්න අතින් සල්ලං වී ඇති බව ගමටම නොරහසකි. පියරත්නට ගැහැණියක සමග ඉන්නට සිතුනහොත් හොදින් හෝ නරකින් තම සිතැඟි ඉටුකරන්නා බව ගමෙහි සියල්ලෝම දනිති. සියල්ලන්ටම වඩා සිරිපාල දනිති.

--  --  --
කරමින් සිටී කාර්යය මදකට නතර කල සිරිපාල හවස ගෙනා කසිප්පු බාගයෙන් උගුරක් කටට හලා ගෙන නැවතත් පොල් පැලය සිටුවීමෙහි නිරත විය. මේ අතර සිරිපාලට අතීතය මෙනෙහි වන්නට විය. වසර අටකට පමන පෙර ඒ දිනය අද මෙන් සිරිපාලට මතකය. එවකට දා හතර හැවිරිදි වියේ පසුවූ සිරිපාලගේ  දියණිය ලොකු ලමයකු වී සමසක් ගතවන්නට ඇත.

නියගය නිමවා වැසි වසින්නට පටන් ගෙන දින කිහිපයක් ගතඋනා පමණී. සිරිපාලත්, බිරිඳත් ලහි ලහියේ වගා කටයුතු සඳහා අවැසි බිම සකස් කරන්නට විය. එවකට පොඩි උන්ව සිටී සිරිපාලගේ කොල්ලන් දෙදෙනා කොල්ලන් සමග සෙල්ලමේ ගොසින්ය. නිවසෙහි ඉතිරිව ඇත්තේ සිරිපාලගේ වැඩිමහල් දියණිය පමණී.

යක්ෂයාගේ හෝරාවට ආශිර්වාද කරමින් වැහිබරව තිබූ අහසින් එකවරම මහ වැස්සක් වැටෙන්නට විය. හේනේ බිම් සකසමින් සිටී දෙදෙනාට නිවසට යාමට තරම් කාලයක් නොතිබිණ. හේනෙහි ඉදිකර තිබූ අතුපැල වෙත දිව ගිය ඔවුන් වැස්ස තුරල් වනතුරු බලා සිටියේය. අහස ගිගුම් දෙමින්, අකුණු එලි දල්මින් පෑ බාගයක් පමන මහ වැසි ඇද හැලුණි.

නිවසට පැමිණි ඔවුන් හට දක්නට ලැබුනේ නිරුවතින් සිහිසුන්ව බිම වැටී සිටී ඔවුන්ගේ දියණියයි. ඒ වන විට යක්ෂයා අහිංසක දියණිය බිලිගෙන තිබුණි. ඇගේ කෑ ගැසීම මහ වර්ෂාවෙහි ගිගුම් නද පරයා යන්නට අසමත්ව තිබිණි.

මහ පොලව නූහුලන මේ අපරාධය ගැන ඔවුන් පොලිස් පොතෙහි සටහන් තැබීය. නමුත් පොලීසියේ දී ඔවුනට විශේෂයනේ දියණියට ලැබුනේ සාධාරණය වෙනුවට ඔවුන් අසන ගැටළු වලට විලියෙන් සැඟවෙන්නටය. ඉන්ම ඔවුන්ගේ පැමිණිල්ල අහකට විසිවුනි. විත්තිකරු වූ පියරත්න චෝදනා වලින් නිදහස් විය.

ගම පුරා සිද්ධිය ආරංච් වී තිබූ බැවින් පාසැලේ දී ඇයට අසන්නට ලැබුනේ පතොක් කටු වැනි වදන් ය. ඒවාට මුහුණ දෙන්නට තරං ඒ පුංචි සිත සවිමත්ව නොතිබිණි. එහෙයින් ඇගේ පාසැල් ගමනද එතැනින්ම හමාර වියල. අවසානයේ බදුල්ලේ සිටින සිරිපාලගේ අයියලාගේ නිවස ඇයට නවාතැන විය. දැන් ඇය ඇඟලුම් කම්හලක රැකියාවට යයි.

දියණියට සිදුවූ මේ අකටයුත්තෙන් පසු සිරිසේන ජීවත් වූයේ සම්පූර්ණ පරාජිතයකු ලෙසය. නීතියෙන් ඔවුනට පිළිසරණක් නොවිණ. චන්ඩි කමින් පියරත්නයා මෙල්ල කරන්න යාම තම පවුලටම මරණය ලඟාකර ගැනීමක් වැනිය. ඉදහිට හෝ දියණිය නිවසට පැමිණි දිනක ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් ශක්තියක් ඔහුට නොවිණ. තමා ඇයට සාධාරණයක් ඉටු නොකල නිකංම නිකං නිකමකු යැයි ඔහුට සිතුණි.

පියරත්න මිනීමැරුමකට චූදිතයකු වී වසර ගානක් හිරේට වැටුනු එක සිරිපාලට මහත් සැනසිල්ලක් විය. නමුත් මීට අවුරුදු එක හමාරකට පමන පෙර නැවත ගමරට බලා පැමිණි පියරත්න දුටු විට සිරිපාලගේ සිත නැවතත් නොසන්සුන් වන්නට විය. පියරත්න දකින දකින වාරයක් පාසා සිරිපාලට තම දියණිය සිහිවන්නට විය. සිරිපාලට වාවාගන්නට නොහැකි කාරණය වූයේ තම ඉඩම අසලින් කැලයට යන අඩිපාර කිසිඳු චකිතයකින් තොරව පියරත්න ගමන් බිමන් සඳහා යොදාගැනීමයි.

පොල් පැලය සිටුවා අවසන් කල සිරිපාල, කසිප්පු වඩියේ අන්තිම උගුරු කීපය හිස්කර, හොඳින් කාරා පොල් පැලය දෙසට "තුහ්.. " ගා කෙල පහරක් ගසා උදැල්ලද කරට ගෙන ඉක්මන් ගමනින් නිවස දෙසට ඇදුණි.

Wednesday, July 16, 2014

සුනේත්‍රාගේ කථාව....

"හෙලෝ.."
"හෙලෝ.. මේ.... සරත් ඉන්නවද?"
"සරත්? .. මේ වැරදි නම්බරයක්.. ඔහේ කවුද? කාටෙයි ඔහෙට කථාකරන්න ඕනේ?.."
"මිස්, මම පියල් කියල කෙනෙක් කථාකරන්නේ, මට කථාකරන්න ඕන පොලේ සෙල්ලං බඩු විකුණන සරත් අයියට"
"මේ .. ඔහේට වැරදිලා  මේහේ ඇති සරතෙක් නෑ.. හැබෑට කවුද ඔහේට මගේ නම්බරේ දුන්නේ?"
"සරත් අයිය තමයි මේ නම්බර් එක දුන්නේ, ගිය මාසේ මගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා සතියකින් දෙනවා කියලා මාසයක් ගියා සල්ලි හම්බුන්නැති හින්ද තමයි දුන්න නම්බරේට කථා කළේ. අනේ මිස් තරහ නැතුව සරත් අයියට ෆෝන් එක දෙනවද?"
"මේ ඔහේ කොහේ හරිය යන හොරෙකුට අහුවෙලා. මේක වැරදි නම්බරයක්. මෙහේ ඇති සරතෙක් නෑ.. අපහු මේකට කොල්කරන්න එපා හරිය"
මේ මොන කරදයක්දැයි සිතමින් සුනේත්‍රා දුරකථනය විසන්ධි කළාය.
සුනේත්‍රා තිස් තුන් හැවිරිදි වැන්දඔුවකි. සර්පයකු දෂ්ඨ කිරීම නිසා ඇගේ සැමියා ඇයවත් ඇගේ දරු තිදෙනාත් අතැර මෙලොව හැර ගියේ මීට තුන් වසකට පමණ පෙරය. සුනේත්‍රාට දොලොස් වියැති දස වියැති සහ හත් වියැති පුතුන්ම තිදෙනෙකි වැඩිමහල් දරුවා මීට වසර පහකට පමණ පෙර පැවිදිවිය. ඒ අල්ලපු ගමේ පංසලේය. අනෙක් පුතුන් දෙදෙනා ගමේ පාසලේම අකුරු කරයි.
සුනේත්‍රාගේ ආදායම් මාර්ගය වූයේ තේ දළුය. තම සැමියාට අයත්ව තිබූ අක්කර දෙකක පමණ වපසැරිය ඇති තේ වත්තෙහි ආදායම වැඩි වියහියදම් නැති සුනේත්‍රාට සහ දරුවන්ට ජීවත් වීමට හොඳටම ප්‍රමාණවත් විය. තම සැමියාගේ මහගෙදර අසලින් ඉදිකර තිබූ ඔවුන්ගේ නිවහනහි මේවනවිට හතරෙන් තුනක පමණ වැඩ කොටසක් නිමකර තිබිණි.
සුනේත්‍රා කුඩාකල පටන්ම ආගම දහමට බොහෝ ලැදිය. සැන්දෑව් බුදුන් වඳින විට ඇය තුන් සූත්‍රයම ශබ්ධ නගා කියන්නීය. ඇයට කුමක් හෝ සිත් තැවුලක් ආවිට පංසලට ගොස් නිවී සැනහිල්ලේ ආගමික වතාවත් සිදුකර සිත සංසිඳුවා ගැනීම ඇගේ සිරිත විය.
තම දෙමව්පියනුත්, සැමියාගේ දෙමව්පියනුත් සොයුර සොයුරියනුත් හැර තම දුරකථන අංකය වෙනත් අයකුට දුන්නාදැයි සුනේත්‍රා කල්පනා කළාය. මීට සති තුනකට පමණ කලියෙන් සුමානෙට රුපියල් සීය ගානේ ගෙවන්න සී.එෆ්.එල්. බල්බ් විකුණන්නට ආ මිනිසා සිහිවිය. තමන් ඔහුගෙන් බල්බ් තුනක් ලබාගත් බවත් එවිට තම දුරකථන අංකය පොතෙහි ලියා ගත් බවත් ඇයට සිහිවිය. මේ කථා කළේ ඔහු වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. නමුත් දුරකථනයෙන් කථාකල පුද්ගලයායේ තිබූ සංවරශීලී කථාබහ මේ බලුප්කාරයාගේ කථා බහතුල නොමැතිබව ද ඇයට සිහිවිය. මොනව උනත් ආයේ කථාකලොත් හරියටම මේ කථාකරන්නේ කවුදැයි විමසා දැනගන්ට ඇය ඉටා ගත්තාය.
දින දෙකක් පමන ගෙවින. ආගන්තුග අංකයෙන් නැවත ඇමතුමක් නොආවේය. එදින දහවල් බලුප් කාරයා පැමිණ වාරික මුදල් එකතු කරන් ගිය අතර ඔහුගේද වෙනදාට වඩා වෙනසක් දක්නට නොවීය. මේ කරණා හේතු කරගෙන මුලින් ලැබුණු අමතුම ඇත්තටම වැරදීමක් වෙන්න ඇතැයි ඇය සිතුවාය. මෙසේ නිසොල්මනේ තවත් දවසක් පමණ ගතවුනි.
පසුදින සවස නැවතත් ආගන්තුගයාගේ ඇමතුම ලැබිණි.
"හෙලෝ"
"මම මේ පියල් කථාකරන්නේ, සමාවෙන්න මිස් කරදරයක් උනානම්, මම මේ දවස් ටිකේම හෙව්වා සරත් ගේ නම්බර් එක මේකම තමයි මිස්, මට වැරදීමක් වෙලා නෑ තරහ නැතුව සරත්ට ෆොන් එක දෙනවද?"

"මේ මං ඔහේට කිව්වා නේද මේක වැරදි නොම්බරයක් කියලා, ඔහේ ආයේ ඇයි මට කථා කරන්නේ. "

"මිස් මට කථා කරන්න ඕන සරත්ට"

"මේ.. ඇත්තටම ඔහේ කොහේද යන හොරෙකුට අහුවෙලා, ඒ මිනිහා ඔහේගෙන් සල්ලිත් අරගෙන බොරු නොම්බරේකුත් දීලා. මේක මගේ නම්බර් එක. මෙහේ සරත් කියල කෙනෙක් නෑ.. ...................."

ඇය කරුණු පැහැදිලි කරන්නට විය. ඇය කථාකර අවසන් වනතෙක් සාවධානව අසා සිටී පියල්
"එහෙනං මිස් මං ආයෙත් හොයල බලන්ම්" යයි කියා දුරකථනය විසන්ධී කලේය.

තමාගේ පැහැදිලි කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලැබුණු බව ඇයට දැනිනි. ආයෙත් මේ මිනිසා තමාට කථා නොකරනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් ඒ එදින රාත්‍රිය වනතෙක් පමණී. රාත්‍රි අටට පමණ නැවතත් ඔහුගෙන් ඇමතුමකි.

"මෙච්චර කියලත් මේ මිනිහා අහන්නැතිහැටි. බනින්න ඕන ආයේ කථා නොකරන්නම" යැයි සිතාගත් ඇය දුරකථනය එසවුවාය.

"හෙලෝ.."

"ආ මිස්, මම පියල් කථාකරන්නේ.. මට අද හවස සරත්ව හම්බඋනා, මිනිහගේ නම්බර් එක මගේ ෆෝන් එකට දානකොට අංකයක් මාරු වෙලා ඒකයි වැරදිලා මිස්ට කෝල් කළේ.. අනේ සමාවෙන්න ඕන මිස්ට කරදර කළාට"


" දැං එතකොට අර සල්ලි හම්බුනැයි?"

" ඇත්තටම මිස්ට කියන්න මාර වැඩේනේ උනේ .. ......................... ............................... ................. .................................. ඉතිං මිස් ඌ මට අන්තිමට සල්ලිටික ඔක්කොම දුන්නා"

සිදුවීම පිළිබද විනාඩි දහයක පමණ විස්තර කිරීම අවශ්‍ය තැන්වලදී තබනු ලැබූ හූ මිටි තැබීම් හැර වෙනත් බාධාකිරීමකින් තොරව සුනේත්‍රා සවන් දුන්නාය. කෙසේ වෙතත් දුරකථන ඇමතුම අවසානයේ සුනේත්‍රාගේ සිතෙහි පියල් පිළිබද යම් මිත්‍රශ්‍රීලී හැගීමක් ඇතිව තිබිණ.

පසුදින රාත්‍රියෙහිද පියල්ගේ මිත්‍රශ්‍රීලි ඇමතුම ලැබිණ. පෙර දිනට වඩා දීර්ඝ වේලාවක් ඔවුන් දොඩමළු වූ අතර සුනේත්‍රාගේ ජීවිතයේ බොහෝ තැන් ඔහු හා පවසන්ට තරම් ඔවුන්ගේ මිතුදම දියුණු වී තිබිණ.

පියල් දැන් සෑම දිනකම පාහේ ඇයට ඇමතුම් ලබාදෙයි. ඇයද ඔහුගේ ඇමතුම එනතෙක් මග බලා හිදින්නීය. නමුත් මේ වන විට මුලින් දින වල තිබූ හිතවත් කමට එහා ගිය ආදරණීය හැගීමක් ඇයටද හොරෙන් ඇගේ හිතේ දළුලා තිබිණි. ඇගේ මුළු ජීවිත කථාවම දැන් කිසිදිනක නොදුටු ඔහු ඉදිරියේ දිගහැර තිබිණ.

"සුනේත්‍රා "

"මොකෝ "

"මං එන්නද?"

"කොහේද?"

"ඔයාගේ තුරුල්ලට"

"පිස්සුද"

"ඔව් හොදටම පිස්සු වැටිලා"

"ඉක්මනට ඕක හොදකර ගන්න වෙයි"

"හොඳකර ගන්න තමයි හදන්නේ"

ඉනික්බිති දෙදෙනාගේම ඇසුනේ සිහින් කෙඳිරිලි හඬවල් පමණී. කෙසේ නමුත් විනාඩි කිහිපයක දුරකථන ඇමතුම අවසානයේ වසර ගනණාවකින් පිරිමි පහසක් නොලැබූ ඇගේ සිරුර ඔහුගේ වදන් වලින් මුසපත් වී තිබිණ. දෙපා වෙව්ලා පනනැති වී යන්නාක් මෙන් ඇයට දැනුණි. ඔහුගෙන් ලැබුණු දීර්ඝ හාදුවකින් පසු දුරකථනය විසන්ධි කල ඇය තෘප්තිමත් සිතුවෙල්ලෙන් නිදන්නට විය..

නමුත් පසු දින ඇයට දැඩි කලකිරීමක් දැනණි. තමා තමාට පණමෙන් ආදරය කල මියගිය සැමියාට ද්‍රෝහි වූවා නොවේ දැයි  සිතුණි. අනේ දෙයියනේ කවදාවත් දැකපු නැති මිනිහෙක් එක්ක කියපු දෙවල් ඇයට ඇය ගැනම ලැජ්ජා සිතුණි. ඇය තම මියගිය සැමියාගේ ඡායා රූපය දෙස මදක් බලා සිටියාය. අනේ මං කවදාවත් ඔයාට ද්‍රෝහිවෙන් නෑ ඇත්තමයි ඇය අදිටන් කර ගත්තාය.

හැන්දෑවට කොල් කරාම කියනව ආයෙත් මං එක්ක කථා කරන්න එපැයි කියලා. එච්චරයි අනික මං ඒ මනුස්සයව දැකලත් නෑ අඳුනන්නෙත් නෑ කෝල්කරන්න එපැයි කිව්වම හරිනේ. ඇත්තටම මේ අර බලුප් කාරයද දන්නෑ අයියෝ ඒ මිනිහනං ලැජ්ජාවේ බෑ, මෙකී නොකී දහසකුත් සිතුවිලි අතර ඇය හිත හදාගන්නට උත්සාහ කළාය.

එදින රාත්‍රියේද සුපුරුදු ඇමතුම ලැබිණි මුල් දෙවතාවේම ඇමතුම නොගෙන සිටියත් තුන්වන වතාවේ ඇය ඇමතුම ලබාගත්තාය.

"මේ හලෝ ඔහේ ආයේ මට කථාකරන්න එපා හරිය"

"ඇයි රත්තරං මේ ?"

"ඇයි කියන්නේ, මං දන්නෑ ඔහේ කවුද කියලවත්. අනික පව් වැඩ කරන්න මම කැමති නෑ, ඔහේ දන්නෝනේ මම ලමයි තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් කියලා, මට ඇත්ත කියනව ඔහේ අර බලුප් කාරයා නේද?"

"අනේ නෑ රත්තරං මම ඔය කියන බලුප්කාරයා දන්නෙවත් නෑ. හරි අපි දවසක හම්බෙමුකෝ එතකොට ඔයාට බලාගන්න පුළුවන් මං කවුද කියලා. ඔයා හිතන විදියට පවු කියන්නේ .... ........... ......... ... .. ... .. ...................................."

ඔහුගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම අවසානයේ ඇගේ සිත නැවතත් අශාවේ හස්තයන් විසින් ඩැහැගෙන තිබිණ.  නොබෝ වේලාවකින් ඇයගේ සිහින් කෙඳිරිලි හඬ ඇසෙන්නට විය. කෙසේ නමුත් ඇමතුම අවසානයේ  හැද සිටි ඇදුම් සොයන්නටද ඇයට වෙහෙසෙන්නට සිදුවූවාය.

ඔහු කථාකල පරිදි ඔවන් මුණගැහෙන්නට යාමට ඇය අදිමදි කළාය නමුත් ඔහුගේ වදන් හමුවේ ඇයගේ අදිමදි කිරීම සැනින් අවලංගු විය. දින තුනකට පමන පසු ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නට තීරණය කලේය. නමුත් ඇයට මොකක්දෝ ලොකු චකිතයක් දැනුණි. නෑ මට දැනගන්න ඕන මේ මනුස්සය කව්ද කියලා, නොගියොත් කොහොමද මේ කථාකරන්නේ කවුද කියල දැනගන්නේ. අනික මං ගිහිං කථාකරල එනව විතරයිනේ. ඇය යාමට ගත් තීරණය සාධාරණය කරන්නට හේතු සොයන්නට වූවාය. නමුත් ඇය එදින තම මියගිය සැමියාගේ ඡායාරූපය මගැර ගියාය.

උදෙන්ම දරුවන් දෙදෙනා මහගෙදරට යැවූ සුනේත්‍රා නගරය බලා ඇදෙන බසයකට ගොඩවිය බසයේ ගමන් කල පැය එක හමාරක කාලය තුල ඇගේ සිතුවිලි විසින් ඇයට වද දෙන්නටවිය. අපරාදේ මං මේ ගමන ආවේ, නෑවිත් හිටියනං හරි මේ මිනිහා මොකාද කියලවත් දන්නෑ. අනික දරුවො තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් ? අයියෝ මං මේ මොනවද කරන්නේ බස්එකෙන් බැහැලා අපහු ගෙදර යනවා, නෑ නෑ ආපු එකේ මං මිනිහව හම්බුවෙලාම යනවා.

බසයෙන් බැසගත් ඇය ඔහුට දුරකථන ඇමතුමක් ගත්තාය. කියූ මග විස්තර වලට අනුව විනාඩි කිහිපයක් යන්නට පෙර ඔහුව සොයාගත හැකිවිය. එතැන සිටියේ ඇය සිතූ බලුප් කාරයා නොවේ. ප්‍රසන්න පෙනුුමක් ඇති වයස තිහක් පමණ වන බොහෝ පිළිවලට හැද පැළඳගත් තරුණයෙක් එහි විය.

"ඉතිං...?"

අසන්නට බොහෝ දේ තිබුණත් අය ප්‍රශ්ණාර්ථ හැඟීමකින් කිසිත් නොකියා ඔහු දෙස බලා සිටියාය. නිහඬ බව බිඳිමින් ඔහු නැවතත් කථාකරන්වට විය.

"මොකද බයවෙලා වගේ මම තමයි පියල්?  මේ මෙතැන කථාකරන්න බෑ අපි කොහාට හරි යං"

"කොහෙද යන්න‍ෙ"

"එන්නකෝ..."

ත්‍රී රෝද රථයකට කථාකල ඔහු ඇයගේ අතින් ඇදගෙනම එයට ගොඩවිය. කුමක්දෝ තැනකට යමු යැයි ඔහු රියදුරුට කීවද ඇයට ඒ කොතැනදැයි නොවැහැටුනි. අනේ මේ කවුද මං මේ කොහේද එක්කං යන්නේ ඇගේ පපුව වේගෙන් ගැහෙන්නට විය.

"ඔයා බය වෙලාද? බය වෙන්න එපා මං ලඟ ඉන්නවනේ "

විනාඩි තුනක පම ගමනකින් පසු නගරයෙන් මදක් එපිටින් වූ නවාතැන් පොලක ත්‍රී රොද රිය නතර විය. ඉන් බැසගත් ඔහු ඇයවත් අතින් අල්ලාගෙනම කාමරයකට වැදුණි.

ඇයට ඔහු හා දොඩමළුවන්නට අවැසි උවත් ඔහුට එයිට එහා ගිය රාජකාරියක් විය. මස් කුට්ටියක් හමුවූ සුනඛයෙකු සේ ඔහු ඇයව රසවිඳින්නට විය. ඇයට භීතිය ද ඔහුට ප්‍රීත්‍රිය ද රැඳුනු වෙහෙසකර පැය බාගයකින් පසු ජයග්‍රාහී ලීලාවෙන් ඔහු හතිඅරින්නට විය. නිරුවතින්ම නාන කාමරය වෙත දිව ගිය ඈ මුව තුල රැදි සියල්ලෙන් කොටසක් හෝ කුසතුලට යා නොදී සෝදා හරින්ට උත්සාහ කළාය..

තවත් මිනිත්තු විස්සක් පමණ වනවිට ඔවුන් නැවතත් නගරයෙහි විය.

"අර තියෙන්නේ ඔයාලගේ ගමට යන බස් එක, කීයට යයිද දන්නෑ."

"දන්නෑ.. මං යනවා"

බසයට ගොඩවූ ඈ කවුළුවෙන් ඔහු දෙස බැළුවාය. මද සිනහවක් පෑ ඔහු ආපසු හැරී යන්නට ගියේය. ඇයට මහත් වේදනාවක් දැණින. තමන් ආවේ කොතෙක් දේ ඔහු හා කථා කරන්නද, නමුත් අන්තිමට සිදුවූදේ මතක් කරන්නටවත් ඇයට අප්‍රිය විය. මේ කොහේද යන මිනිහෙක් හින්ද මං මගේ ජීවිතේ විනාශ කරගත්තා. අනේ දෙයියනේ මං මගේ රත්තරං මනුස්සයට, දරු තුන්දෙනාට අම්මල තාත්තලට ද්‍රෝහි උනා. මේ මොන අපරාධයක්ද මං කරගත්තේ.. ඇයට නොදැනුවත්වම දෑසින් කඳුලින් තෙත් විය. බස් රථයේ ඉදිරිපස අසුනට හිස තියාගත් ඇය. කිසිවෙකුටත් නෑසෙන්නට හඬන්නට විය.

බසයෙන් බැසගත් ඇය නිවසට ආවේ කෙසේදැයි ඇයට නිනව්වක් නැත. වෙනදා පසුකර එන සපුරුදු දසුන් අද තිබුණාදැයි මතක නැත. නිවසට පැමිණි ඇය මුලින්ම තම ජංගම දුරකථනයේ වූ සිම්පත ලිපට දමා පුළුස්සා දැමීය ඉනික්බිති දොර වසා දැමූ ඇය තම මියගිය සැමියාගේ ඡායාරූපය පපුවට තුරුළුකරගෙන මහ හයියෙන් ඉකිගසා වැලපෙන්නට විය.

පසුදා උදයෙම ඇය පංසලට ගියාය. තමාට දුකක් කරදරයක් වූ හැම වේලාවකම සිතට සහනය ගෙනදුනේ මේ පංසලේ බෝ මළුවයි. තමන් උගෙන ඇති සියළු ගාථාවන් කියමින් වන්දනා මාන කර තමාගේ හිතට සහනයක් දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. පැය කිහිපයක් පංසලේ ගතකල ඇය තම සිතෙහි වූ වේදනාව බොහෝදුරට සමනය කරගෙන නැවතත් නිවසට පැමිණියාය. සැන්දෑ ජාමයෙහි නිවසෙහි බුදුන් වැඳි ඇයට මහත් සැනසිල්ලක් දැනින. ඔය වගේ මෝඩකං නං ආයේ කවදාවත් කරන්නෑ, ඇය දැඩිව සිතාගත්තාය,

තම සිතුවිලිත් සමග මහත් සටනක් කල ඇය ජයග්‍රාහී ලීලාවෙන් තම පුතුන් දෙදෙනාද තුරුලට ගෙන නිදන්නට විය.

පසු දිනට පහන් විය දරු දෙදෙනා පාසල් යැවූ ඇය තේ දළු නෙලීමට පිටත් වන්නට සූදානම් විය. සැනෙකින් මෝටර් බයිසිකලයක් මිදුලෙහි නතර කරනවා ඇසුණි. නිවසෙහි ඉදරිපසට දිවගිය ඇයට දැකගන්නට හැකිවූයේ වාරික මුදල් එකතු කිරීමට බලුප් කාරයා පැමිණ ඇති බවයි.

"තව වාරික කීයෙයි මම ගෙවන්න ඕන"

මුදල් දෙන ගමන්ම ඇය ඇසීය.

"අද ගෙව්වට පස්සේ තව වාරික දෙකයි"

මුදල් ගෙවූ රිසිට් පත ඇය අත තබන ගමන්ම ඔහු පවසුවේය. රිසිට් පතද රැගෙන ඇය ආපසු හැරුණා පමණී..

"මේ... ඒක නෙවෙයි, ඔයා පෙරේදා ටවුන් එකේ හිටියා නේද....? "

Monday, March 24, 2014

කොකා අයිලන්ඩ් සහ කොක්



හිතවතුනි අද මම දාන්න හදන පොස්ට් එක පළවෙනි පොස්ට් තුනටම වඩා ටිකක් වෙනස්. මට හිතුනා ටිකක් බර දේවල් ලියන්නේ නැතිව නිකං අධ්‍යාපනේ පැත්තෙන් යන මාතෘකාවක් ගැන ලිපියක් දාන්න. කොටින්ම කිව්වොත් අද මම දාන්නේ කොක්කු ගැන. මේ ගැන මට ලියන්න හිතුනේ අපූර්විගේ බ්ලොග් එකේ පෙන්ගුයින්ලා  ගැන තිබුන පොස්ට් එකයි අර සැමන් මාලුවෝ ගැන තිබ්බ පොස්ට් එකයිඒ වගේම රාජ්ගේ නවාතැනේ අර බල්ලොගැන තබ්බ පොස්ට් එකයි කියෙව්වම තමයි, තව තව කට්ටියගේ තව තව වටිනා පෝස්ට් ඇති ඒත් දැනට මට මතක විදියට මම සත්තු ගැන කියවල තියන පෝස්ට් වලින් මතක මේවා තමයි.

රූපය 01 - කොක්කු
හරි අපි දැං බලමු මේ කොක්කු කියන්නේ මොක්කුද කියලා අපේ මේ පෘතෘවියම ගත්තොත් මේක තුල කොක්කු වර්ග 17 ක් විතර ජීවත් වෙනවා මේයින් වර්ග 9 ක් විතර අද වඳ වීමේ තර්ජයනකට මුහුණ පාල තියෙනවා. මේ කොක්කු සිකොනිෆෝමේස් (Ciconiformes) කියන ගෝත්‍රයට තමයි අයත් වෙන්නේ. ඒ වගේම තමයි මේ කොක්කු අතරින් අපේ මේ ලංකාවේ සිකොනිඩේ (Ciconidae) ත්‍රෙස්කියොර්නිතිඩේ (Threskiornithidae) ආර්ඩේයිඩේ (ardeidae) හා ෆීනිකොප්ටෙරිඩේ (Phoenicopteridae) යන කුල හතරට අයත් කොක්කු දැක ගන්න පුළුවන්. අපේ නම් වලින්ම කිව්වොත් කලපු කොකා, ලොකු සුදු කොකා, අලි කොකා, සුදු කොකා, හරක් කොකා, කණ කොකා, පොඩි කොකා, රෑ කණ කොකා, රෑ කොකා, මැටි කොකා, කුළු කොකා හා සියක්කාරයා වගේ කොක්කු මේ ලංකවේ ජීවත් වෙනවා

මෙ වගේ කොක්කු ගස්මුදුන්වල කදු ප්‍රපාත වල එහෙම ලස්සනට කෝටු වලින් කූඩු හදා ගන්නවා කොකාගේ ගෑනු සතා තමයි කෙහිනිය කියන්නේ මේ කෙහිනිය වරකට බිත්තර 3ක්-6ක් විතර දානව.සාමාන්‍යෙන් මේ කොකේගේ ආයු කාලය අවුරුදු 10ක් 11ක් විතර වෙනවා.

මේ බ්ලොග් අඩවියේ නිළ අයිතිකාරයා වන විදානේට පහුගිය මාසේ ලැබුනා ලොකු දේශගාටනකයට යන්න අත්තටම කිව්වොත් ඒක හරිම වැදගත් උනා මේ ලිපිය සකස්කරන්න, ඇත්තටම යන්න ලැබුනේ කොක්කුත් එක්ක දිවි ගෙවන්න පුළුවන් ලස්සන දූපතකට මෑ ඇටයක හැඩය ගත්ත මේ දූපතේ වාසය කළේ කොක්කු විතරමයි අවුරුදු ගණනාවක්ම මේ දූපතේ වාසය කරල විදානේ හොයාගත්තා මේකේ ඉන්න කොක්කු විශේෂ කීපෙකම තොරතුරු රාශියක්. තනියම ඒ තොරතුරු හංගං ඉන්න හොදනැති හින්දා ඕං ඉතිං කට්ටියටම දැනගන්න මේ මෑ ඇටයක් වගේ දූපතේ ඉන්න කොක්කු ගැන හොයාගත්ත කරුණු කාරණා මේ පොස්ට් එකට එකතු කරන්න හිතුවා..

01 විශේෂය - පරණ කොකා.

ප්‍රමාණයෙන් විශාල ශරීරයක් හිමි මෙම කොක් විශේෂය පැයයෙන් නිල් වන අතර රතු සහ කහ පැහැයන් ශරීරයේ තැන්න් තැන ඇත. මෙම දූපතටම ආවේණික කොක්කු විශේෂයක් වන මොවුන්ගේ ප්‍රධාන ආහාරය ද මෙම දූපතමය. මොවුන් මෙම දූපතේ සියලු පාලන කටයුතු මෙහෙයවයි. මෙම කණ්ඩායමේ නායක රතු පටියක් කරබැඳි කොකාට දැඩි කොක් ආකර්ෂණයක් ඇති අතර එම ආකර්ෂණය මනාව හසුරුවාගනිමින් තමන්ට අවශ්‍ය අවස්ථාවන් වලදී කොක් මතය විමසා තමන්ට රිසි පරිධි මේ කොක් දූපත පාලනය කරයි. මෙම කොක් විශේෂය සැලකීමේදී කොක් දේශහිතේශී, කොක් දේශමාමක, කොක් ආගමික, කොක් සදාචාර, කොක් මැර, කොක් දූෂණ මේකී නොකී සියළු බලවේග ඒකරාශී කර සාදාගත් කොක් සංධානයක් වන අතර මේ සියල්ලහි බලය කේන්ද්‍රගතවී ඇත්තේ එහි ප්‍රධාන නායකයා වෙතය.
 රතු පටියක් කරබැඳි කොකා

02.  විශේෂය - පමල කොකා නොහොත් පාලං කොකා.


අතීතයේදී පල කොකා ලෙස හැදින්වූ මෙම කොක් විශේෂය වර්ෂ ගනණාවක් මෙම දූපත පාලනය කල කොක් විශේෂයක් විය මෙම කොක් විශේෂය දැනට අවුරුදු විස්සක පමන කාලයක සිට පමල කොකා නැතහොත් පාලං කොකා ලෙස හැඳින්වීමට පටන්ගත් අතර මේ වන විට මුල් නම අවභාවිතවී පසුව ආ නං සුලභ ලෙස භාවිත වෙයි මෙම කොක් රැගේ නායකයා සෙසු කොකුන් විසින් හඳුන්වනුනේ පනනැති කොකා යනුවෙනි. මොවුනට පරණ කොක්කු ලෙස පරිණාමය වීමට හැකියාව තිබුණත් එහි නායක කොකාට සහ අනෙකුත් කොකුන්ට එහි කිසිම අවශ්‍යතාවක් නොමැති බව පෙනී යයි, මෙම කොක් රැලේ නායක තෙමේ රැලේ නායකත්වය පමණක් රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරත වෙයි. මෙහි සිටින අනෙකුත් කොක්කුන්ද රැලේ මුදුනා වීමට පමණක් දඟලන අතර පරණ කොක්කු ලෙස ජීවත් වන්නට කිසිලෙස නොසිතයි. පරණ කොක් රැල විසින් වසර එක හමාරකට දෙකකට සැරයක් මෙම කොක් විශේෂය ආක්‍රමණය කර මෙම මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පරණ කොක් විශේෂයට ඈදා ගනී. තව වසර කීපයකින් වදවී යතැයි අපේක්ෂා කරන මෙම කොක් විශේෂයෙහි ප්‍රධාන ආහාරය වන්නේ කුලල්ය.

  පනනැති කොකා

03 විශේෂය - පරවුනු කොකා

පැහැයෙන් රතු පැහයක් ගන්නා දැඩි මතධාරී කොක් විශේෂයක් වන මොවුන් කොක් දූපතහි වන සියලු කටයුතු දැඩි ලෙස විවේචනය කරයි. කොරහේ කිඹුලන් දකින මොවුන් අතරින් බොහොමයක් කොක්කුන් කථිකත්වයට මනා දක්ෂතාවයක් පෙන්වයි. මෙම කොකුන් මින් පෙර පරණ කොකුන් සමග එක්ව කටයුතු කල අතර එම කාලය ඔවුන්ගේ ස්වරණමය යුගය ලෙස හැඳින්විය හැක. එකම දේ විවිධ ආකාරවලින් නැවත නැවත කියවීමේ රෝගයකට ගොදුරුවී ඇති මෙම විශේෂය මේ වන විට දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇත. මොවුන් මෙම තත්වය වෙනස්කරගැනීම සඳහා රැලේ නායකත්වයද මාරුකරමින් අත්හදා බැලීම් රාශියක් සිඳුකරගෙන යයි. මෙම කොකුන් ගේ ප්‍රධාන ආහාරය වන්නේ සමාජකොක් වාදයයි.

පරවුනු කොකුන්

 04. විශේෂය -  පහිල කොකා

මෑත කාලෙයේදී මෙම දූපතහි සෑදුනු කොක් විශේෂයක් වන මෙම කොක් විශේෂයෙහි වැඩිපුරම ඇත්තේ පරණ සහ පමල කොක්කුන්ගෙන් බිදී ආ කොටස්ය. මින් වසර කීපයකට ඉහත පටි කොකුන් මෙම දූපතෙන් පලවා හැරීම සඳහා දැඩි කැපවීමක් කල කොකෙක් මෙම කොක් විශේෂයට නායකත්වය සපයයි. දැඩි නීති සමුදායක් යටතේ පාලනය වන මෙම කොක් විශේෂය මේ වනවිට සැලකිය යුතු මට්ටමේ මවිසින් පසුව විස්තර කරනු ලබන පලණි කොකුන්ගේ ආකර්ෂණයකට ලක්ව ඇත. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ කලවැද්දන්, සුදු කොඩි සහ මයිල් ය.

05. විශේෂය - පාඩි කොකා.

පරණ කොකාගේ හා පමල කොකා ගේ මුල් අවස්ථාව වන මෙම කොක් විශේෂය හි වැඩිපුරම ඇත්තේ ඉහත සඳහන් පරණ සහ පාමල කොක්කුන්ගේ ‍ඥාති කොක් පැටවුන්ය. දුපතේ කොකුන් අතර පොඩි පොඩි තරග වලට ඉදිරිපත් වන මෙම පාඩි කොකුන් තම දක්ෂතාවය හැකියාව, වාසනාව අනුව පසුකාලීනව පාලං කොකෙකු හෝ පරණ කොකෙකු බවට පත්වෙයි. මොවුන්ගේ ප්‍රධාන ආහාරය කෝක්‍රීට් පාරවල් සහ බෝක්කු වන අතර සමහර ප්‍රමිතියක් නොමැති පාඩි කොකුන්, තම භෝජනය ලෙස කුඩා කෙහිනියන්, විදෙශික කෙහිනියන් තොරාගනී.

06. විශේෂය - පවුල් කොකා නොහොත් පාකිල කොකා

නර්ථනයෙහි, රංගනයෙහි, සහ ගායනයෙහි දක්ෂ මෙම කොකුන් විශේෂය වෛවර්ණ පැහැයක් ගනී, කාලාණුරූපිව ඉතා දක්ෂලෙස සියළු කොකුන් සමග කෛරාටිකකමින් වාසය කරනා මොවුන්ගේ ප්‍රධාන ආහාරය මා පසුවට විස්තර කරන පලණි කොකුන්ගේ රසඥතාවයය. මොවුන්ගේ ප්‍රධාන කාර්ය භාර්යය වන්නේ පරණ, සහ පමල කොකුන්ට කඩේ යාම වන අතර ඒ සඳහා මොවුන්ට බොහෝ වරදාන වරප්‍රසාද රාශීයක් ලැබේ. මෙම කාලය වන විට මෙම කොක් විශේෂයෙහි නාඹර කෙහිනියන්ට බොහෝ සුභ කලදසාවක් උදාවීඇත. 

පාකිල කොකුන්

07. විශේෂය - පමඩි කොකා.

මවිසින් ඉහත සඳහන් කරන ලද කොක් විශේෂයන්හි ක්‍රියාකරකම් තමන්ට කැමති පැහැයකින් පැහැගන්වා කැටයම් කපා සුදුසු පරිදි සකසා පසුව විස්තර කරනු ලබන පලණි කොක්කුන් වෙත නිකුත් කරයි. නිරන්තරයන්ම අසූචි අනුභව කරන මෙම කොක් විශේෂය ඇති දේ නැති කිරීමටත් නැති දේ ඇති කිරීමටත් කෙළ පැමිණියෝ වෙති. ඕනෑම මළදානයක් කිසිම හිරිකිතයක් නොමැතිව විකිණීමට තරම් දක්ෂයෝ වන මොවුන්  කොක්කුන්ට බේගල් ඇදබාන්නෝ ලෙස නම් දරා සිටිති.

08. විශේෂය - පලණි කොකා.

මෙම කොක් දූපතෙහි වාසය කරන විශාලතම ගහනය සහිත කොක් විශේෂය මොවුන් වන අතර ඉහත සඳහන් කල සියළු කොකුන්ගේ වහලුන් බවට පත්වී ඇත. උපතින්ම කෙසඟ සිරුරක් හිමි මෙම කොක් විශේෂයෙහි ප්‍රධාන ආහාරය වන්නේ *ඉල්ලන් කෑම* වන අතර තොල්මිටි දහ දත්කූරූ අමතර ආහාර වශයෙන් ලබාගනී. සෑම දෙයක් ම දෝතටම වඩින තෙක් මග බලා සිටින මෙම කොක් විශේෂයට අද සිදුවන දේ හෙට අමතක වන තරම් වන ඉතා දරුණු රෝගයක් වැළදී ඇත. කුමන තාඩන පීඩන වලට මුහුණ දුන්නත් මවිසින් ඉහත සඳහන්කළ කොකුන්ට දැඩිලෙස ඇළුම්කරයි එහෙත්  එම කොකුන්නම් සිතනුයේ මෙම පලණි කොකුන් ඕනෑම හූණු බිත්තරයකින් රැවටිය හැකි බවයි.

 පළණි කොකුන්

09. විශේෂය - පටි කොකා.

ඉතා දරුණු කොක් විශේෂයක් වන මෙම කොක් විශේෂය පසුගිය කාලයේ මෙම දුපතෙන් කොටසක වෙනම කොක් රාජ්‍යයක් සදහා දැඩි සටනකට යොමුවුනු පිරිසක් වෙති. දැනට මෙම දූපත තුල මොවුන් දරුණුලෙස වඳවී ඇති මොවුන් ගෙන් සමහරක් වෙනත් කොක් දූපත් වලට සංක්‍රමණය වී ඇත. මොවුන්ගේ ප්‍රධාන ආහාරය අනෙකුත් කොක් විශේෂයන් වන අතර වෙනත් දූපත්වල කොකුන් සමග දැඩි සෙනෙහසක් ඇත.

පටි කොකා.

10. විශේෂය - පටන කොකා. 

සිටිනාතැනක් සොයාගත නොහැකි මෙම කොක් විශෙෂයෙහි තොරතුරු ලබාගත හැක්කේ අන්තර් කොක් ජාලය හරහා පමණී. අන්තර් කොක් ජාලය හරහා කොක් භාෂාවෙන් බොග් යනුවෙන් මොනවාදෝ කොටන මොවුන් විවිධ නම්වලින් එම ජාලය ඔස්සේ පෙනීසිටියි. කොතෙක් සෙවූවද මොවුන් ගැන තොරතුරු සොයාගැනීම අතිශය දුෂ්කකර විය... 
 අමාරුවෙන් සොයගත් පටන කොකෙකුගේ ඡායාරූපයක්

--------------------------------------------------------------------------------------------------------------------
ප/ලි
මෙයට මාසයකට පමන පෙර කුණුහරුප යනුවෙන් පද පෙරලි යොදමින් රසවත්ව ලියන ලද පෝස්ටුවක් කියැවීමි එහි ලින්ක් එක සොයාගැනීමට වෙහෙසුනත් එය අපහසු විය. යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් එම ලින්ක් එක ලබාදෙන ලෙස ඉල්ලා සිටිම්. 

සියළු ඡායාරූප අන්තර් ජාලයෙන් ලබාගන්නා ලදී

Friday, March 14, 2014

පාංශුකූලේ සහ මැක්කා...




ගුණේරිස් මහතා ගමේ කාගේත් හිත දිනාගත් කිසිවෙකුටත් කරදරයක් හිරිහැරයක් නොකළ තමුන්ගේ පාඩුවේ පිනක් දහමක් කරගෙන ජීවත් වූ අහිංසක ගැමියෙකි, ඔහු දු වරුන් දෙදෙනෙකුද එක් පුතණුවකුගේද පියෙකි. තම දරුවන් තිදෙනාට තමන්ට හැකි පමණින් අධ්‍යාපනයක් ලබාදුන් ගුණේරිස් මහතා ඔවුන් තිදෙනා කිසිවෙකුගෙන් කතන්දරයක් නොඅසන විනීත කීකරු ගුණගරුක පුරවැසියන් සේ සමාජයට දායද කරන්නට තරම් දක්ෂ විය. දරුවන් තිදෙනාම දීගතලා දුන් පසු තම ආදරණීය බිරිද සමග මහගෙදර විසූ ගුණේරිස් මහතා ගමේ හැමෝගේම දුකට සැපට පිහිට වෙමින් උපදෙස් දෙමින් ගමේ විහාරස්ථානය සමග කිට්වු ඇසුරක් පවත්වාගෙන යමින් යහපත් ජීවිතයක් ගතකල සැබැවින්ම උපාසක මහත්මයෙක් විය.

තම හැට හත් වසරක කාලය තුල කිසිවෙකුටත් කරදරයක් හිංසාවක් නොකල ගුණේරිස් මහතා ගම්වාසී සියළු දෙනා කම්පාවට පත් කරමින් හදිසියේ වැළඳුනු හෘදයාබායකින් මෙලොව හැර ගියේය. ඔහුගේ දරුවන් තිදෙනා හැකි ඉහලම අයුරින් තම පියාගේ අවසන් කටයුතු සිදුකිරීමට සියලු උත්සාහයන් දරා තිබිණ. ගුණේරිස් උපාසක මහතාගේ මලගම නිසා ශෝක නොවුනු කිසිවෙකුත් අහලගම් හතකවත් නොවීය. මරණයෙන්  සිව් දිනක් ඇවෑමෙන් උපාසක මහතාගේ අවසන් කටයුතු කිරීමට සැලසුම් කොට තිබිණ. ගොක්කොල අතු සැරසිලි, ඉටිකොල වලින් කරන ලද සැරසිලි, පතාක, බැනර්, පෝස්ටර්, කටවුට්, කවිකොල, මේ කිසිවක්ගෙන් අඩු නැතිව අවමගුල ඉතා තේජාන්විත අන්දමින් සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබිණ.

වැට අද්දර දවට ගගේ මුදුනේ ලවුඩ්ස්පීකර් දෙකක් සවිකර ගමටම ඇසෙන සේ අවමංගල සභාවේ වැඩකටයුතු ඇරඹින. පාංශුකූලය සඳහා ගමේ පන්සලේ නායක හාමුදුරුවන් ඇතුලු අවට විහාරස්ථාන වලින් විසි දෙනමමකින් යුතු මහා සංඝරත්නයක් වැඩමකරවා තිබිණ. ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගී වූ පිරිස ගමේ, අවට ගම්වලින්, සහ ඔහුගේ ‍ඥාතීන් සියල්ල එකතු කල විට හාරසියයකට වැඩි මිසක් අඩු නොවීය. ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ පැමිණ සිටී සියලු දෙනා පංචසීලයෙහි පිහුටුවා ආගමික වතාවන් නොපිරිහෙලා ඉටුකරන ලදී.

සංවිධායක මණ්ඩලය විසින් අවමගුල සඳහා එක් පැවිදි අනුශාසනාවක් පමණක් යෝජනා කර ඇත්තේ අනෙකුත් අනුශාසනා වලට අවස්ථාව ලබාදුනහොත් විසි තිස් දෙනෙකුට ඒ සඳහා ඉඩ දෙන්නට සිදුවීමත් කිසිවෙකු හෝ මග හැරුණහොත් ඔවුන් හිත් අමනාප කරගනා නිසාත්ය. පැවිදි අනුශාසනාව කරීම සඳහා ඇරයුම් ලද්දේ ගුණේරිස් මහතා සියලු කටයුතු සඳහා අනුශාසනා ලබාගත් ඔහුගේ සියලු සිතුම් පැතුම් හොඳින් දන්නා ගමේ පන්සලේ ගරු නායක ස්වාමීන් වහන්සේටය.

එහිදී ගමේ පංසලේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කරනලද අනුශාසනාව ඔබගේ දැනගැණීම පිණිස මෙසේ සටහන් කර තබම්හ...

˝ අති ගෞරවණීය මහා සංඝරත්නයෙන් ද සංවේගප්ප්‍රාප්ත ගුණේරිස් උපාසක මහතාගේ බිරිඳ, දරුවන්, ඥොති, ගම්වාසීන් සියලුදෙනාගෙන්ම අවසරයි, අදදින.. අවසන් ගමන් යන මේ.. ගුණේරිස් උපාසක මහත්තයා ඇත්තෙන්ම ගමට රටට වැඩදායක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපාසක මහත්තයෙක්, ඔහු නිහඩවම මේ ගමට පංසලට විශේෂ සේවයක් කල මහත්තයෙක්, බලන්න පිංවතුනි අද මෙතනට රැස්වෙලා ඉන්න පිරිස, මට නං පෙන්නේ දාහකට වැඩියි මේ එක් රැස්වෙලා ඉන්න පිරිස අතරේ  සමාජේ නොයෙක් තරාතිරම් වල අය ඉන්නවා. මේ අය මෙතනට අවිල්ල ඉන්නේ ඇයි, මේ ගුණේරිස් උපාසක මහත්තයගෙ තිබුනු හිතහොඳකම නිසා.

බලන්න මේ පාර පළාත් සභාවට #$@%^$  න් තරග කරන අහවල් මහත්තයාත් මේ ඊයේ රත්‍රී කායේ මෙ නිවසට පැමිණිලා ගුණේරස් උපාසක මහත්තයට අවසන් ගෞරව දක්වල තියනවා, අන්න එහෙමයි එතුමා ගමේ සිද්දවෙන කිසිම ඉලව් ගෙදරකට සහභාගී නොවී තයෙනවද? නහැ. අද දින අහවල් මහත්තයාට විශේෂ රැස්වීමකට සහභාගී වෙන්න කටයුතු යෙදිල තියන නිසා මේ අවස්ථාවට සහභාගී වෙන්න නොහැකිවෙලා තියෙනවා. 

ඇත්තටම ගුණේරිස් උපාසක මහත්තයා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනා පුරුෂයෙක්, සංවෙගප්ප්‍රාප්ත නෑ හිතවතුනි, පිංවතුනි, බුදුන් වහන්සේ (˝සාධු.. සාදූ..˝ පිරිසගෙන් සාධුකාරය) මහා මංගල සූත්‍රයේ දේශණාකරල තියනවා මෙන්න මෙහෙම, 

(තාලෙට කවි ස්වරයෙන්)

අසෙවනා ච බාලානං,
පණ්ඩිතානඤ්ච සෙවනා,
පූජා ච පූජනීයානං,
ඒතං මංගල මුත්තමං...

මේ මංගල කාරණා ගැන බැලුවම අපේ ගුණේරිස් උපාසක මහත්තයත් ඒ ගණයට වැටෙනවා, ඒ වගේ..ම තමයි අපේ අහවල් මහත්තයත් මේ වගේ උතුම් මංගල කරුණු සපුරල තියෙන මහත්තයෙක් .. 

රටේ තොටේ ඇසුරුකරන්න ඕන අය විතරක් ඇසුරුකරන, නිකං දෙකයි පණහේ දේශපාලඥොයා පාතාල කාරයෝ, කුඩු කාරයෝ ඇසුරු නොකරන, 

ඒ විතරක් නෙවෙයි හොද උගත් බුද්ධිමත් ව්ද්වතුන් විතරක් ඇසුරු කරන, පඪිවරුන් මහා නායක හාමුදුරු වරුන් ඇසුරු කරන උන් වහන්සේලාගෙන් අවවාද උපදෙස් ගන්නා මේ අහවල් මහත්තයා, සැබැවින්ම පිදිය යුත්තෙක්.

ඒකයි පිංවතුණි පූජා ච පූජනීයානං කියන්නෙ...

අපි පිදිය යුත්තන් පිදිය යුතුයි, මං මේ අහවල් මහත්තයට පිදිය යුත්තෙක් කියන්නෙ නිකං නෙවෙයි පිංවතුණි නිකං නෙවෙයි, ඔබට මතකද ගමේ දහම් පාසලේ තෑගි ප්‍රදානොත්සවයයේදි අපිට සහතික ටික ප්‍රින්ට් කරගන්න උදව් කළේත්, දහම් පාසලේ ඩෙස්ක් බංකුටිකේ තීන්ත පිරියම් කරල දුන්නෙත් ඒ වගේම තමයි පංසල ගාවින් වැටිල තියෙන ගුරුපාර.... මට මතකයි ඒ දවස්වල මේ ගුරුපාර එකම මඩ වගුරක් අපිට දානෙකට වඩින්න බෑ.... මඩේ එරෙනවා පුංචි ලමයෙක්ට ඉස්කෝලෙ යන්න බෑ.... සුදු ඇඳුම පුරා මඩ, මෙන්න මේ මඩ වලක් වෙලා තිබ්බ ගුරුපාර කොන්කීට් කරල ගමට යන්න එන්න නව මාවතක් විවරකරල දුන්නේ මේ අපේ අහවල් මහත්තයා.. 

මං කලිනුත් කිව්ව වගේ මේ අහවල් මහත්තය කියන්නේ පිදිය යුත්තෙක්, ඉතිං පිංවතුනි ඔබ අපි හැමදෙනාම මේ පුංඥකර්මයට සහභාගී වෙන්න ඕන.. අද මේ අවසන් ගමන් ගිහිල්ල ඉන්න ගුණේරිස් උපාසක මහත්තයට කරන ලොකුම සැලකීම තමයි, මේ පිංවතුන් හැමෝම විසිනම වෙනිදා උදෙන්ම තමන්ගේ ඡන්ද පොලට ගිහිල්ලා #$@%^$  ලකුණට කතිරෙ ගහලා මේ අපේ අහවල් මහත්තයා ගේ අංකය වන අංක  49  ට, මතකයිනේ පිංවතුනි අංක 49 , මේ අංකෙට කතිරේ ගහලා මේ අපේ අහවල් මහත්තයව පලාත් සභාවට පත්කරල යවන්න ඕන.. මං හිතනව පිංවතුනි මියගිය ගුණේරිස් මහත්තය වෙනුවෙන් ඔබ ඔබගේ යුතුකම ඉටුකරයි කියල...

මම තවත් මේ අනුශාසනාව දීර්ඝ කරන්නනෙ නෑ.. ඉතිං අවසාන වශයෙන් ඔබ සියලුදෙනා විසින් කරනු ලබන ඒ මාහැඟි පුඥ්ඥකර්මයේ බලයෙන් මේ මියගිය ගුණේරිස් උපාසක  මහතා පිං ඇති තැනක උපදීවා!!! උපදින උපදින අත්මයක් ආත්මයක් පාසා මෙවැනි අකල් මරණයන් වලට ගොදුරු නොවේවා!!!!  කෙළවර අමාමහ නිවන් සැප ලබා ගෑනීමට මේ පින හේතු වේවා වාසනා වේවා........!!! කියල සාධු කියා ප්‍රාර්ථනා කරන්න. ˝

˝සාධූ.. සාධූ... සාධූ......˝ පිරිසගෙන් සාධුකාරය...