Sunday, October 26, 2014

පඹහින්න ගම, ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ බස්සිට අදහසක්.....



පහුගිය සතියේ බස්සි ලියල තිබ්බ බෝඩිම් කට්ට (tips for boarding life - 1) පොස්ට් එක කියෙව්වම හිතුනු දෙයක් තමයි බොඩිමක් විතරක් නෙවයෙි හොස්ටල් ජීවිතේ ගැනත් යමක් කියන්න ඕන කියලා.
කොළඹ බදුල්ල පාරේ කිලෝ මීටර් 156 ක් විතර ගියාම බෙලිහුල්ඹය තියනවා, ගොඩාක් අයට ඉතිං බෙලිහුල්ඔය කිව්වම මතක් වෙන්නේ ටිකක් සිසිල්, සුන්දර පරිසරයක්.. ඔය සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටල තියෙන්නේ කලින් කියපු බෙලිහුල්ඔය ඉඳන් තවත් කිලෝමීටර් හතරක් විතර ගියාම මුණගැහෙන පඹහින්න කියන ගමේ.. හැබැයි පඹහින්න ගමට මේ විශ්වවිද්‍යාලයක් කියන එකක් ආවේ අමුතුම ආකාරයකට..

ගොඩක් අය දන්නවා ඇති සමනල වැව, ඔය වැව ගැන සිංදු එහෙමත් ලියලා තියනවා අපේ සහෝදර බ්ලොග් සෙට් එකක් වන කුරුටු ගෑ ගී පවුරේ (ආඬි එකොලොස් දෙනාගෙ බ්ලොග් එකේ) ඈයොත් මෙන්න මෙකවිය කුරුටු ගාල තිබුනෙත් ඕං ඔය කියන සමනල වැවගැන සිදුවීමක් ගැන තමයි. කොහොමින් කොහොම හරි ඔය කියන සමනල වැව සහ ඒ ආශ්‍රිත විදුලි යෝජනා ක්‍රමය හදන්න ආපු සේවකයනට නවතින්න ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකරල තියනවා. ඒ ගොඩනැගිලි සංකීර්ණයේ ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, 100*20 ගොඩනැගිලි කිහිපයක්, නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා. 
 
                                  සමනල වැවැ කදුමුනට පෙනන අයුරු

                                    සමනල වැව් බැම්ම සහ සොරොව්ව

සමනල වැව ව්‍යාපෘතිය අවසන් උනාට පසු මෙම ගොඩනැගිලිවල අයිතිය විදුලිබල මණ්ඩලයට හිමිඋනා. පසු කාලීනව එවකට පැවති රජයේ අවශ්‍යතාවක් මත මෙම ගොඩනැගිලි වලින්, කිහිපයක් ගෙන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට අනුබද්ධව, මෙහි අනුබද්ද විශ්වවිද්‍යාලක් පිහිටුවා තියනවා., මෙම අනුබද්ද විශ්වවිද්‍යාලය 1996 වෙද්දි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල බවට පත්වෙනවා, මෙම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය රහංගලත්, ව්‍යවහාරික විද්‍යා පීඨය බුත්තලත් ආරම්භ කරනවා.

හරි දැං අපි මාතෘකාවට ගොඩ වෙමු. මං කිව්වේ  මේ විශ්ව විද්‍යාලය තියෙන්නේ පඹහින්න කියන ගමේ කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නං මහතැනන සානුවේ තියන මේ ගමේ බෙලිහුල්ඔය හරියේ තියෙන සුන්දරත්වයනං නෑ.. මේ පලාතේ මිනිස්සු වැඩිපුරම කරන්නේ හේන් ගොවිතැන. තක්කාලි, අමු මිරිස්, මඤ්ඤොක්කා වගේ බෝග තමයි වැඩිපුරම වවන්නේ.  අවුරුද්දේ මාස නමයක් විතරම පෑවිල්ලට යටවෙන මේ පැත්තේ අන්තිමට ඉතිරිවෙන්නේ අව්වට පිච්චිලා දුඹුරුපාට වෙච්ච අඩිය තියපු ගමන් දූවිලි ඇවිස්සෙන කර්කෂ පොලවක් තමයි. මේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා මෙන්න මේ ගානට පොලව වේලුනාම, ගමට ලස්සන දෙන ගම ඉස්සරහින් තියන පරවියන්ගල කන්දේ මානං කැලේට ගිනිතිබ්බම ඉක්මනටම වැස්ස ලැබෙනවා කියලා. ඉතිං මිනිස්සු කරන්නේ මහ කැලෙත් මානං කැලෙත් අතර අඩි විස්සක විතර තීරුවක් සුද්ද කරනවා (මේ තීරුවට කියන්නේ ගිනි පටිය කියල මේ තීරුව නිසා ගින්න මහ කැලේට පැතිරෙන්නෙ නෑ). ඊට පස්සේ මානමට ගිනිතියනවා. රෑ කාලෙට ගිනිගන්න කන්ද දිහා බලන් ඉන්න එකෙත් පොඩි සුන්දරත්වයක් තියනවා.. හැබැයි ගිනිගත්ත කන්ද පහුවදාට අඟුරු කෑල්ලක් වගේ පේනකොට නං දැනෙන්නේ මාරම දුකක්. 


                                        පරවියන්ගල කන්ද 

මේ කන්දට ගිනිතියලා සතියක් යන්න කලින් මේ පැත්තට අනෝරා වැහි ඇදගෙන හැලෙවා. ඒක අවුරුදු පහක් විතර අද්දැකීමෙන්ම දන්න සිද්ධාන්තයක්.. මාස ගානක් පායල පායල කරකුට්ටන් වෙච්ච පොලවට වැහි බින්දු  වැටෙනකොට ඒ පොලවෙන් නික්මෙන සුවඳ හරිම ආස්වාදනීයයි.. අපිත් මුලින්ම මේ විදියට වැස්ස දවසේ පොඩි එවුන් වගේ වැස්සට පැනල හොදටම මඩ තැලුවා.. 

දවස් දෙකතුනක් යනකොට අර වේලිලා දුඹුරු පාට වෙච්ච ත(න/ණ)කොල වලින් ලා කොලපාටට දළු දාන්න පටන් ගන්නවා.. ඒක හරිම ලස්සන දර්ශනයක්, ඒ වගේම තමයි ගිනි අරන් කරකුට්ටන් වෙච්ච කළුපාට කන්දේ, මානම ආයෙත් පූදිනවා දවසින් දවස ඒක දිහා බලං ඉන්න ආසයි..

මේ ගමේ මිනිස්සුන්ගේ කෘෂි ආර්ථීකේට අමතර ආදයම් මාර්ගත් මේතැන විශ්වවිද්‍යාලයක් බිහිවෙච්ච නිසා ඇතිඋනා. මේ ඊයේ පෙරේදා වෙනකංම විශ්වවිද්‍යාල නේවාසිකාගාර විදියට භාවිතා කළේ මේ පඹහින්න ගමේ මිනිස්සුගේ ගෙවල් තමයි, සිසුන්ට අවශ්‍ය කෑම බීම හදල දෙන්න ව්‍යාපාරික ස්ථානත් බිහිවෙනවා. මේ පැත්තේ බස් ගමනාගමනයත් සිදුඋනේ යලට මහට හින්දා පඹහින්න හංදියේ ත්‍රි රෝද රථ ගාලක් එහෙමත් ඇතිවෙනවා.. වැදගත්ම දේ ඒක නෙවෙයි.. එවකට සමනලවැව පොලිස් මුරපොල, සමනල වැව පොලීසිය බවට පත්කරගන්නට අපි ඕකට යන කාලේ හැකිවෙනවා.. ඒක මං හිතන්නේ අපි විසින් ගමට කරපු ලොකුම සේවයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. 

ඔන්න ඔය කියන ගමේ තමයි ටිකිරා අයියගේ කඩේ තිබුනේ.. මං හිතන්නේ තව දිගට මේක ලිව්වොත් කියවන අයට එපා වෙන්න ඉඩ තියනවා. ඒ නිසා ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ බස්සිට දාන අදහස ගැන ලඟදීම පොස්ට් එකක් දාන බලාපොරොත්තුවෙන් අදට නවතිනවා..

ඔය පැත්ත ගැන ලියවුනු වෙනත් එව්වා...




ප/ලි  :  ඔය පොටෝ එහෙම අල්ලල තියෙන්නේ මමම තමයි 

Thursday, October 23, 2014

චන්දන....



ලකුණු 39 යි, තව 13 යි ඕන

ඒයි හොර ලකුණු දාන්න එපා,  ලකුණු 37 යි..”

හිච්චගේ ඕවරේ ඉවරවෙනකොට 28 යි මේ ඕවරේට 11 යි

නෑ යකෝ මේ ඕවරේට 9 යි, පලවෙනි බොලේට පල්ලෙහා කැලේට ගැහුවේ දෙකයි, දෙවනි බෝලේ කීපර්ගේ අතට ගියා, තුන්වෙනි බෝලෙට සමීර කැච්එක අතඇරියා  ලකුණු තුනක් දිව්වා, හතරවෙනි එකට නුවන්ගේ පොලු ගියා, පස්වෙනි එකට හතරක් ගැහුවා බෝලේ ඇළට වැටුනා, අන්තිම බොලේ උඹ අල්ලගත්තා ලකුණක් නෑ. එතකොට  ලකුණු නමයයි, මුළු ලකුණු තිස්  හතයි

චන්දන මෙතරම් කෑ ගසන්නේ අනික් කන්ඩායම ලකුණු දෙකක් හොරට දා ගැනීමේ කේන්තියෙනි. ඕවර පහ හයක තරගයක පලවෙනි පන්දුවේ සිට අන්තිම පන්දුව දක්වා සියළු විස්තර මතකයේ තබාගැනීමට චන්දනට හැකියාව ඇත. මේ හැකියාව නිසාම චන්දනට කොල්ලෝ කියන්නේ කොම්පියුරේකියාය, සෑම මසකට සැරයක් වගේම අල්ලපු ගමේ ටීම් එකත් එක්ක ගහන මැච්එකේ චන්දන නිත්‍ය සාමාජිකයෙකි, මන්ද ලකුණු සටහන් කරුවන් සිටියද කණ්ඩායමේ අයට ඔවුන්, ඔහු තරම් විශ්වාස නොවීමයි.

අවාසනාව ‍දොතින්ම තුරුළු කරන් උපන් චන්දන පවුලේ වැඩිමහල් ලමයා විය. උපතින්ම උරුම කරගත් විරූපී මුහුණ, ටිකින් ටික මෝරා වැඩෙන විට දුටුවන් බයගැන්වීමට තරම් සමත් විය. ඔහගේ කේන්දරය, ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් කිසිසේත්ම සුභ නොවන බව කේන්දරය සෑදූ දෛවඥයා පවසා ඇත. ඔහුගේ අනාවැකි සපල කරමින් චන්දනට වයස අවුරුදු දෙකක් වන විට, මී උන රෝගයට ගොදුරු වූ චන්දනගේ මව මිය ගියාය.
චන්දන පාසල් යන්නට තරම් වයසට එනවිට ඔහුගේ පියා තවත් කසාදයක් කරගෙන තිබුණි. මව තරමටම නැතත් යම් තරමකට සුළුමවගේ සැලකුම් චන්දනට ඉහටත් උඩින් විය. 

ගමේ පාසැලේ අකුරු කරන්නට ගිය චන්දනට අවුරුදු තුනක් යනවිට අවාසනාවන්ත ලෙස පාසල් ගමනට තිත තියන්නට වූයේ, ඔහුට බිය වි පාසල් එන්නට අදිමදි කරන ළමයින්ගේ දෙමව්පියන්, විදුහල්පතිහට කරන පැමිණිලි වල නිමක් නැති වූ විටය.. 

පොල් ගසකින් වැටී චන්දනගේ පියා එකතැන් වූයේද මේ කාලයේදීමය. චන්දනත්, තවත් දරුවන් දෙදෙනෙකුත් රැක බලා ගැනීමට තනි සටනක් කරීමට මේ සමය වනවිට ඔහුගේ සුළුමවට සිදුවී තිබිණ. 

තව අවුරුදු අටක් යන්කං මේ දරුවට ගොඩක් අපල තියනවා.. මේ ළමයා නිසා ගෙදර අයටත් අපලයි, පුළුවන්නං මේ ළමයව ගෙදරින් ඈත් කරල තියන්න..” 

චන්දනගේ සුළු මවටද දෛවඥයකු පවසා ඇත්තේ එසේය, චන්දනව ගෙදරින් පිටමං කිරීම කෙසේ වෙතත් මුලින්ම අපලය පලදුන්නේ අනාවැකි කියූ දෛවඥයාටය. එනම් මේ සිද්දිය අසා කුපිත වූ නොසන්ඩාල චන්දගේ ගල් පහරකින් ගුරා ගේ හිස සිදුරුවීමයි.

අපිලිවෙල සහ අපිරිසිදු කම චන්දනගේ ජීවිතයේ ප්‍රදාන අංගයක් වී තිබිණ, ගමේ කොල්ලන් එකතු වී මොහුව ඇදගෙන ගොස් ගඟට දැමූවොත් මිස වැරදීමකින්වත් නා පිරිසිදු වීමට ඔහුට සිත් දී නොතිබුණී. නමුත් දිය නෑමට පැමිනි අයකුගේ, ගඟට වැටී වැලි අතර සැඟවුනු රන් මාලයක් සොයා දීමට දින තුනක් තිස්සේ ගඟ හා ඔට්ටු විය. එවැනි අවස්ථාවලදී ඔහුගේ අපිරිසිදු ප්‍රතිපත්ති මදක් ලිහිල්වෙයි.

මේ අතර වසර ගනනාවක් ඔත්පලව සිටී චන්දනගේ පියාද නිසි වේලාවට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මිය ගියේය. ඔහුගේ මලගමට පැමිණි බොහෝ දෙනනාගේ අදහස වූයේ චන්දනගේ අපලය මේනිසා මේ පවුල නැත්තටම නැතිවී යන දිනය වැඩි ඈතක නොවන බවයි. 

පියාගේ අභාවයෙන් වසර දෙකක් පමන ගතවනවිට හදිසියේම චන්දනද රෝගාතුර විය. සති කිහිපයක් රෝහල් ගතව සිටියද ඔහුට වැළදී ඇති රෝගය කුමක්දැයි හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට අපහසුවිය. අවසානයේ මරුවා සමග කළ සටනින් චන්දන පරාජය විය. අන්තිමට වෛද්‍යවරුන් පවසා ඇත්තේ චන්දනගේ සිරුරෙහි පිලිකාවක් තිබූ බවත් එය සොයාගන්නා විට බොහෝ ප්‍රමාද වී තිබූ බවත් ය. ඉන්පසු කිසි දිනක බෝල ගැසූ පුරන් කුඹුරේ ඒ කොම්පුටරය දක්නට නොලැබුනි..

චන්දන අප අතරින් සමුගත්තේ එක්දස් නවසිය අනූ හතරේ ඔක්තෝඹර් මාසයේ දීය එනම් හරියටම මීට වසර විස්සකට පමන පෙරය. එදා චන්දන හා බෝල පිට්ටනියේ සිටී මිතුරන් කිහිප දෙනෙක් එක්ව, ඔහු වෙනුවෙන් විසි අවුරුද්දේ දානය මහ ඉහලින් සංවිධානය කර තිබුණි.. ඒ වෙනුවෙන් සුළුවෙන් හෝ සම්මාදම් වන්නට ලැබීම මහාත් භ්‍යාගයක් කොට සලකමි..