හාත්පස කෑලි කැපිය හැකි කළුවරය, හෝ හෝ ගා හමනා
දැඩි සීත සුලග සමග මුසුවූ මීදුමය, අතරින් පතර වැසි බිදු කීපයක් වැටෙන රාත්‍රියේ
සුළගේ හඬ හැර වෙනත් කිසිඳු හඬක් නැති නිහැඩිතාවය. සඳ එළියවත් තරු එලියවත්
පොලවට නොවැටෙන්නට ඝණ වලාකුළු බිඳකුඳු ඉඩ හසර දී නැත. අවට කිසිඳු ආලෝකයක් පෙනෙන්නට
නැත. මේ සියල්ල මැදින් පාවී යන ගන්ධබ්බයාට කුමක්දෝ හුරුපුරුදු ගතියක් දැනුණි. පාවී
යන ගමන්ම ගන්ධබ්බයා වටපිට බැලූයේ මෙතැන කොහිදැයි නිශ්චිත කර දැනගන්නටය.
“ටොහ්..” ගන්ධබ්බයාගේ
හිස කුමකදෝ තදින් වැදිණි, ඉන් එක්වරම ගමන් මග වෙනස්වූ ගන්ධබ්බයා පහලට වැටෙන්නට
විය. එසේ පහලට වැටෙනවිට නැවතත් කුමකදෝ ගැටුණු ඕ හට එකවරම එය අල්ලා ගන්නට හැකිවිය. එය දෑතින්ම අල්ලාගත් ඔහු අවට නිරීක්ෂනය කරන්නට
විය. ගන්ධබ්බයාගේ හිස වැදී ඇත්තේ රූපවාහිණී සංඥා කුළුණකය ඉන් රූටා පහලට වැටෙද්දී
නැවතවරක් එම කුළුනේම හරස් පට්මක වදිද්දී ඔහු විසින් එය අල්ලාගෙන ඇත.
මේ සිටින්නේ කොහිද ?, මෙතැන මේ තරම් හුරුපුරුදු
ඇයි?
ගන්ධබ්බයා දෑස් පිහිදා වඩාත් සෝදිසියෙන් අවට
පිරික්සන්නට විය. අන්ධකාරය හැර කිසිවක් පෙනේනට නැත තද සීතල මිසක කිසිවක් දැනේනට
නැත. ගන්ධබ්බයා දෑස් පියාගත්තේය.
ගන්ධබ්බයාට ඒ සුවඳ දැනේනට විය, සැක හැර දැනගන්නට
මෙන් නැවත් ඔහු සුවඳ අල්ලා බැලීය . ඔව් ඒ සුවඳම තමයි.. ඒ සුවඳම තමයි.. මගේ සුවඳ, මගේම සුවඳ...... ගන්ධබ්බයාට කියැවින.
ගන්ධබ්බයාගේ සිතට හෙමින් හෙමින් අතීත සිදුවීම්
පෙළගැසෙන්නට විය..
එවකට එනම් මීට අවුරුදු විසි පහකට පෙර ගන්ධබ්බයා (එකල වෙනත් නමක් භාවිතා උවද පහසුව සඳහා ගන්ධබ්බයා ලෙසම නම් කෙරීමි)
දාහත් හැවිරිදි වියේ පසුවිය. ඔහු ගේ පියා උළු ෆැක්ටරියේ කම්කරුවෙකු විය. අම්මා
රැකියාවක් නොකල අතර ඇය අක්කරයක පමණ වූ ගෙවත්තේ එළවලු වගාකර ඉරිදා පොලට එන
මුදලාලිලාට විකුණා ඔහුගේත් නංගීගේත් වියදම් ගැන බැළුවාය. පාසැලේ එකොලොස්වන ශ්‍රේණියේ
ඉගැනුම ලැබූ ගන්ධබ්බයා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු නොවූවද ඉගැනුමෙහි හා බාහිර ක්‍රියාකාරකම්
වලදී දක්ෂතා දැක්වූ ශිෂ්‍යයකු විය. පාසැල් අවසන් වී සවස් කාලයේදී මවගේ එලවලු වගාවට
උදව් පදව් කිරීම ගන්ධබ්බයා විනෝදාංශයක් කොටගත්තේ ඉන් තමන්ටත් දොළොස් හැවිරිදිවූ
නැගණියටත් උගැණුමට අත්වැලක් වන නිසාමය.
එක්තරා දිනෙක සියල්ල වෙනස් කල දිදුවීම
සිදුවිය. නිමල් යනු ගන්ධබ්බයාගේ පන්තියේම ඉගෙනගත් ඔහුගේ මිතුරෙකි. ටික දිනක පටන් නිමල්
ගේ හැසිරීමෙහි වෙනසක් ගන්ධබ්බයාට නොදැනුනා නොවේ එහෙත් එය ඔහුගෙන් අසන්නට තරම් අවශ්‍යතාවයක්
ගන්ධබ්බයාට නොතිබිණ. එදා පාසැල ඇරී නිවසට එන ගමන් නිමල් රහසින් මෙන් ගන්ධබ්බයාට
පැපසූ දෙය සියල්ල කණපිට පෙරලන්නට තරම් විය.
“මචං අද පොඩි වැඩක් තියෙනව අද හවස
පුළුවන්නම් වරෙන්”
“මොනව ගැනද?”
“රටේ දැං සිද්දවෙන දේවල් ගැන තමයි, විස්තර ආවම
කියන්නම් හවස හතර වෙන කොට තොටුපොල ගාවට වරෙන් මම එතැන ඉන්නවා, නොවැරදීම වරෙන්”
නිමල් කලේ ඉල්ලීමක් ද නියෝගයක් දැයි එකවරම
ගන්ධබ්බයාට වෙන්කරගත නොහැකි උවත් ඔහුට එරෙහි විය නොහැකි ලෙස තමා අවනත කරගැනීමට
මිතුරා සමත්ව ඇතිබව ඔහුට වැටහින.
නිවසට පැමිණි ගන්ධබ්බයා දෙවරක් නොසිතාම මිතුරා කියූ
වේලාවට නාන තොටුපොල වෙත ගියේය. ඒ වන විටත් නිමල් සහ තමාගේ පන්තියේ උන් තවත් සගයන්
හතර දෙනෙකුත් එම ස්ථානයට පැමිණ සිටියහ. නිමල් ඔවන් සියළු දෙනාටම තමා පසුපස පැමිණෙන
ලෙස දන්වා සිටී අතර ගන්ධබ්බයා සහ අනෙක් සියළු දෙනා කිසි කථාබහකින් තොරව නිමල්
පසුපස යන්නට විය.
ලඳු කැලය තුල විනාඩි විස්සක පමණ ගමනකින් පසු
ඔවුන් ගල්තලාවකට සේන්දු වූ අතර එහි කෙළවරක වූ විශාල නුග ගස යට තවත් හත් අට
දෙනෙකුගෙන් යුත් පිරිසක් විය. ඔවුන්ද තමන්ගේ වයස හා සමාන වයස් වල උන් පිරිසක් බව
ගන්ධබ්බයාට නිරීක්ෂණය විය. මේ දෙපිරිසම එක්වූ පසු එතැන දොළොස් දෙනෙකුගෙන් සමන්විත
විය, ඔවුනොවුන් අතර වැඩි කථාබහක් නොවුන අතර යමකුගේ අතෙහි පොත් පත් කිහිපයක් තිබෙනු
ගන්ධබ්බයාට දැක ගන්නට හැකිවිය.
කාලය මිනිත්තු කිහිපයක් ගතවන විට ලඳු කැලය අතරින්
තවත් දෙදෙනෙකුගේ රුව මතු විය. තමන්ට වඩා අවු 8 ක් 10 ක් පමණ වැඩිමහළු යැයි කිව හැකි
මොවුන් සැබෑ වයසට වඩා පෙනුමින් වයස්ගත අයවලුන් විය. මුහුණ පුරා අපිලිවලට වැවු රැවුල, කාලෙකින් පනාවක නොගැටුනු හිසකෙස් සහ අන්ඩ දමා තිබූ කලිසම සහ කමීසය මෙම පෙනුම
ඇති කරන්නට ඇතිබව ගන්ධබ්බයාට වැටහිණ. සියල්ල කෙසේ අපිලිවෙල උවත් ඔවුන්ගේ තීක්ෂණ
බැල්ම මොවුන් සියළුදෙනා තිගැස්මට ලක්කරන්නක් විය.
පසුව පැමිණි අමුත්තන් දෙදෙනාගෙන් අයෙකු මුලින්ම
කථාකරන්නට විය.
“සහෝදරවරුණි, අප සමග එකතුවන්නට පැමිණි ඔබ
සියලුදෙනා සාදරයෙන් පිලිගනිමු. එදා අප අතීත සහෝදරයන් අතින් සිදුවු ඒ අයිතිහාසික
වැරැද්ද නිවරදි කරලීම අප සියළු දෙනා උරමත පැටවූ දැඩි වගකීමක්. මක්නිසා ද යත් මේ
අධම පාලන පැලැන්තිය විසින් පීඩනයට පත්කර සිටින නිර්ධන පංතිය වෙනුවෙන් ........... .........................................................................................................................................................................................................
ඉතින් මේ භාරදූර වගකීම මේ සහෝදරවරු සතුයි. අප දිවි දෙවනුකොට මාතෘභූමිය රැකගත
යුතුයි”
ආකර්ෂණීය
ලෙස විනාඩි හතලිස්පහක් පමණ කාලයක් සිදුකල ඔහුගේ දෙසුම ගන්ධබ්බයා අසා සිටියේ ධ්‍යානයකට සමවැදී සේය. එය ඒ තරම්ම සිත්ගන්නාසුළු විය. අවසානයේ තම දිවි දෙවනු කොට මව්බිම රැකගනිමු යන අදහස සියලුදෙනාගේ සිත්තුලට කාවද්දන්නට මේ අසිරිමත් දේශකයා සමත්ව තිබිණ. ඉන්පසු පැමිණ
සිටී අයවලුන් අත තිබූ පොත්පත් කිහිපය එකිනෙකා අතර හුවමාරු කරගත් අතර ගන්ධබ්බයාට ද
ඉන් එක් පොතක් ලැබිණ.
නිවසට
පැමිණි ගන්ධබ්බයා තමන්ට ලැබුණු රුසියානු නවකථාවක සිංහල පරිවර්ථනයක් වූ එම පොත එක
හුස්මට කියවාගෙන ගිය අතර මද දුරක් කියවද්දී එහි ප්‍රධාන චරිතය තමන්ට ආරූඩ කරගන්නට
විය. තම දෙමව්පියන්, සොයුරු සොයුරින්, පෙම්වතිය යන සියළු දේ අතහැර විප්ලවය වෙනුවෙන් පෙනීසිටින
තම අරමුණ වෙනස් නොකරමින් ඒ වෙනුවෙන්ම කැපවී අවසන විප්ලවය වෙනුවෙන්ම දිවිපුදන චරිතයක්
ඇතුලත් කථා පුවතක් එම පොතෙහි විය.
දැන් තමා නව
පනක් ලද්දකු බව ගන්ධබ්බයාට වැටහිණ මේ සියල්ලට වඩා මාතෘභූමිය බේරාගත යුතුයි. අසිරිමත් දේශකයාගේ වදන් ඔහුහේ සිතේ රැව් පිළිරැව් දෙන්නට විය.
දැන්
ගන්ධබ්බයා එළවලු කොරටුවට යන්නේ කලාතුරකිනි. වැඩි සිනහවක් නොමැති ඔහුගේ මුහුණ නිතරම
බැරෑරුම් ස්වරූපයක් දිස් වන්නට විය. එහෙන් මෙහන් වැවුනු දැලි රැවුල කපාගනින් යැයි
තාත්තා විටින් විට කීවද ඔහු එය නෑසූ කන්ව හිදි. පාසැලේ අධ්‍යයන කටයුතු ආවාට ගියාට
සිදුකරන ඔහු තම සගයන් සමග රහසින් හුවමාරු කරගත් පොත් පත් පරිශීලනය කිරීමත්, සතියට
වරක් පවත්වන ගල්තලාවේ දේශණයට සහභාගී වීමත් ඉතා උනන්දුවෙන් සිදුකරන ලදී.
කාලය දෙමසක්
පමන ගතවන්නට ඇත. දිනක ගල්තලාවේ දේශණය අවසානයේ ගොනි පඩංගුවකින් ඔතන ලද පත්‍රිකා ඔවුන්
වෙත දී, එදින රාත්‍රී කාලයේ කඩමණ්ඩියෙත් පාසැලෙත් පංසල අවටත් ඒවා සූක්ෂම ලෙස අලවන
ලෙස දේශකයන් වූ සහෝදරවරුන් විසින් මොවුන්වෙත උපදෙස් දෙන ලදී. එම පත්‍රිකාවල සඳහන් වූයේ
පාලක පන්තියට එහිව ලියන ලද සටන්පාඨයන්ය. එදින රාත්‍රියේ
ඉතා පරීක්ෂාවෙන් යුක්තව සහෝදරයන් විසින් පවරන ලද කාර්යය ගන්ධබ්බයා සහ පිරිස ඉතා සාර්ථකව ඉටුකරන
ලදී.
ටික දිනකින් පාසැලේ සිසුන් සහභාගී කර ගෙන උද්ගෝෂණ ව්‍යාපාරයක් ද, “කොළඹට කිරි අපිට කැකිරි”, “මවුබිම නැතිනම් මරණය”, “ මිණීමරු -- ගෙදර පල” වැනි
සටන්පඨ වලින් පාසැලේ බිත්ති සරසන්නටද මොවුන් පිරිසට හැකිවිය. මේ කරුණු කටයුතු හේතු
කොටගෙන තමන්ද මව්බිම දුෂ්ඨ පාලක පන්තියෙන් ගලවාගැනීම වෙනුවෙන් සටන්කරන
සටන්කරුවකුයි යන හැඟීමක් ගන්ධබ්බයාට විය.
“සහෝදරවරු
හෙට උදේ හතට මෙතැනට එන්න ඕන සතියක වැඩමුළුවක්”
දිනක්
ගල්තලාවේ දේශණය අවසන් වූ විට ගන්ධබ්බයා ඇතුළු තවත් කිහිපදෙනකුට සහෝදරවරු පැවසීය.
දැං දෙමව්පියන්ගේ කීමට අවනත නොවන ගන්ධබ්බයාට ඒ කුමටදැයි අසන්ට අවශ්‍ය නොවීය පසුදා
පාන්දර හත වන විට සතියකට අවශ්‍ය කරන කලමනා සහිතව සියළු දෙනා ගල්තලාව මතවිය. ඔවුන් කැටිව යන්නට පැමිණි සහෝදරයාගේ
මග පෙන්වීම මත ඔවුන් තවත් පැය එකහමාරක පමණ කාලයක් කැළය තුලටම ගමන් කරන්නට විය, ඉන්පසු එලැඹියේ වනය තුල වූ එලිමහනකටය.
එතැන
ගන්ධබ්බයාට නැවුම් අද්දැකීම් ගෙන එන තෝතැන්කක් විය, ඇත්තෙන්ම එතැන සටන් පුහුණු
භුමියක් විය. සගැවී සිට යමක් නිරීක්ෂණය කරන ආකාරයත්, කටු අකුල් වගුරුබිම් ආදිය
තරණය කරණ අයුරුත් කම්බි වැටවල් කිසිවෙකුට හසු නොවන සේ කපාදමන අයුරුත්. සගවී සිට
සතුරු ඉලක්ක වලට පහර දෙන අයුරුත්, දිගු වේලාවක් ජලය යට හුස්ම අල්ලා සිටින්නටත්, පුහුණු කරණු ලැබීය. දින දෙකක
වෙහෙසකර පුහුණුවකින් පසු එළැඹි තුන්වන දිනය අවි පුහුණුව සඳහා වෙන්විය.
ජීවිතයේ පලමුවරට ගිණිඅවියක් අතගෑ ගන්ධබ්බයා ඉලක්කයට වෙඩිතබන්නට පුහුණුවිය. සතිය
අවසානයේ ඔවුන් සියඵ දෙනා නැවතත් නිවෙස් බලා ආවේ ඕනෑම හදීසි කැඳවීමකදී ඹවුන්හා
එක්වන බලාපොරොත්තුවෙනි.
මෙසේ සති
කීපයක් ගත විය. ගන්ධබ්බයා දැන් පාසැල් යන්නේ සංවිධානයේ තොරතුරු දැනගැනීමටත් ඒවා ක්‍රියාත්මක
කිරීමටත්ය. පාලක පන්තියේ මර්ධනයද මේ වන විට උත්සන්න වෙමින් පැවතිණ, කෙසේ උවත් තම සංවිධානය මහින් කරනලද
පහරදීම් ගැන නිතර ගුවන්විදුලියෙන් අසන්නට ලැබූ ගන්ධබ්බයාගේ සිතට සිහින් සතුටක්
එක්විය.
දිනක් හවස
කඩමණ්ඩියට ගොස් නිවසට පැමිනෙන ගන්ධබ්බයාට නිවස අසල කිසිවකු රැදී සිටිනා බව දක්නට
ලැබීය. කවුරුන්දැයි හදුනාගන්නට නොහැකි ලෙස ඔහුගේ මහුණ සහ ශරීරය ගෝනියකින් ආවරණය
කරතිබිණ. තමා නිවසෙහි කඩුල්ල ලගට පැමිණෙන විට මේ ගෝනියක් පැළඳි මිනිසා හිස ඉහලටත්
පහලටත් වනන්නට විය. ගතවූයේ නිමේශයකි අවට ගස් සහ පඳුරු අතර මුවාවීසිටී
කිහිපදෙනෙක් පැන එකවරම ගන්ධබ්බයා ග්‍රහණයට
ගත්තේය. ගන්ධබ්බයාගේ කාමරය දෙවනත් කල ඔවුනට සංවිධානය විසින් දෙන ලද පොත් පත්
කිහිපයක්ද රාත්‍රියේදී අලවන්ට දුන් පත්‍රිකා
මිටියක් ද හසුවිය.
ගන්ධබ්බයාගේ
දෑත් පිටුපසට කර ගැටගැසූ ඔවුන් ජීප් රථය තුලට ඔහුව දමා රැගෙන යන ලදී. තම මවත්
නැගණියත් විලාප දෙනවා ගන්ධබ්බයාට ඇසිණ. එහෙත් ඒ හඬ ඔවුන්ගේ දෙසවන් වලට නොවැකුණා
මෙන් විය. ජීප් රථය තුල දී ඇති පදම් පහර කෑ ගන්ධබ්යා ඉන්පසු පාළු ඉඩමක මැද තිබූ
ගොඩනැගිල්ලක් තුලට ගෙන එනු ලැබීය.
ඉන්පසු
එළැඹියේ ප්‍රශ්නෝත්තර වටයයි.
තමන්ගේ
සංවිදායේ මේ දිනවල සැලසුම් කරන්නේ මොනවාද?
සංවිධානයේ නායකයින් කවුද?
අවි ආයුද
තිබෙන්නේ කොහිද?
මේ පොත්පත් ලබාදුන්නේ කවුද?
පත්‍රිකා ලියන්නේ කවුද?
ඒවා අලවන්නේ
කුමකටද?
මෙකී නොකී බොහෝ ප්‍රශ්ණ ඔහුගෙන් අසනු ලැබීය. පිළිතුරු නොදෙන වාරයක් වාරයක්
පාස එල්ලවූයේ පොලු ප්‍රහාරයන්ය. නැත්තම් කස ප්‍රහාරයක්ය. ඒ බොහෝ ප්‍රශ්ණවලට
පිළිතුරු ගන්ධබ්බයා නොදැන සිටී අතර දන්නා ඒවාටද පිළිතුරු නොදී මුණිවත රකිනුයේ තම
සගයන් පවා නොදීමේ උදාරතර හැඟීම පෙරදැරි කරගෙනය.
පහරකෑම්
වලින් අනතුරුව පිළිතුරු ලබානොදුන් බැවින් ගන්ධබ්බයා ඊලග කාමරය වෙත ගෙනයනු ලැබීය. සීතල
සිමින්ති පොවේ වැතිර සිටී ගන්ධබ්බයාගේ සියොලගම රිදුම් දෙන්නට විය තමන්ගේ අතපය
තමන්ට වාරු නැතිවග ඔහුට දැනේනට විය. පිපාසය ඔහු කරා ආ අතර නින්ද අහලකටවත් නොවීය.
පසුදිනට
පහන් විය මුලින්ම ජල ප්‍රහාරයකින් දිනය ඇරඹිණ, ගන්ධබ්බයාගේ කකුල් වලට පිටුපසින් පොලුකැබැල්ලක් තබා දෑත් එම පොළු කැබැල්ලට
පිටුපසින් ගෙන කකුල්වල වලලුකර අත්වල මැණික් කටුත් එකට එක් කර තදින් ගටගසනු ලැබීය.
දැන් ඒ පොලු කැබැල්ල දෑත් සහ දෙපා අතර සිරවී ඇත. ඉන්පසු හැඩිදැඩි උන් දෙදෙනෙකු
විසින් එම පොලු කැබැල්ල ඔසවා දෙපසින් බාල්ක දෙකක එල්ලල ලදී. දැන් ගන්ධබ්බයා
වවුලෙකු මේන් එල්ලී ඇත. ඔහුට එකවරම හැඩුම් ආයේය. ඇතිවන වේදනාව නිසා කෑගන්නට විය,
නමුත් ගැලවීමක් නොවින. එක පිට එක එල්ලවූ කස පහරවල් ඔහුගේ පිට පුපුරුවා රත්පැහැ
කරන්නට විය.
පැයක පමණ
සංග්‍රයකින් පසු නරුමනයන් නැවත ප්‍රශ්ණකරන්නට විය. එහෙත් ගන්ධබ්බයාගෙන් සුභවාදී පිළිතුරක් නොලැබිණ.
තවත් දිනක් උදාවිය එදින තම කුටියට ආ නරුම රැල ඔහු
නිරුවත් කලේය. දන ගසාගෙන හිස බිමට තබාගන්නට අණකළේය අණට කීකරු වනවා හැර විකල්පයක්
නැත. දැන් ඔහුගේ පශ්චාත් භාගය ඉහලය හිසත් දණහිසත් පොලව මතය. නරුමයකු අතවූයේ අඟල්
අටක් පමණ දිග තුන්කාලේ පීවීසී බටයකි හේ එම බටය ඔහුගේ අධෝ මාර්ගයෙන් අතුල් කරන්නට විය.
ගන්ධබ්බයාට මහත් වේදනාවක් දැනිණ ඔහු කෑගසන්නට විය. එහෙත් ඔවුන්ගෙන් ලැබුනේ වියරු
සිනහවක් පමණී. තවත් නරුමයකු අත කටුකම්බියක් විය ඔහු එම කටුකම්බිය බටය තුලින් ඇතුල්
කර එකවරම බටය ඉවතට ඇද්දේය. වයස අවුරුදු දාහතක් වූ ගන්ධබ්බයාට බිව් මවිකිරි සිහිවිණ.
දැසින් කඳුලු වැගිරිණ. ඔහු හිස පොලෙවෙහි ගසමින් වේදනාව පිටකරන්නට විය. නරුමයා
සිනහසෙමින් කටුකම්බිය කරකවන්නට විය. ගන්ධබ්බයා සිහි සුන්වී සිමෙන්ති පොවමත ඇද
වැටිණ.
දින කීයක්
මෙතැන ගතකලාදැයි ගන්ධබ්බයාට මතක නැත. දිනක් රාතියේ තමන් ලොරියකට නංවාගන්නවා
ගන්ධබ්බයාට අසිහියෙන් මෙන් මතකය ගල් ගොඩැලි වංගු සහිත මාර්ගයක් දිගේ ලොරිය
ගමන්කරයි වදකාගාරයේ වූ අධික රස්නය වෙනුවට දැඩි සීතලක් දැනෙන්නට විය.
“බැහැපියව්”
ලොරියෙහි තමා
පමණක් නොව තව බොහෝ පිරිසක් ඇතිබව දුටුවේ එවිටය. සියළුදෙනාගේම දෑත් ලණුවකින්
එකිනෙකට ගැටගසා තිබිණ.
“යමව්”
ඉදිරියේන්
ගමන්ගත් නරුමයාගේ පසුපසින් ඔවුන් ඇදෙන්නට විය වධක බන්ධනයන්ගෙන් හෙම්බත්ව සිටී
ඔවුන් ඇද වැටෙමින් කඳුකර අඩිපාරක ගමන් කරන්නටවිය. පැයක පමන
කාලයක ගමනකින් පසු ඔවුන් කඳු මුඳුනට ලඟා විය. ළඳු කැලෑ පෙදෙසක් වූ මේ බිම තැනක
හාරන ලද විශාල වලක් විය ඔවුන් සියළු දෙනා වල අසලට රැගෙන ගොස් වලට මුහුණලා දනගස්වන
ලදී තමාගේ ගෙල පිටුපස සීතල යකඩ බටයක් වදිනවා ගන්ධබ්බයාට දැනිණ. තමා මුහුණදුන් වද
වේදනා සියල්ලහි වේදනාව හදට දැනෙන්නට විය සීතල රාත්‍රියේ නිරුවත් සිරුරින් දහඩිය
පිටවන්නට විය. ඉබේම පිටවූ මුත්‍රා තම දෙපාදිගේ බේරෙනවා ගන්ධබ්යාට දැනිණ. නරුමයාගේ
අතඇති අවියේ කොකා ගැස්සෙනවා ඇසින.
සියල්ල නිමාවිය, ඒ සමගම දැඩි සහැල්ලුවක්
දැනෙන්නට විය.
සැබෑ
ගන්ධබ්බයා ඉපැදින. වසර විසිපහක්ම ඔඹමොඹ සැරිසැරූ ගන්ධබ්බයා නැවතත් තමන් මරා දැමූ
තැනට පැමිණ ඇත.
ගන්ධබ්බයාගේ
නෙතට කඳුලක් නැගිණ.
රූපවාහිණි
කුළුනෙන් නික්මුණු ගන්ධබ්බයා ඈතට පාවියන්නට විය.
“මේ පාදඩ භූමියෙහි යලි කිසිදිනක නූපදීවා..”
ඒ ගන්ධබ්බයාගේ අවසන් පැතුම විය.
රූපවාහිණි
කුළුනෙන් නික්මුණු ගන්ධබ්බයා ඈතට පාවියන්නට විය.
-නිමි-
ප/ලි නම්
ගම් සියල්ල මනඃකල්පිතයි.
පිංතූරය මගේය.
ගන්ධබ්බයලා ෆෝම් කළ අය ද.
ReplyDeleteගන්ධබ්බයලා ට වැඩේ දුන් අය ද,
ගන්ධබ්බයලා ගේ මිනීවලවල් හෑරූ අය ද,
පමණක් නොව
ගන්ධබ්බයලා විසින් ගල්කටස් සහ ටී 56 මගින් සෑදූ විවිධ වර්ණවල ගන්ධබ්බයලාගේ මාස්ටර්ස්ලා ද
අද පිරිත් නූල් බැදගෙන යහතින් සිටිති.
ගන්ධබ්බයලා එදත් අනාථ ය. අදත් අනාථ ය.
ඔව් කාකා ඔයටික අන්තිමට දාන්න හදල දැම්මෙනෑ
Deleteගන්ධබ්බයලා එදත් අනාථය අදත් අනාථය.. මේක තමයි අන්තිම ඇත්ත අපරාදේ වටිනා ජීවිත ටිකක්...
ස්තුතියි ආවට..
කාකා +++++++++++++
Deleteමේ නිර්මාණය කියවූ පසු මටත් මේ ගැන ලියන්න හිතුණා!
Deleteදිවිහිමියෙන් මව්බිම සුරුකීම - මොන මෝඩ, ප්රතිගාමී, මඤ්ඤං කතාවක්ද ඒ? - Blinded by patriotism!
http://kathandara.blogspot.com/2014/04/blinded-by-patriotism.html
උදේ පාන්දරින්ම එය කියැවීමි.
Deleteමෙිාකද එකපාර මෙවැනි අමිහිරි මතකයන් මතක් උනේ.. කියෙව්වට මට මෙහි අදහම නොතේරේ... රටද නරක? නැත්නම් මර්ධනයද? එහෙමත් නැත්නං ගොනාට ඇන්දු ව්‍යාපාරයද?
ReplyDeleteගන්ධබ්බයාටත් නොතේරුනේ ඔය ටිකය..
Deleteඇත්තටම නරක කව්ද? හැමෝමද?
බ්ලොග/් එක ටිකක් පලල වැඩියි මචං 1260px තමයි හොදම මයේ හිතේ
ReplyDelete1300px වලට හැදුවා ..
Deleteස්තුතියි අටම්..
දිග පළල කෙසේ වෙතත් බ්ලොග් එකේ පරාසය නම් පුළුල් වෙන තරමට තමයි හොඳ!
Deleteඅනේ මංද....
ReplyDeleteමේ වගේ කතාවක් කියවල මොනව කියන්නද කියල...
මට හිතෙන විදියට ඒ කාලෙ වුනේ... බහුතරයක් වූ යමක් කමක් කල හැකි බුද්ධිමත් නිර්ධන පංතිය සුළුතරයකගෙ වුවමනාවට කඩේ ගිහින් තමංගෙ වටිනා ජීවිතය චින්තනය විනාශ කරගත්ත කියල තමා
ඇත්ත මේ වටිනා ජීවිත නිකරුනේ විනාශකර දැම්මේ...
Deleteදැනට අවුරුදු 25ක් වෙලත් ඒ ජීවිත සාධාරණයක් ඉටුවෙලා නෑ..
ඔවුන් ජීවත්ව සිටියානම්..
ස්තුතියි මහේෂ්
අනෙ අම්මෝ බං. කියවත්දි ඇඟේ හිරි වැටුනා. විශේෂෙන්ම අර කටුකම්බි සීන් එක. අන්තිමට බැලින්නම් ගැටුන ඔක්කොම කාට හෝ කඩේ ගිහින්. පහලම ඉන්න එකා බැට කාලා.
ReplyDeleteඇත්ත පහලම ඉන්න එකා කාට හෝ කඩේ ගිහින්,
Deleteඔවුන් මියගිහින්..
ඒත් දැන් ඇත්තටම වෙලා තියෙන්නේ කතන්දරගේ කොමෙන්ට් එකේ දේවල් නේද?
ස්තුතියි ප්‍රියා
ඒ දීලා තියෙන වධ ටික කියවද්දි මාවත් සීතල වෙලා ගියා...කාගෙ වැරැද්ද උනත් ජීවිතෙන් වන්දි ගෙවන්නෙ අසරණ මිනිස්සු
ReplyDeleteඇත්තටම ඔය වගේ වදබන්ධනයට ලක්වී දිවි බේරා ගත්තවුන් තවමත් අප අතර සිටිනවා..
Deleteඇත්ත වැරැද්ද කාගේ උනත් අහිසංක ජීවිත..
ස්තුතියි චාම්ස්..
@ Chams ++++ මෙතන විතරක් නෙමේ. හැම තැන ම ඔහොම තමා....
Delete@ කුරුටු
Deleteහැම තැනම ඔහොම තමා..
@Chams
Deleteකියවන්න එළියකන්ද වද කඳවුර ගැන පොත.
http://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html
ඒ එකක් පමණයි.
ඔහොම වදකඳවුරු උතුරේත් දකුණේත් රට හැම තැනමත් තිබුණා!
අදත් තියෙනවා විය හැකියි!
ඔය වගේ ගන්ධබ්බයෝ අදත් ඉන්නව විදානෙ,ඒ ගොල්ලන්ව පෙළ ගස්සන අය නං හොඳින් වැජඹෙනවා.මේ අත්දැකීම් කාගේද.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteපැහැදිලිවම හැලපේ, ඒ අද්දැකීම් තියෙන කීපදෙනෙක් මට මුණ හැහිලා තියෙනවා. අනික මොවුන්ව (එවකට පාසල් සිසුන්) පෙළගස්වපු අය ඉන් බලාපොරොත්තු වන්න ඇත්තේ කුමක්ද?
Deleteසමූහ මිනීවලක් අවට මාස කීපයක් වැඩකරන්නට සිදුඋනා එහිදී තමයි කථා නිම්ත්ත සිතට දැනුනේ
ස්තුතියි හැලපේ..
කාගේ අදහස කුමක් වුවද, ඔවුන් එදා විඳි අනේක වද බන්ධන හා දුක් වේදනා නිසාත්, ඔවුන් කල උදාරතර ජීවිත පරිත්‍යාගයන් නිසාත්, මෙහෙමවත් ජීවත් වීමට අපට රටක් ඉතිරිවෙලා තියෙනවා. මේ විදියට හරි නිදහස් අධ්‍යාපනය රැකිල තියෙනවා. ඔවුන් මිය ගියේ අපිට ජීවිතය දීල. අපි පය ගහල ඉන්නෙ ඔවුන් ගොඩනැගූ ලෝකය මත.. ඒකයි තිත්ත උනත් ඇත්ත.
ReplyDeleteපීඩිතභාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතුවග
කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි
-පවන - නන්දා මාලිනි-
මනෝෂ්, ඔබ කියන අයුරින් සිදුවීනම් කෙතරම් අගනේද, ආයෙත් හිතන්න. එසේ සිදුවිණි නම් අප ඒ මියගියවුන් වෙනුවෙන් සිදුකර ඇත්තේ විරුදිනයට පහණක් දැල්වීම පමණක් නේද?
Deleteස්තුතියි මනෝෂ්..
ජනතාවට, සමාජයට අවශ්‍ය දේ ජනතාවටම නොතේරෙනකල් කරපු කැපකිරීම් වලට වටිනාකමක් ලැබෙන්නෙ නෑ. කූඩැළ්ල මෙට්ටෙ තියන්න බෑ වගේ මේ රටේ බහුතරයටත් අවශ්‍ය නැත්නම් බලෙන් දෙන්නත් බෑනෙ. ඒකෙනේ මේ පවතින සමාජ ක්‍රමය පවත්වාගෙන යන්න අවශ්‍ය බලය පාලකයන්ට දිගින් දිගට්ම ජනතාවම ලබාදෙන්නෙ.
DeleteThis comment has been removed by the author.
Deleteඅඩා...! ඇයි මේ ඩිලීට් කරල?
Deleteඅපි සංවේදී උනාම සමහර වෙලාවට නොගැලපෙන දේවල් කියවෙනවා ඒ මගේ මතය වෙන්න පුළුවන්. මට හිතුනා මම කියපුවා ටිකක් සැර වැඩියි කියල ඒ නිසයි මකල දැම්මේ..
Deleteමනෝෂ් මම හිතන්නේ ගන්ධබ්බයාලා විශාල රැවටීමකට ලක්වුනා ඔවුන්ට කිසි දිනක සාධාරණයක් උනේ නෑ.. අදත් ඔවුන්ව මාකට් කරන්න පුළුවන්නම් ඒක කරනවා එච්චරයි..
අනේ මංද බං. උඹ් කියන දේට එකඟ වෙන්න පුලුවන් නායකයො ටික යහතින් ඉතිරි වුනානම්. ගමනායක මැරුව, විජේවීරත් මැරුවා. සෝමවංශ බේරුනේ රට පැන්න නිසා. එහෙම ගියෙ නැත්නම් අඩ ජවිපෙ කියල එකක් නෑ. කවුරුවත් කාවවත් රවටල නෑනෙ බං. ඔක්කොටම එකම ඉරණම.
Deleteමේ වගේ astral body තව හිටිය නම් හමුදාවක් හදන්න තිබුණා, කියල හිතෙන්නේ නැද්ද? මේවා කරපු අය ජිවත් වුවත් මළවුන් වැනිය. මේ දෙපිරිසෙන් ඉතුරු වෙලා ඉන්නේ දැන් ටික දෙනයි, ඔවුන් අයත් වන්නේ කුමන ඝනයටද යන්න නම් දන්නේ නැ. පාවාදීම් සහ බෙලි කැපීම් තිබු යුගයක නෂ්ඨාවශේෂ මත දැන් අපි ජිවත් වෙනවා. ඔබ මේ සියල්ලටම වඩා ඒ හැගීම් අත්විදිනවා.
ReplyDelete//පාවාදීම් සහ බෙලි කැපීම් තිබු යුගයක නෂ්ඨාවශේෂ මත දැන් අපි ජිවත් වෙනවා.//
Deleteඇත්තටම පවාදීමට පෙර මුලාවේ දැමීමේ ආදීනව ඒ කාලයේ පටන් භුක්ති විඳිනවා.. නැත්තනම් අවු 17 කොල්ලන්ට මො ආයුද පුහුණුද..
ස්තුතියි නිහිංසා..
ලිපිය ඔබ ඉතාම මැනවින් ලියා තිබෙනවා. ඒ වගේම සමහර දේවල් කියවද්දී අමුතු අපුලක් දැනුණා, ඒ කියපු විදියේ දඩුවම් කොච්චර නරකද , කාකා කියලා තියෙන විදියට ගන්දබ්බයන් ෆෝම් කරපු අය අද බොහොම සුඛෝපභෝගී ජිවිත ගෙවනවා .
ReplyDelete// ඒ වගේම සමහර දේවල් කියවද්දී අමුතු අපුලක් දැනුණා, ඒ කියපු විදියේ දඩුවම් කොච්චර නරකද,//
Deleteඒවිදියෙ වදහිංසනයන්ට භාජනය වුනු මිනිස්සු තාමත් අපි අතරේ ඉන්නවා. සත්‍යය මීටත් වඩා දරුණු වූවා විය හැකිය. මන්ද සමහරුන් වදකාර තුලම මියගිය බැවිනි.
කාළකන්නි මතකයක්.. අප මේ යුගය අමතක කළ යුතුයි... ස්වභාවධර්මය සියල්ල තුලනය කරණු ඇත.
ReplyDeleteඇත්තටම මාතලන් මේ යුගය ලෙහෙසියෙන් අමතක කළ හැකිද? එසේනම් කෙතරම් අගනේද?
Deleteමිනිසෙකුගේ දෙපා වළලුකර ලඟින් ගැටගසා එහි අනෙක් කෙරළවර වාහනයක පිටුපස ගැටගසා වාහනය තාරපාර දිගේ දාවනය කරනවා දෑසින්ම දුටිමි..ඉතින් කෙසේ අමතක අරන්නද?
ඒ මත
මතක් කලා කියා වැඩක් නැත.....
ReplyDeleteකියවන විටත් සිදුවීම් ගැන හිරිකිතය.....
ඔබට මතක වුනාට අන් සියල්ලටම අමතක වී ඇති සෙයක්ය ......
//අන් සියල්ලටම අමතක වී ඇති සෙයක්ය//
Deleteඅමතක වී ඇති නොව අමතක කරඇති සෙයක්ය.. ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් දිවිදුන් පාසැල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඔවුන් ඉටුකර ඇත්තේ කුමක්ද?
ඊනියා ස්වයං විවේචනයක් කර දිවිදුන් සියල්ල පාවාදුන්නා නොවේද?
කියන්න දෙයක් හිතා ගන්න බෑ විදානේ හිතට පොඩ්ඩක් තට්ටු මේ පොස්ටුව
ReplyDeleteඇත්තටම සහෝ හිතට පොඩ්ඩක් තට්ටු..
Deleteහප්පේ දීලා තියෙන වද.. හිතාගන්නත් බෑ..
ReplyDeleteකියවන්න එළියකන්ද වද කඳවුර ගැන පොත.
Deletehttp://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html
ඒ එකක් පමණයි.
ඔහොම වදකඳවුරු උතුරේත් දකුණේත් රට හැම තැනමත් තිබුණා!
අදත් තියෙනවා විය හැකියි!
බොරු නෙවෙයි තුෂානි ඇත්තටම මෙහෙම කාලෙකුත් තිබුණා..
Deleteකියවන්න පුළුවන්නම් කාකා ගේ පෝස්ටුවේ ඇති පොත හොයාගන්න..
ස්තූතියි.. පොස්‍ටුව කියෙව්වා .. පොතත් හොයාගන්න උත්සාහ කරන්නම්..
Deleteඅම්ම, තාත්තගෙන් අහල තිබුන භීෂණ සමයේ සිදුවීම් හොදින් හිතට දැනුන පෝස්ටුවක් විදානේ...
ReplyDeleteආයේ කවදාවත් ඒ වගේ යුගයක් නොඒවායි ප්‍රාර්ථනා කරමු..
Deleteවිදානේ,
ReplyDeleteමේ ලිපිය කියවා මගේ හිත කීරි ගැසුණා, එනිසායි මාත් ලිපයික් ලිව්වේ අද මේ ගැනම.
මේ ටිකත් කිව යුතුයි.
එදා ඔය වගේ පාසල් ළමුන්ට සහ ඒ සිදුවීම්වලට කිසිම සම්බන්ධයක් නැති ළමයින්ට සිදුවුණු දේ දැකලා දකුණේ අපේ අයගේ ඇස් ඇරුණා.
මෙන්න ඒ ගැන කතාවක්.
http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html
හැබැයි, ඒ ටික දවසකට විතරයි.
එදා මානව හිමිකම් ගැන ගැන කතාකළ අයටත් අද ඒවා අමතකයි. කතා කළොත් ඒඛ දේශද්‍රෝහීකමක්!
කාකා..
Deleteඔය කියන සමූහ මිනීවලක් අවට මට මාස කිපයක් වැඩ කරන්න සිදුඋනා.. එහිදී තමයි මේ ගැන ලියන්න හිතුනේ..
ඔඔගේ පොස්ට් කීපයම කියෙව්වා..
//එදා මානව හිමිකම් ගැන ගැන කතාකළ අයටත් අද ඒවා අමතකයි. කතා කළොත් ඒඛ දේශද්‍රෝහීකමක්!//
එදා කථාකල අය අද පාලනය කරනකොට එහෙම තමයි
ස්තුතියි කාකා..
එදා මානව හිමිකම් ගැන පස්ස පැත්ත උඩ දාගෙන කතා කරපු අයගේ කෙරුවාවලුත් ඊට දෙවෙනි නැහැ. ප්‍රා සංවිධානය ෆෝම් කරපු අයත් වැටෙන්නේ ඔය ඝනයටම තමයි. අද දේශප්‍රෙමියෝයි,ප්‍රා කාරයොයි, පරාල ඇණ කාරයෝයි ඔක්කොම එක අල්මාරියේ . දෙපැත්තෙන්ම මැරිච්ච එව්වෝගේ පවුල් එකතුකරන්න බැරි විදිහට සීසීකඩ වුනා. ඇහෙන් දැක්ක සහ වින්ද අත්දැකීම් එක්ක ඇතිවෙන්නේ මහ කණගාටුවක්.
Deleteපෙත්සම් අරන් ජිනීවා ගිය මහින්ද මහත්තයලාටත් වාසු සහෝදරයාලටත් ඉසකුඩිච්චි දැම්මත් පියවි සිහියට ගන්න බැහැ. බඩුයි නඩුයි දෙකම හඩු ගඳයි.
//ප්‍රා සංවිධානය ෆෝම් කරපු අයත් වැටෙන්නේ ඔය ඝනයටම තමයි. අද දේශප්‍රෙමියෝයි,ප්‍රා කාරයොයි, පරාල ඇණ කාරයෝයි ඔක්කොම එක අල්මාරියේ . දෙපැත්තෙන්ම මැරිච්ච එව්වෝගේ පවුල් එකතුකරන්න බැරි විදිහට සීසීකඩ වුනා. ඇහෙන් දැක්ක සහ වින්ද අත්දැකීම් එක්ක ඇතිවෙන්නේ මහ කණගාටුවක්.//
Deleteඇත්ත ඕක තමයි අරූ.. අන්තිමට මැරිච්ච උන් ගැන කාටවත් වගේ වගක් නෑ..
හරිම සංවේදී පෝස්ට් එකක් විදානේ... ඔය කිව්වා වගේ ඒ දේවල් වලට සම්බන්ධ වෙච්ච අය වගේම නොවුනු අයටත් ඔය ඉරණමම අත් වෙච්ච අවස්ථා තිබුණනෙ... එදා මේ විදියට අවසන් වුනු ජීවිත කොයි තරමක් නම් තියෙන්න ඇද්ද...? මේ වගේ ගන්ධබ්බයො කොයි තරමක් ඉන්න ඇද්ද...? මට මේක කියවනකොට මතක් උනේ කාලයක් බ්ලොග් ලියුව සුමිත් නිරිඇල්ලව...
ReplyDeleteඒ සිද්ධි ඔක්කොම වෙලා ඉවරයි..
Deleteඒත් මේ ගන්ධබ්බයාලගෙ ජීවිත නිකං අපරාදේ විනාශඋනා,
ඔවුන්ට කිසිදා සාධාරණයක් ඉටුඋනේ නෑ..
මේ යනවිදියට එහෙම එකක් වෙන්නෙත් නෑ..
මේ පාදඩ භූමියෙහි යලි කිසිදිනක නූපදීවා...issara nam mehema hithune naha, hithune oke anik oatta. Namuth dan..................aththatama oka hithenne patan aran. 'Loken uthum rata' lbel eka gahapu eka dan mona niraye da danne naha inne. Anika hariyata hithuwoth oya jaathiye mardana dan elipita nathi wunata dan rate widiya 'gandabbaya' hitapu kaaletath wada pahath, kurirui.
ReplyDeleteපැහැදිලිවම අැනෝ.. එ් කාලයටත් වඩා මේ කාලය කුරිරුයි අද දවසේ උනත් බයක් සැකක් නැතිව පොඩි එකෙක් පාරක බැහැල යවන්න පුළුවන්ද? මිනිහෙකුට ස්වාධීනව රැකියාවක් කරගෙන සිටිය හැකිද.. තව බොහෝ දේ... එදා උන්ඩය පපුවටම අාවා.. අද අප මියගොස් අැති බව දැනෙනවිට මතක බනත් දි අහවරයි..
Deleteස්තුතියි අැනෝ අදහසක් එක් කලාට..
විදානෙ ඔබගේ මේ මහගු ලිපිය මට මගහැරී යාම ගැන මට ලැජ්ජයි. ඔබගේ නිර්මානය අති සුවිශේෂයි. එම යුගයේදී මේ ගන්දබ්බයා වැනි මුග්ධයන් ෆෝම් කළ කපටි තක්කඩින් කළ විනාශය වචනයෙන් ප්‍රමාන කළ නොහැකි තරම්. ඊනියා විප්ලවයක් වෙනුවෙන් දස වධ විද මියගිය මෙවැනි කාලකන්නින් ගැන මට පුදුම දුකක් තිබෙන්නෙ. පාසල් සිසුන් දැවැන්ත හමුදා යාන්ත්‍රනයක් ඉදිරියට දමා මහ විනාශයක් කළ දේශපාලන පක්ෂය ගැන මට අප්පිරියාව ක් තියනව.
ReplyDeleteනිකම් ජේවීපී කියන අකුරු තුනටත් අල්ලගනෙ ගිහින් වධදීල මරපු ඒ භීශනය යටතෙ මිනිස්සු කොහොම හිටියද කියන එක අදටත් මට පුදුමයක්. ඕනම කෙනෙක් මරන්න වරම් තිබූ අවිචාර යුගයක්.
“මේ පාදඩ භූමියෙහි යලි කිසිදිනක නූපදීවා..” ඒ ගන්ධබ්බයාගේ අවසන් පැතුම විය.
ReplyDeleteමෙවන් අකල් මරණ වලට ගොදුරු වූ අපේ මිතුරු ගන්දබ්බයන් ගැන මගේ ප්‍රර්ථනාවත් එයමයි විදානේ ..
http://helmalu.blogspot.com.au/2016/02/blog-post_20.html
කියවන්න...
සී.ජේ. විදානේ,
ReplyDeleteඉතා හොද සටහනක්, හැබැයි මටනම් හිතෙනවා මෙය තව විස්තර කලොත් හොදයි කියල මේ වගේ
" අවුරුදු 28 ක් තිස්සේ ගන්ධබ්බක් විදියට ඉන්නන මේ ගන්ධබ්බයට පේනවා තමන්ට ජනතාවගේ විමුක්තිය සෙවීමට ඉදිරිපත් වෙච්ච වැඩිමහලු සහෝදරවරුන් ගණනාවක් ගන්ධබ්බ ජිවිත ලබා සැරිසරන විදියත්, ඔහුට තව පේනවා තමන්ට රැඩිකල් වාදී අදහස් ඇතිකරපු ඉහල පෙලේ ජීවිතය බේරාගත් සහෝදරවරු යුරෝපයට ට ඔස්ට්‍රේලියාවට සහ දියුණු රටවලට පැනගත් අයුරුත්, අද විස්කි, බ්‍රැන්ඩි බොමින් තමන්ගේ දරුවන් ට උසස් අද්‍යාපනය ලබාදීමට උත්සහ ගන්න අතරේ ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තුවට ගිය නායක සහෝදර වරු, ගන්ධබ්බ ජිවිත උරුම කිරීමට උදව් වූ සතුරු පක්ෂ සමග රජයන් පිහිටවමින් පාර්ලිමේන්තුවට රිංගල සුකොප බෝහි වාහන වල යන අතර අලුත් ඩිල් එකක් දාන හැටි ගැන කල්පනාග්කරන නායක සහෝදර වරුන්වත් ගන්ධබ්බයට දර්ශනය වෙනවා.
එච්චර් විතරක් නෙමෙයි නන්දා මාලිනි ගේ "සවන" කැසට් අසමින් සුනිල් ආරියරත්න නේ පදවැල් වලට වශීවී සිටි ගන්ධබ්බය අද කියනවා මේ දෙපලත් මුදල් පසුපස දුවන හැටි.
මෙය දකින ගන්ධබ්බය තමන් කොපමණ රැවටිමක සිටියාදැයි කම්පාවෙන් බලන විට අදත් අන්තරේ සහෝදර වරු පුද්ගලික විශ්වවිද්‍යාල වට්ලට විරුද්දව උද්ගෝෂණ කරන අයුරුත් ඒවා පිටිපස්සේ ඉගෙන සංවිදානය කරන සුකොපබෝහි ජිවිත ගතකරන නායක සහෝදර වරු දකින ගන්ධබ්බයට දැඩි පිළිකුලක් සහ ආත්ම අනුකම්පාවක් තමා ගැනම ඇතිවෙනවා."
මෙන්න මෙහෙම උනානම් තමයි තරමක් මෙය සම්පුර්ණ වන්නේ