Friday, April 25, 2014

ඇය පොඩ්ඩී නම් විය.

ඇය මුලින්ම විශ්වවිද්‍යාලයට එනවිට පලවැනි සමාසිකය හමාර වන්නට ආසන්නව තිබිණ.
“මේකි බකට් නොවිච්ච එකියක් “ බොහෝ දෙනා ඇය ගැන පවසන්නට විය.
අනෝරා වැසිඇති දිනයක ඇය ඇදගෙන විශ්වවිද්‍යාලය මැදින් ගලායන ඇළ පහර ලගට ගොස් ගලා ආ මඩ දියෙන් රිසි සේ ඇය නැහැවීය. අැය අැතුළු සියල්ලොම සතුටු විය දැන් අැය කුණු ප්‍රෙෂියකු නොවේ..

ඇගේ ගම්පලාත බුත්තලය. අැගේ පියා ඔවුන්ව අතැරගොස් ඇත. ඇගේ මව සීනි කර්මාන්ත ශාලාවේ කම්කරු රැකියාවක් කරයි. විටින් විට හමුවී දොඩමලු වූ විට ඇයගෙන් අපි යම් යම් තොරතුරු දැනගතිමු. මැය දිනයක් හැර දිනයක් නිවසට යයි, පහුවදා යලි පැමිණෙයි. සටහන්  ඡායා පිටපත් කරගනී‍. දන්නා අයකුගෙන් පොඩි පොඩි කුප්පි දමා ගනී. කෙසේහෝ පලමු විභාගය අවසන් විය. බැජ් එකේ සියල්ලෝම එකිනෙකා බකට් කරගනිති. ඇය නොමැත. සියල්ලට හොරෙන් ඇය නිවස බලා පිටත්වී ඇත.

ස්ටිකර්ස් විකිනීම, කැට කිරීම, විශ්වවිද්‍යාලයේ අයට අරුම දේවල් නොවේ. අපද එහි යෙදුනෙමු. මේ මේ ටවුන්වල මේ මේ අය කැටේ කරන්න ඕන, පෙර දින රාත්‍රියේ සැලසුම් හදයි. පසුදින උදෑසන ඇය කාටහෝ කනපින්දම් කියා ඇය කැමති ටවුන් එක ඉල්ලා ගනී. බොහෝ විට වැල්ලවායය. දවල් 12 වන වි‍ට ඇය කැටය කාටහෝ දී අතුරදන් වී ඇත. පසුව ඇගෙන් ඒ පිළිබඳ විමසු විට හදීසියක් වී නිවසට ගිය බව පවසයි. හදීසිය කුමක්දැයි නොපවසයි. විශ්වවිද්‍යාලයේ සිදුකරන කිසිදු පොදු කටයුත්තකට ඇගේ දායකත්වය නොලැබුණු තරම්ය. එනිසා බැජ් එකතුල ඇය බැණුම් ඇසූ වාර ගනන අනන්තය.

අන්තිමට බැජ් එකේ සියළු දෙනා එක්වී සාමූහික තීරණයක් ගත්හ.

“පොඩ්ඩිට මඩ බකට් එකක් දෙන්න ඕන”

යෝජනාව එකමතිකව සම්මත විය. පසුදින දෙනෝදාහක් දෙනා ඉදිරියේ කුණු බිත්තර කවලම් කල ඉදුල් වතුර බාල්දි කිහිපයකින් ඇය නැහැවීය. එය බලා සිටන්නන්ට මහත් ආනන්දයක් විය. කුණු වතුරින් නැහැවුනු ඇය මාර්ගය දිගේ යනවිට රැස්ව සිටි පිරිස් ප්‍රීතියෙන් අත්පොලසන් දෙන්නට විය.

ඇය නොසැළුනේය. ඇගේ නෙතින් එක කඳුලක් නොනැගින. නේවාසිකාගාරයට ගිය ඇය හොඳින් නා පිරිසිදු වී වෙනත් ඇඳුමක් ඇද සිනහමුසු මහුණින් ඊලග දේශණයට සහභාගී විය.

“මචං පොඩ්ඩි ගැන ලොකු ආරංචියක් තියෙනවා”

නිවස බලා ගොස් නැවත පැමිණි අප සගයකු එසේ පැවසූයේ මැණිකක් සොයාගත්තාටත් වැඩි ප්‍රීතියෙනි.

“මොකක්ද ?”

“ඕකි මෙහේ පත්තිනි අම්ම වගේ හිටියට අම්බ ගොනෙක් බං”

“අනේ පලයං බං යන්න නිකං කෙප්ප කෙලින් නැතිව“

“සිරා මචං ඕකි ඒ පැත්තෙ හැමෝම අදිනවලු, මගේ යාලුවෙකුත් ගහල තියෙනවා, ඌ තමයි කව්වේ”

“නෑ.. බොරු කියන්න එපා බං”

“උගේ ගාව මේකිගෙ පොටෝ එකකුත් තියනවලු. හරි මං ගෙනල්ල පෙන්නංනංකෝ”

“එහෙනං මේකිගෙ ජොබ් එක මේක වෙන්න ඇති, හැමදාම හැන්දෑවට දුවගෙන යන්නේ”

“යකෝ මේකිට අපේ ඒවා හොද නැද්ද දන්නෑ”

“අපිට ඉතිං ගැහුවා කියල දෙන්න සල්ලි කොහෙද මේකි යනවා ඇත්තේ ලොකු ලොකු පොරවල් ලගට වෙන්නැති”

ඇය පිළිබද තොරතුරු කොල්ලන් අතර සාකඡ්ඡාවූයේ එවැනි අයුරිනි. අපේ සගයා කියූ පරිදිම ඊලග සතියේ ඇයගේ නිරුවත් ඡායාරූපයක් ගෙනැවිත් තිබිණ. ඇදක් මත දිගාවී එක් අතකින් පියයුරු ද අනික් අතින් රහස් පෙදෙසද වසා ගැනීමට කරන අසාර්ථක උත්සාහයක් ඡායාරූපයෙන් දක්නට හැකි විය.  දැං අපට වෙන කරතව්‍යයක් නැත. ඡායාරූපය අතින් අත යයි. සමහරු එය රැගෙන බාත්රූම් යයි. “ ඕකේ හලන්න එපා.. “ තවෙකෙක් කෑ ගසයි.

ඇගේ මේ රහස දැන් බැජ් එක තුල රහසක් නොවේ. කොල්ලන් මාන බලන්නේ කෙස් හෝ ඇය කොටුකරගන්නය. නමුත් අැගෙන් ඉල්ලන්නට ගිය කොල්ලන් සියළු දෙනාටම හොද ලුණු අැඹුල් පදම අැතිව අසාගන්නට හැකිවී අැත. එ් අානුභාවයෙන් අැගේ නිරුවත් සේයාරුව අන්තර් ජාලය තුලද කරක්ගසන්නට විය.

කාලය ගෙවී යයි ඇය ඇයගේ ක්‍රියා පිළිවෙත වෙනස් නොකරයි. ඇය විශ්වවිද්‍යාලයෙන් එපිට දී පිරිමින් සමග යහන් ගතවන්නියක් බව බැජ් එකේ සැවොම දනී. එසේ දන්නා බව ඇයද දනී. “පැල්වත්තෙ ගොනා” ඇගේ රහස් අනුවර්ථ නාමයයි. නාහෙට නාහන එවුන් ඉදහිට ඇයට ඇසෙන්නට එසේ කෑගසයි. ඇගෙන් එයට සිනහවක් හැර වෙනත් ප්‍රතිචාරයක් නොලැබෙයි..

රජයේ ලිපිකරු විභාගය පැවැත්වූ යේ අප තුන්වන වසර සිටියදීය. ඇයද එහි පෙනී සිට ඇත කෙසේ හෝ ඇය ඉන් සමත් වී ඇත. සිව්වන වසර මුල වන විට ඇය ලිපිකරු පත්වීමක් ලබන්නීය. දැන් ඇගේ විශ්වවිද්‍යාල ගමන සිදුවන්නේ යටල මහටය. සතියකට දිනක් පැමිණ භාරදීමට ඇති නිබන්දන සියල්ල සකස්කර භාර දෙයි, සටහන් සියල්ල පිටපත් කරගනී, ඉක්මනින්ම ඇය පිටව යයි..

“ඔය ආපු ගමන් යන්නේ ඔපිස් එකේ එවුන්ට දෙන්න වෙන්න ඇති’’

ඇගෙන් බැනුම් ඇසූ සගයෙක් ද්වේශයෙන් පවසයි. ඇගේ සිතේ ද්වේශයක් නැත ‍දැන් බොහෝ දෙනෙකු ඇය හා හිතවත්ව ආශ්‍රය කරයි. සිව්වන වසර අවසාන සමාසිකය වන විට සියලු විශයන් ඇය සාමාන්‍ය මට්ටමින් සමත්කරගෙන තිබිණ. අවසාන සමාසිකයෙහි සියල්ලන්ට ප්‍රධාන අභියෝගයක් වූයේ ලබා දිය යුතු ව්‍යාපෘති වාර්ථාවයි. මෙය කණ්ඩායම් ව්‍යාපෘතියක් වූ අතර ඇය, මා සහ තවත් හය දෙනෙකු අපේ කණ්ඩායමේ විය.

“අපි සීනි ෆැක්ට්‍රිය ගැන ප්‍රොජෙක්ට් එක කරමු , ඒකෙ විස්තර හොයාගන්න එක ලේසියි”

අදහස ආවේ ඇගෙනි. දීර්ඝ වශයෙන් කරන ලද සාකඡ්ඡා වට කිහිපයක් අවසා‍නයේ තොරාගත් අංශ කිහිපයක් ඔස්සේ ව්‍යාපෘතිය සිදුකිරීමට කණ්ඩායමේ සියල්ල එකඟවිය.

“හරි ඔක්කොම වැඩ ටික කරගෙන ලබන දහවෙනිදට ෆැක්ට්‍රියට යමු”

ඒ අදහස කණ්ඩායම් නායකයාගෙනි,

“හරි දවල් කෑම පොඩ්ඩිලාගේ ගෙදරන් ගන්න පුළුවන්නේ”

“හම්... හරි අපේ ගෙදරින් දවල් කෑම එහෙනං”

සියල්ල යොදාගත් පරිදි සිදුවිය. උදෑසන නවය වෙද්දී ‍ෆැක්ට්‍රියට ගිය අප සවස දෙක පමන වනවිට බොහෝ තොරතුරු සොයාගෙන අවසන් විය. පොඩ්ඩී ගේ දැනුම් දීම පරිදි අප යන විට අපට අවශ්‍ය තොරතුරු ගොණුකර සකස්කර තිබිණ.

බුත්තල පස්සර මාර්ගයේ හැතැක්ම පහක් පමන ගොස් තවත් අතුරු මගක හැතැක්ම බාගයක් පමන දුරක් ගියපසු පොඩ්ඩිගේ නිවස  විය. ගඩොලින් බැද, උළු සෙවිලි කළ, කපරාරු නොකල, දොරක් සවිකළ, ජනේල සවිනොකල, නිවසෙහි ජනේල ඉටිකොල වලින් ආවරණය කර තිබිණ. නිවසෙහි මිදුලෙහි වැලිගොඩක් සහ අපිළිවෙලට සිටවූ මල් ගස් කිහිපයක් විය. වැට අයිනට වන්නට මිරිස්පැල කීපයක් පලා පාත්තියක්, බටු ගස් කිහිපයක්, කරපිංචා ගසක් රම්පේ පඳුරක් ද විය. නිවසෙහි සවිකර ඇති විදුලි මීටරයෙහි පාඨාංකය දුටු මාහට අවබෝධ වූයේ නිවසට විදුලිය ගෙන මාස දෙක තුනකට වඩා කල් නොවන බවය.

“අම්මා..........“

අප නිවසට ඇතුළුවන විටම දිව ආ වයස අවු 3 ක පමණ කුඩා පිරිමි දරුවෙකු දිවැවිත් පොඩ්ඩීගේ ඇගේ එල්ලුණි,

“කෝ පුතේ ආච්චි අම්මා.., “

දරුවා දැතින් ඔසවන ගමන්ම ඇය විමැසීය. අප එකිනෙකාගේ මුහුණු බලා ගතිමු. සියළු දෙනාම තූෂ්ණිම්භූත වී අැත.

“මේ මගේ දරුවා... “

“ෂා... පොඩ්ඩි වගෙමයි පොඩ්ඩත්“

අමාරුවෙන් වචන සොයාගත් එකියක් පැවසීය. අප සමග පැමිනි කෙළ්ලන් තිදෙනා පොඩ්ඩී ද දරුවාද සමග නිවසෙහි පිටුපසට ගිය අතර සාලයෙහි තනිවූයේ අප කොල්ලන් හතර දෙනා පමණී..‍

“යකෝ මෙහෙම සීන් එකක් දන් නෑනේ, දන්නනවනම් පොඩි එකාට මොනවහරි ගෙන්න තිබ්බා“

“මේකි හාන්කවිස්සියක්වත් ඇගෙව්වෙ නෑනේ“

“ෂිහ්.. අපිට මේකි ගැන තව ටිකක් හොයන්න තිබ්බේ“

වැව් මාළු, මඥ්ඥාක්කාත්, පොල් සහ සැර මිරිස් දමා සාදන ලද සම්බෝලයකුත්, එලවලු වර්ග දෙකකුත් සමග බත් එදින දහවල් අප සඳහා පිළියෙල වී තිබිණ.

 “කෝ බං ලමයගේ තාත්තා“  

දිවා ආහාරයෙන් පසු සියළු දෙනා එක්ව සාලයට වී කථා බහ කරමින් සිටින අතර තුර අපිත් එක්ක ගිය එකිකයක් විමැසීය. ජනෙලයට ගසා තිබූ ඉටිකොලයක ඉරී ගිය කොටසක් අතරින් අහස දෙස බලා සිටී පොඩ්ඩී.

“මගේ ජීවිතේ මං මුලින්ම වරද්ද ගත්ත, මං එක්ක නිදියපු මිනිස්සු ගානවත් මට දැං මතක නෑ, ඉතිං ළමයගේ තාත්තා කවුද කියන්න මමවත් දන්නෑ බං, රටේ ලෝකේ මිනිස්සු මට අැති පදං කතන්දර කිව්වා, කොහොම හරි ලමයව හදාගෙන මේ තත්වෙට අාවා, ඉස්සරහත් මගේ ජීවිතේ මේ පොඩිඑකා විතරයි, මට ආයේ මිනිස්සුනං ඕන නෑ”

කවදාවත් ‍නැතිව පොඩ්ඩීගේ නෙතේ කඳුලක් නලියනු දුටිමි.
-----------------------------------------------------------------------------------------------------------------------------
ප/ලි
අළුත් අවුරුද්දට පොඩ්ඩිට කථාකළා,  දැන් කොල්ලා නමය වසරේ. කියපුවගේම තාම බැදල නෑ. යංතං ගේ වැඩ ටික ඉවර කරගත්තලු.
පහුගිය දවසක බස්සි දාපු මේ පොස්ට් එකේම දිගුවක්  විදියට දාන්න හිතුවා..

නං ගං වෙනස් කර අැත...

68 comments:

  1. ඔව් මටත් බස්සිගේ පෝස්ට් එක මතක් වුණා විදානේ මේක කියවන එද්දී... අපි නොදනන්වට මේ වගේ මිනිස්සු කොච්චර ඇත්ද.. මේවා ගැන කොච්චර සාකච්ඡා කලත් වරද කාගේද තීන්දු තීරණ ගත්තත් මේවගේ දේවල් හැමදාමත් සිද්ධ වෙනවා, අපේ ගමෙත් හිටියා අක්කා කෙනෙක්, එයාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා තාත්තලා නැහැ ,,ඒත් එයා දරුවෝ හදාගෙන ඒ වුර්තියම කරන්,, ඉන්නවා,, දැන් ඒ ළමයි දෙන්නම බැදලා ,,, හොදට ඉගැන්නුවා දරුවන්ට... පොඩ්ඩි ගැන මට අනුකම්පායි... යහපතක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ,,

    ReplyDelete
    Replies
    1. කියන්න බැරිවුණා දෙයක්... ඔයා කතාව ලස්සනට පෙලගස්වාලා ලියලා තියෙනවා, ඒ වගේම දැන් ඔයා ගොඩක් හොදට ලියනවා,,, ජය වේවා

      Delete
    2. පොඩ්ඩිලා ගොඩදෙනෙක් අපි අතරම ජීවත් වෙනවා. මුළු සමාජෙම පොඩ්ඩිලාව මනින්නේ එකම මිම්මෙන් එකයි වරද, එ් තැනින් ගොඩ එන්න නං ගලකටත් වැඩි හයිය හිතක් තියෙන්න ඔ්න නැත්තම් එ් නරාවලේම තමයි.
      කියන්න අමතක උනු දෙයක් තියනා පොඩ්ඩිට උදව් කරන්න හදනවට පොඩ්ඩි කැමතිම නෑ. මොකද කීප දෙනෙක් උදව් කරන්න අැවිත් ප්‍රථි උපකාර ඉල්ලලා..
      ස්තුතියි අපූර්වි, අදස් දැක්වීමටත් දිරිගැන්වීමටත්..

      Delete
    3. හ්ම්ම් පිරිමි පාර්ශවය කොහොමත් ඉතින් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ ඉදගෙන :)

      Delete
    4. උදව් කරන්න යන පිරිමි පාර්ශවය කියල වෙනස් උනානං හරි නෙහ් හිටගෙන..

      Delete
    5. එහෙම කලොත් වාක්‍ය නොගැලපේ :)

      Delete
    6. වැහ්
      කොහොම හරි හැමෝම එ් වගේ නෑ කියල කියන්න.. හිටගෙන

      Delete
  2. අපේ සමාජෙ මේතරම් දු:ඛිත තත්වෙට පත්වෙලා තියෙන්නෙ ඇයි බං විදානෙ. පුදුම කලකිරීමක් දැනෙන්නෙ බං. මේ වගේ අනන්තවත් කතන්දර අහල තියෙනවා, දැකල තියෙනවා. ඒත් අහන හැමවෙලාවෙම අලුතින් හිතන්න දෙයක් ඉතිරිවෙනවා.

    කතාවෙ මුල් හරිය කියවගෙන යනකොට මීට සමාන්තර තවත් කතාවක් මතක් වුනා. හිතුවෙ ඒ කතාව කියල. ඒකත් සත්‍ය කතාවක්. ඒකෙ විශ්ව විද්‍යාල සිසුවියත් මේ විදියට හැම දෙයින්ම මඟ ඇරල කඩින් කඩ සරසවියට ආව කෙනෙක්. ඒත් එයා මේ විදියෙ කෙනෙක්නම් නෙවෙයි. එයා එහම කරල තියෙන්නෙ, එයා කුලී වැඩ කරනවලු එහෙම ගිහින්, ඒ එයාගෙ නංගිටයි, මල්ලිටයි උගන්න. එයාගේ මහපොළ ආධාර පවා ඒ දෙන්නටලු වියදම් කලේ.

    ඔන්න ඔහොමයි මේ ශාපලත් දේශයේ ආශ්චර්යමත් ගමන. මං අර හැමදාමත් හැමතැනම කියනව වගේ, මේ තියෙන කාලකන්නි සමාජ ක්‍රමය පවතිනතාක් කල් මේ වගේ සිදුවීම් දිනෙන් දින වැඩිවෙයි මේ රන් දිවයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කථාවේ වගේ චරිත මේ සමාජේ බහුලයි. ඉගනගන්න, උගන්නන්න, එදාවේල හොයාගන්න, ගොඩාක් දුක් විදින චරිත මේ චරිත ගොඩාක් අමාරුවෙන් හරි තමන්ගේ ටාර්ගට් එකට අාවොත් හරි, නැත්නම් අශ්චර්යමත් ගමනේ කොටස් කාරයෝ වෙන්න වෙනවා. මේ සමාජයේ අාකල්පමය විදියට වෙනසක් අැතිවෙන්න ඔ්න නැත්නම් මේ තත්වය වර්ධනය වෙනවා විතරයි.
      ස්තුතියි මනොෂ්

      Delete
  3. ඕක තමා ළමයො ඈස්චරිය කියන්නෙ.
    උඹේ ලිවිල්ල එන්න එන්නම හොඳ තත්වයට පත්වීගෙන එන බව දකින්නට පුළුවනි.මුරුංග දල්ලටම නගින්නෙ නැතුව නිහතමානීව බාරගන්න,සුබ පැතුම් විදානේ

    ReplyDelete
    Replies
    1. අාශ්චර්යය කිව්වම මතක් උනේ අර පනත් තුනම සම්මත වෙලා.
      දෙයියනේ කියලා රාජ්‍ය අනුග්‍රහයෙන්ම ව්‍යාපාර කරගත හැකි වෙයි..
      මුරුංග දල්ලටනං නගින්නෑ..
      ස්තුතියි හැලපඅයියා පැසසුමටත් අදහසටත්

      Delete
  4. සොරිම තමා. උදේ කීප වතාවක් බලන කොටත් පොඩ්ඩි හිටියේ නෑ. හෙට කියවන්නං...

    ReplyDelete
    Replies
    1. ඕකනම් මටත් උනා. කිහිපවතාවක්ම බැලුව හිටියෙ නෑ.

      Delete
    2. ඔව් ඊයෙත් මේක පබ්ලිෂ් කරලා තිබ්බට ඇවිත් බලද්දී තිබ්බේ නැහැ

      Delete
    3. @ දේශක යා
      කැතම වැඩේ බාගෙට කොටාගෙන යද්දී පොඩ්ඩි පබ්ලිෂ් උනා. වස ලැජ්ජාව,
      අමනාප නැතිව හෙට කියවන්න..
      ස්තුතියි අාවට

      Delete
    4. @ මනෝෂ් & අපූර්වි
      නොදැනීම පබ්ලිෂ් ක්ලික් උනා එතකොට භාගයයි ඉවර..
      අායේ ගියා..

      Delete
    5. පෝස්ට් එක ටයිප් කරනකම් පබ්ලිෂ් බටන් එක ගලවලා අරන් තියපන්. හැක්. ;)

      Delete
    6. @පර්‍ යා
      අායේ වොර්ඩ් වල කාෙටලා එහෙම තමයි මෙතැන්ට ගේන්නේ...

      Delete
    7. එහෙනම් පබිලිෂ් බොත්තම වැහෙන්න කඩදාසියක් අලෝපන්.

      Delete
    8. ඔව් මං මේ කෙළටිකක් ගාලා අලවන්න තමයි ට්‍රයි එක....

      Delete
  5. කට්ටිය අර තරම් දෙවල් කියදිත් ඒ දෙවල් විඳගෙන පොඩ්ඩි ජීවිතය ජය ගන්න ගත්ත උත්සාහය අපි අගය කරන්න ඕනේ...

    කතාව ලියලා තියෙන විදිහ අපූරුයි විදානේ...

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම දැඩි අාත්ම ශක්තියක් නැත්නම් ඔය තත්වයට ලඟාවෙන්න අපහසුයි.. වාසනාවකට අැයට එම ශක්තිය තිබුණා..
      ස්තුතියි තුෂානි..

      Delete
  6. ඇත්තටම පොඩ්ඩිගෙ දරා ගැනීමේ හැකියාව අගය කරන්න ඕනි...දරුවා ගැන හිතලා සමාජයෙන් එන අපවාද ඉවසගෙන ඉන්න එක ලේසි නෑ.
    විදානේ කථාව ලියල තියෙන විදිහ ඇත්තටම ගොඩක් ලස්සනයි....එක හුස්මට කියවන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. සමාජයෙන් එන අපවාද ඉවසන් ඉන්න එක ඉතා අමාරු වැඩක් එ්කට ලාෙකු අාත්ම ශක්තියක් තියෙන්න ඔ්න.. අැගේ දරාගැනීමේ ශක්තිය අතිවිශීෂ්ඨයි.
      ස්තුතියි චාම්ස්..

      Delete
  7. හ්ම්ම්ම්ම්... සංවේදී සිදුවීමක්, මුලින් පාර වැරදුනත්, පොඩ්ඩි හරිම ශක්තිමත් කෙනෙක්, නැත්නම් ඒ තරම් දේවල් ඉවසගෙන, උපාධියත් සම්පූර්ණ කරගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අැත්තටම අැය ශක්තිමත් කෙනෙක් අදටත් අැය කිසිවෙකුගෙන් උදවු බලාපොරොත්තු වෙන් නෑ.. අවසානයේ අෑ සියල්ල හොදින් විසඳා ගත්තා..
      ස්තුතියිි එමා..

      Delete
  8. නියමෙට ලියල තියෙනවා, වැඩියක් හිතට වැදුනා මාත් ඔය විශ්ව විද්‍යාලය පැත්තෙ කරක් ගහල තියෙන නිසා

    ReplyDelete
    Replies
    1. අපොයි කලුවෝ නං ගං වෙනස්කර අැත කියලා අන්තිමට ලියල තියනවා..
      ස්තුතියි කලූ..

      Delete
  9. උඹලා දන්නවාද දන්නේ නැහැ, පිටරටවලින් ආපු සමහර ගැහැණු ළමයින් මෙහේ යුනිවසිටි ෆීස් ගෙවා ගන්න පාට් ටයිම් ඔය වැඩ කරනවා. නමුත් කවුරුත් කාගෙවත් පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නේ නැහැ. ඒක වෙනම කතාවක්.

    අපි පුරුදුවෙලා තියෙන්නේ පොඩ්ඩිලාව පොඩි පට්ටම් කරන්න තමයි. නමුත් ලොක්කිලාත් ඉන්නවා ඔහොම කරන.

    මම පොඩ්ඩිට ගරු කරමි!!

    ReplyDelete
    Replies
    1. දරුවා ලැබීමෙන් පසු අැය එ් හා සම්බන්ධ සියළු කටයුතු වලින් අෑත් වී තිබෙනවා..
      අැත්ත තමයි අරූ.. පොඩිඩිලාව පොඩි පට්ටම් කරන අය තමයි වැඩි..
      අපද පොඩ්ඩිට ගරු කරමු..
      ස්තුතියි අරූ..

      Delete
  10. වෘත්තියට හෝ පෙනුමට නොව මිනිසත් කමට , හිතේ දහිරියට ආත්ම විශ්වාසයට ගරු කරමු

    ReplyDelete
    Replies
    1. හිතේ ධෙෙර්යයට හා අාත්ම විශ්වාසයට ගරුකරමු..
      අැය වෘත්තීය වශයෙන් එසේ සිදුකර නැහැ නමුත් මෝඩ කම නිසාවෙන් අතින් අත ගොස් තිබෙනවා..
      ස්තුතියි ඉවාන්..

      Delete
  11. කුහුබුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ

    ReplyDelete
    Replies
    1. අැය වෘත්තීය වශයෙන් එසේ සිදුකර නැහැ නමුත් මෝඩ කම නිසාවෙන් අතින් අත ගොස් තිබෙනවා.. නමුත් සමාජය අැය දෙස බලන්නේ එ් කාේණයෙන් ..
      ස්තුතියි දම්ත්..

      Delete
  12. බොහොමයක් ගණිකාවන්ගෙ ඇත්ත තත්වය හරිම දුක්බරයි...මොනා කරන්නද ලබාඋපන් හැටිතමා..දැන්වත් එයා ඒ වැඩවලින් ඈත් වෙලා රස්සාවක් කරන් ඉන්නවද අයියෙ?

    ReplyDelete
    Replies
    1. අැය ගණිකාවක් නෙවේ තිබ්බ මෝඩ කමට අමාරුවේ වැටුනු එකියක්.. ලමය ගැන දැනගත් දවසෙ ඉදල එ් වැඩ කරන් නෑ.. දැන් අාංඩුවේ කන්තෝරුවක වැඩ.. හොදින් ඉන්නවා
      ස්තුතියි සසිඳු..

      Delete
  13. බුත්තල පස්සර මාර්ගයේ /// මං දන්න විදියට නම් මේක බුත්තල බඩල්කුඹුර /බුත්තල බදුල්ල මාර්ගය වෙන්න ඕන ....
    විදානේ මචං මේ අපේ ගම් දනව්ව,මගේ මීටත් වඩා තව දුර තියෙන්නෙ, මේ කතාවේ පොඩ්ඩි ගේ ධෛර්යය ගැන අයේ කියන්න දෙයක් නෑ,අපේ පැත්තෙ ඉන්නවා ඕන තරම් උසස් අධ්‍යපනයට ගිහින් පවුලේ හෝ සමාජ ප්‍රශ්න නිසා ආපු කොල්ලො/කෙල්ලො අවසානේ කැත්ත උදැල්ල,කංසා සුරුට්ටුව ,අඩු වයසින් දරුවෝ විතරයි ඉතුරු වෙන්නෙ ,පොඩ්ඩි නම් ඒ අතින් ගොඩ ගියා.මේ සැරේ සා/පෙ ප්‍රතිඑල එනකොට ගමේ කී දෙනෙක් පැනලා ගිහින් ද ඒ අය අයේ ගමට එන්නෙ ගැබ් අරගෙන බලන්න දුකයි මේ වෙන දෙවල්, අයේ ඒ ගිය මනුස්සයත් නෑ ,කෙල්ල අයාලේ යනවා...
    ප්‍රශ්ණේ ගොඩක් මිනිස්සු මේ ජිවිත වල ඇත්ත පැත්ත දකින්නෙ නැති එක ,සම හරක් මේ කතා වලට කියන දෙවල් දැක්කාම මට නම් දුකත් හිතෙනවා,හිනාත් යනවා.විදානේ මට කියන්න ගොඩක් දේ තියේයි විදානේව හම්බුණ දාකට මගේ අතේ ඉතුරු වුණ කංසා සුරුට්ටුවක් බොන ගමන්.
    (හිනා වෙන්න නෙවෙයි කිව්වෙ ,ඕන නම් හිනා වෙයන් )

    ReplyDelete
    Replies
    1. මම බුත්තල පස්සර මාර්ගය කිව්වේ, පැලවත්ත හරහා යන මාර්ගයට නං ගං ගැන වැඩිය හිතන්න එපා සහෝ. මගේ ගම් පලාත ඔය පැත්තෙ නොවුනත් ඔය පැත්තෙ ජීවිත ගැන ගොඩාක් අද්දැකීම් තියනවා.. කෙළ්ලො ගෙට අාපු ගමන් බඩවෙන තැනුත් අහල දැකල තියනවා..
      / සා/පෙ ප්‍රතිඑල එනකොට ගමේ කී දෙනෙක් පැනලා ගිහින් ද ඒ අය අයේ ගමට එන්නෙ ගැබ් අරගෙන බලන්න දුකයි මේ වෙන දෙවල්, අයේ ඒ ගිය මනුස්සයත් නෑ ,කෙල්ල අයාලේ යනවා.../ මේ කථාව නං සහතික අැත්ත මිනිස්සුන්ගේ නූගත්කමයි අසරණකමයි එක්ක මේ තත්වෙට පත්වෙනවා..
      මීට අවුරුදු 10 කට විතර කලින් උක්ගස් කපන්න ගියා ඔය පැත්තේ මතක විදියට ටොන් එකකට රුපියල් 400 ක් වගේ ලැබුණා. මාසයක් විතර හිටියා එතැනදී තමයි ඔය අද්දැකීම් විදගත්තේ.
      හම්බවෙලා දොඩමලු වෙමු කංසා සුරුට්ටුවක් බොනගමන්..
      ස්තුතියි සහෝ..

      Delete
    2. විදානේ දන්නවද දන්නෙ නෑ පැල්වත්තට උක් මිලදී ගන්න තැන්ක් තියෙනවා ,එක තියෙන්නෙ අපේ ගෙවල් ලග ,බුත්තල ඉදලා ටිකක් දුර,දැන් නම් ටොන් එකක් 4500ක් විතර වෙනවා ,විදානේ උක් කැපුවා නම් දන්නවා ඇති අත පය වලට මොකද වෙන්නෙ කියලා,උක් මිටි එකතු කරන්න ගියා රු 1.50ට මමත්,එ .........................අනේ මන්දා මෙවා කියලා කවදා හරි ඉල්ලන් කන්න වෙනවා .......විදානේ වයසක පොරක් ද ?ඈ ...අවුරුදු 30/35ක විතරවත් ????????

      Delete
    3. එ් දවස්වල උක් කපල, ගස් සුද්දකරල, මිටි බැඳල, පටවන්නත් ඔ්න 400 ය ගන්න දවසෙම මහන්න්සි උනොත් යන්තම් ටොන් එකක් කපන්න පුළුවන්, සමහර වෙලාවට උග්ගස් වල කොළවලට අත් කැපෙනවා බ්ලේඩ් වලින් වගේ, උක් කොළවල තියෙන සුඹුලත් ටිකක් සැරයි..
      ඔවු 30 - 35 ක් විතර

      Delete
    4. 65ත් වයසක්ද මල්ලි කියලා අහන කාලෙක 35ත් කජ්ජක්ද බං.… :)

      Delete
    5. 33 යි බන්

      Delete
  14. කියවලා ලිපිය
    සංවේදි වුණා සිත...
    කියන්නට සිතා සිටි දෙය
    ගොළුවුණා මුව තුල...
    නින්දා ප්‍රශංසා
    නිතොර ඇත ලොව තුල...
    අවස්ථාවාදියන් නිතර මුණ ගැසේ අප මට..
    පොඩ්ඩියන් සැගව ඇත
    අඩු වැඩිව අප අතර

    ReplyDelete
    Replies
    1. /පොඩ්ඩියන් සැගව අැත
      අඩු වැඩිව අප අතර../

      ජීවිතේ ජයගන්න පොඩියන්ට වඩා වරද්දගන්න පොඩිඩියන් බෙහොම වැඩියි..
      ස්තුතියි මහේෂ්..

      Delete
  15. කියන්න දෙයක් නැත. අප තුලත් මෙවන් යක්ෂයන් වෙලාවකට නොමිනිසුන් සිටී. මෙවන් කතා ආදර්ශයක් කරගනිමින්, නිවැරදි පැත්ත ගැන වැඩිපුර සිතමු.

    හොද කතාවක්, විදානේ දැන් එන්න එන්න සුපිරි කතා ලියනවා නෙව, ජය වේවා ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. සත්‍ය එයයි අපතුලද නොමිනිසුන් සිටී..... නමුත් සැවොම නිවරදි මාවත තෝරා ගනීද?
      ස්තුතියි නිමෝ..

      Delete
  16. විදානෙගෙ කමෙන්ට්ස් දකිනකම් මං හිතුවෙ පොඩ්ඩි පවුල ගොඩදාන්න ඒ වෘත්තියෙ යෙදිලාය කියල.... අර වගේ තත්වයක් යටතේ කැම්පස් ආව එකම මදෑ... වෙන කෙනෙක් නම් දිවි නසා ගන්නවා ඒ වෙච්චි දේවල හැටියට... පොඩ්ඩිගෙ ආත්ම ශක්තිය අදහන්න වටිනවා... කොහොම උනත් ලිපිකරු රස්සාව ලැබුනට පස්සෙවත් ඇගේ ජීවිතේ යහ මගට හැරුනා නම් කොච්චර දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. අැය ගණිකාවක් නොවේ, අැගේ අනුවන කම නිසා අතින් අත ගිය ලියක්.. ලිපිිකරු රස්සාව ලැබුනම නෙවෙයි ළමය ගැන දැනගත්ත දවසේ ඉදල අැය එ් වගේ වැඩ කරල නෑ. එ්ත් දැනගත්ත තොරතුරු අනුව හිතාගෙන හිටියේ අැය එ් වගේ කියලා. දැං අැයට රැකියාවක් තියනවා ළමයත් බලාගෙන හොඳින් ඉන්නවා..
      ස්තුතියි මියුරු..

      Delete
  17. ඇහැට කඳුළක් ඉනුවා විදානේ. හ්ම්ම්ම්......... ඇත්තම කතාවක් නිසා හිත තවත් බරයි. අපි නොදන්න පොඩ්ඩිලා තව කොයිතරමක් ඉන්නව ඇද්ද ඔහොම අවමන් විඳ විඳ.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න උනාට පොඩිඩිලා ගොඩ දෙනෙක් අපි අතරම ඉන්නවා. ඔවුන් ගේ සිත ශක්තිමත් නම් යනතම් එතැනින් ගොඩවෙන්න පුළුවන්. නැත්තනම් හැදමදාම නරාවලේ.........
      ස්තුතියි බස්සි...

      Delete
  18. මට හොයා ගන්න බැරිව හිටියේ බොලාව.....බස්සි ශෙයා පාරක් දිලා තිබ්බ නිසා මාත් ආවා මේ පැත්තේ....ඇහැ කෙවෙනවා විදානයෝ....පොඩ්ඩිලා තවමත් සමාජයේ ඉන්නවා....ඉදිරියටත් ඉදීවී ම්....

    ReplyDelete
    Replies
    1. ශානුව මේ මළදානේට සාදරයෙන් පිළිගන්නවා....
      පොඩ්ඩිලා තවත් අපි අතරම ඉන්නවා.. විශේෂයෙන්ම නූගත්කම අසරණකම, දුප්පත්කම, පිරුණු ප්‍රදේශවල. නතරකරන්න බැරිවෙයි ..
      ස්තුතියි ශානු..

      Delete
  19. විදානේගේ ලිපිය කියවලා අන්තිමට තිබුණු ලින්ක් එකෙන් බස්සිගේ කුඩුවටත් ගිහින් තමයි මේ කමෙන්ට් කරන්නේ. ඔබනම් දක්ෂ ලියන්නෙක්. ලියපු විදිය නම් සුපිරියි.
    ළමයා ලැබෙන්න ඕන කැම්පස් එන්න ඔන්න මෙන්න තියලා වෙන්න ඇති බොහෝ විට එක නිසා නේ කැම්පස් එන්න සෙමිස්ටරයක් ඉවර වෙන්න කිට්ටු උනේ. ඒ කියන්නේ ළමයා ලැබුණු පසු ඔය හැසිරීම දේ අත හැරියා කියන්නේ කැම්පස් ඇවිත් තියෙන්නේ ජීවිතය ගොඩ දාගන්න බලාපොරොත්තුවෙන්. හැමදාම කැම්පස් ඇවිත් නැත්තේ කට්ටිය හිතුව හේතුවට නොව ළමයා ගේ දුකසැප බැලීමට නේද? කැම්පස් එකේ දී එල්ල වුනු අපහාස වලට සැලෙන්නේ නැතිව ජීවිතය ගොඩදාගත් ඇය නියම කාන්තාවක්. සමාජයට ආදර්ශයක්.

    ඔබගේ බ්ලොග් එකට පැමිණි ප්‍රථම අවස්ථාව. පරණ ලිපි හිමින් කියවන්නම්. මොකද රෙද්ද ගලවපු කුඩාරමක් ප්‍රොෆයිල් පින්තුරයට දාලා??

    ReplyDelete
    Replies
    1. විශ්ව රංගනාත් සාදරයෙන් පිළිගන්නවා මේ මළදානේට..
      ඔව් විශ්ව, ඔබ හිතපු හැටි හරි අැය විශ්වවිද්‍යාලයට නොපැමිණ අැත්තේ දරුවාගේ දුකසැප බැලීමට තමයි.. අපි හිතුවේ වැරදියට. අැත්තටම අැය සමාජයට අාදර්ශයක්..

      කාලෙකින් හරි බ්ලාෙග් කියවන්න අාපු එක ලොකු දෙයක්.. පුංචි පැටියට දැං මාස 2ක් නේද??
      රෙද්ද ගලවපු කූඩාරමේ කථාව මෙන්න මේ හාවාගල පෝස්ට් එකේ තියනවා කියවලා මට ගහන්න එහෙම එන්න එපා..
      ස්තුතියි DTVR

      Delete
    2. හාවාගල පොස්ට් එකෙන් රෙද්ද ගලවපු කුඩාරම කුමක්ද කියන වග සහ මම පුද්ගලිකව අඳුනන විදානේ කවුද කියලා දැනගත්තා. කවුඩ් කියා හිතාගන්න පුලුවන් වුනා මිනින්දෝරු උපාදියකට ඉගෙන ගත් මම දන්නා එකම කෙනා ඔබ නිසා, නිදාගන්නා රුපයේ මුහුණ නොපෙනුනත් අඳුනා ගන්න පුළුවන් ඒ හැර වෙන රුපයක මුනෙන් කැල්ලක් පේනවා.
      ලියපන් ලියපන් දිගටම ලියපන්

      Delete
    3. /මිනින්දෝරු උපාදියකට ඉගෙන ගත් මම දන්නා එකම කෙනා/
      ජනක අබේවර්ධන සර් කාටවත් මේකට එන්නදුන් නෑනේ...
      පුළුවන් විදියට ලියනවා...

      ජය වේවා!!!

      Delete
  20. කියන්න දෙයක් හිතා ගන්න බෑ බං…

    අවංකවම කියනවනම් ඇය යකඩ ගැහැණි‍යක්. ඔහොම තත්වෙක ඉදලත් තමන්ගෙ අනාගතෙ හදා ගැනීම ලේසි නෑ.

    උඹේ පිස්සු වැඩ නිසා තව නූලෙන් මෙච්චර වටින පෝස්ට් එකක් මිස් වෙනවා. රෙද්ද…

    සිරාවටම උඹ මේක ලියලා තියෙන විදිහ හිතටම වදිනවා.

    ReplyDelete
    Replies
    1. වැඩට ගිහිං දැං තමයි ඔ්ංං අාවේ..
      අැය අැත්තටම යකඩ ගැහැණියක්, එසේ නොවුනනම් ජීවිතේ ජයගන්න එක ලේසි වෙන් නෑ...
      එක ලග බටන් ගොඩාක් තියනකොට ඔය වගේ වැඩ වෙනවා බන්...
      ස්තුතියි ඉතින් කෝල් කරල හොයල බලල අාවට ප්‍රියා...

      Delete
  21. වලට වැටුණු කෙනා වලෙන් ගොඩ එන්න හදන විට නැවතම් වලට දාන්න තමයි සමාජය සුදානම් වෙන්නේ. කොල්ලොන්ගේ ලිංගික කුහකත්වය සහ ලිංගික පීඩනය නිසා සිදු වෙන්න් ගිය වැරදි වින් බේරුනා එක ලොකු දෙයක්. නිරුවත් රුපය අන්තර්ජාලයට දැම්මත් අය ඉන්දප් විදිය පුදුමාකාරයි එක අතකට අන්තර්ජාල භාවිතය එම පළාතේ අඩුවීම වාසියක් වෙන්න ඇති. අප්පෙක් නැති ළමයෙක් හදාගෙන ආ කෙල්ලට මානසික පීඩාවක් නොදී රැකවරණය සැලසු ඇගේ මෑණියන්ද ඇගේ ගමනට පිටුවහලක් වෙන්න ඇති.

    කතාව ස්පිරියි විදානේ. ඔබේ අත්දැකීම් තොගය මුදාහරින්න. අපිට හොඳ නිර්මාණ පෙළක් බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නැතිවන්නට දෙයක් නැතිවූ විට දැනෙන හිස්බව(සැහැල්ලුව) නිසා අැයට ඡායාරූපය වැදගත් එකක් නොවන්නට අැති..
      එහෙම නැත්තම් තැලිල තැලිල තැලිල අන්තිමට හිරිවැටුමත් කිසිම හැගීමක් දැනෙන්නැතුව අැති..
      /ප්පෙක් නැති ළමයෙක් හදාගෙන ආ කෙල්ලට මානසික පීඩාවක් නොදී රැකවරණය සැලසු ඇගේ මෑණියන්ද ඇගේ ගමනට පිටුවහලක් වෙන්න ඇති./
      අැත්තටම එ් අම්මා ගැන වෙනම පෝස්ට් එකක් දාන්න වටිනවා..
      පුළුවන් විදියට ටික ටික ලියන්නම් මාව බ්ලැක් මේල් නාෙකරනකං..
      ස්තුතියි මකසි...

      Delete
  22. මේ වගේ උත්සාහවන්ත ගැහැණු දරුවෝ ඉන්නවා කියලාවත් හිතන්න බෑනේ. මම පොඩ්ඩක් මේ කතාව මට ආදේශ කරලා බැලුවා. ළමෙක් තියා බලු පැටවෙක්ගෙවත් වගකීම් ගන්න මේ මම කැමති නෑ. ඒක එහෙමමත් නෙමෙයි බයක් තියෙන්නේ. ඒ අතින් මේ වගේ වයසකදි ඇය හැසිරෙන විදිහ අගය කරන්නම ඕනේ.
    මෙහෙත් ඉන්නවා ඉතින් යුනි ෆීස් ගෙවන්න ඔය වගේ පාට් ටයිම් කරන ගැහැණු ළමයි. හැබැයි උන්ට කවුරුත් හිනාවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි නාෙදන්නවා උනත් මේවගේ උත්සාහවන්ත චරිත අපි අතරම ඉන්නවා.. හැබැයි දැඩි අාත්ම විශ්වාසය නැත්තනම් හැමදාම නරාවලේම තමයි.. අැය මුදල් හොයන්න එ් විදියට හැසිරුණු කෙනෙක් නෙවෙයි මෝඩකම නසා කරගත්ත දෙයක්, ලමය ගැන දැනගත්ත දා ඉදල ඉන් අත්මිදිලා..
      එ්ත් තාමත් ලෝකෙන් අපවාද නම් අඩුවක් නෑ....
      සාදරයෙන් පිළීගන්නවා Il mondo di una povera pazza මේ මළදානෙට..
      ස්තුතියි අදහස් දැක්වීමට..

      Delete
  23. මචෝ මේක කොහොම මිස් උනාද මන්දා... කියන්න වචන නෑ.. මේ වගේ මිනිස්සු තමයි මේ රටට ඕන..

    ReplyDelete
    Replies
    1. මේ වගේ අාත්ම ශක්තිය දැඩිව තියන අය තමයි ඉන්න ඕන.. එහෙම නැත්තනම් තාමත් එ් වලේම තමයි..
      ස්තුතියි මාතලන්..

      Delete
  24. මල් හතයි විදානෙ මාමෙ.....!! වහ කුප්පියක් ළමයින්ටත් පොවලා තමනුත් බීලා මැරෙන්නෙ නැතිව ජීවිතේ ගෙනියපු පොඩ්ඩිට මෙන්න මගෙන් මල් මිටක්......

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි නාමල්.. දරාගැනීමේ හැකියාව අතින් පොඩ්ඩී ඉහලයි...
      අන්තිමේ ජීවිතේ කොහොමහරි ජය ගත්තා...

      Delete
  25. මෙහෙම චරිත තව කොච්චර ඇතිද..පව්කාරයාට ගල් ගසන්නට පෙර ඔහු කළ පවට හේතුව සොයා බැලුවා නම් කියලා හිතෙන තවත් අවස්ථාවක්..

    ReplyDelete
  26. නිනි ගේ දාපු ලින්ක් එකෙන් ආවෙ. හරිම සංවේදී කථාවක්. ඇයට ජය.

    ReplyDelete